Print this Article


වරද දඬුවම හා අංගුලිමාල සූත්‍රය

වරද දඬුවම හා අංගුලිමාල සූත්‍රය

පුරිස දම්ම සාරථි යනු නව අරහාදී බුදු ගුණවලින් එකකි. බුදුරජාණන් වහන්සේ් තුළ දමනය කළ යුතු දුර්දාන්තයන් දමනය කිරීමෙහි ලා ඇති සාමර්ථ්‍යය ඉන් අදහස් වෙයි. මෙකී බුද්ධ ගුණය විචිත්‍ර වූ නිදසුන් කථා සහිතව අතිශයින් ම වර්ණනාත්මක ව හා රසාලිප්ත ව කියැවෙන සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථය විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණයි.

අංගුලිමාල දමනය බුත්සරණෙහි අතිශය චමත්කාරජනකව, බුදු බැතිය වඩාලමින් ප්‍රකාශිත එක් වෘත්තාන්තයකි. ඒ වූකලි මැදුම් සඟිය මැදුම් පණ්ණාසකයෙහි එන අංගුලිමාල සූත්‍රයද වෙසෙසින්ම අට්ඨකථාවෙහි එන එම සූත්‍ර වර්ණනාවද ඇසුරු කොට ගෙන විද්‍යා චක්‍රවර්තීන් විසින් සිය නිසඟ කවිත්වයද ප්‍රකට කරමින් කළ අපූර්ව නිර්මාණයකි.

ඉහත කී අංගුලිමාල සූත්‍රයෙහි දක්නා නොලැබෙන තොරතුරු රාශියක් අටුවාවෙහි මෙන්ම බුත්සරණෙහි ද දැකගත හැකිය. විශේෂයෙන් ම අහිංසක නම් කුමරු දිසාපාමොක් ඇදුරු සමීපයේ ශිල්ප හැදැරීම, සිසුන් ඔහු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමන් නොමඟ යැවීම, ගුරුතුමන් විසින් දහසක් ඇඟිලි මාලයකින් ගුරුන් පිදීමට නියම කිරීමාදි තොරුතුරු සුත්‍රයෙහි දක්නා නොලැබෙයි. එම තොරතුරු කථා වස්තුව සම්පූර්ණ කිරීමට පූරාණාචාර්යවරුන් විසින් ඇතුළත් කර ඇත. සූත්‍රයෙහි මෙන්ම කථා වස්තුවෙහි ද එන අංගුලිමාල පිරිත ගැබිණි මව්වරුන්ට සෙත් ශාන්තිය උදා කර දෙන මහා බලගතු පිරිත් දේශනාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දැනුදු එය භාවිතයෙහි ඇත.

සියලු සත්ත්වයන්ගේ සුවසෙත, සැපත පතන මෛත්‍රිය, සුක්ඛිත සත්වයන් කෙරේ අව්‍යාජ ව උපදනා හද කම්පනය නම් වූ කරුණාව,අනුන්ගේ සතුට, සැපත, ජයග්‍රහණය දැක ඊර්ෂ්‍යා නොකොට සතුටට පත්වීම හෙවත් මුදිතාව , සකලවිධ විෂමතා අන්තවාද පසෙකලූ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෝ බුදුදහමෙහි එන කේන්ද්‍රීය සාරධර්මයෝය. බුදුරදුන් විසින් තමන් ඝාතනය කරන්නට ආ දෙව්දත්ට, නාලාගිරි ඇත් රජුට මෙන් ම අඟුල්මල් නම් වූ ඒ මනුෂ්‍ය ඝාතකයාට ද රාහුල කුමරුටද සමසේ කරුණා මෛත්‍රිය පතුරුවන ලද්දේය. දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පයේ පදනම ද මෙම චින්තනය විය යුතුය. එයට අනුගත වන ක්‍රියාකාරකම් විය යුතුය. ඒ අනුව එකට එක කිරීමක් පළිගැනීමක් ස්වරූපය ගන්නා අපරාධකරු නැවත යහපත් පුද්ගලයකු බවට පත්කර ගැනීමට ඉඩක් නොතබන මරණ දඬුවම බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල වන්නේද නැත.

බෞද්ධ ඉතිහාසයේ වාර්තා වන අංගුලිමාල නම් සාහසික මහා මනුෂ්‍ය ඝාතකයා නසන්නට කොසොල් මහ රජු සියල්ල සූදානම් කොට තිබිණ. එහෙත් කල් ඇතිවම අඟුල්මල් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අවි ආයුධ භාවිතයෙන්, දණ්ඩනයෙන් තොරව හුදෙක් කරුණා මෛත්‍රියෙන් අඟුල්මල් දමනය කළ සේක. ඔහු කිසි කලෙකත් මතුවට පරපණ නොනසන රහත් උතුමෙකු බවට පත් කළහ. මෙයින් පැහැදිලි වන්නේ කවර අපරාධකරුවකු තුළ වුව ද අහිසංකයෙකු සිටින බව ය.

විවිධ හේතු සාධක මතය. අහිංසක අබිබවා හිංසක නැගී සිටියේ. අඟුල්මල් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අවි ආයුධ භාවිතයෙන්, දණ්ඩනයෙන් තොරව හුදෙක් කරුණා මෛත්‍රියෙන් අඟුල්මල් දමනය කළ සේක. ඔහු කිසි කලෙකත් මතුවට පරපණ නොනසන රහත් උතුමෙකු බවට පත් කළහ. මෙයින් පැහැදිලි වන්නේ කවර අපරාධකරුවෙකු තුළ වුවද අහිංසකයෙකු සිටින බවය. විවිධ හේතු සාධක මත අහිංසක අබිබවා හිංසන නැගී සිටියේ අඟුල්මල් මනුෂ්‍ය ඝාතකයා බිහි කරමිනි. ඔහු පරමාදර්ශි පුද්ගලයෙකු කළ බුදුරජාණන් වහන්සේ කිසි කලෙකත් එවැනි සාපරාධී ක්‍රියාවක් නොකරන තැනට එම චරිතය සංවර්ධනය කළහ. ඔහුගේ අධ්‍යාත්මය ගොඩනැගූහ. උන්වහන්සේ අංගුලිමාල නම් ඒ මහා මනුෂ්‍ය ඝාතකයාට රජු විසින් මරණ දඬුවම දීම වළකාලූහ. එහි ලා සක්‍රිය වූයෙන් ද අර්ථවත් වූයේ ද මෙත්තා, කරුණාදි බ්‍රහ්ම විහරණයන් ය. දණ්ඩනයෙහි වුවද අරමුණ විය යුත්තේ වරදකරුවෙකු යහපත් මිනිසෙකු බවට පත්කර ගැන්මයි. ඒ අනුව දඬුවම ද එක්තරා ප්‍රතිකාරකයකි. එහෙත් මරණ දඬුවම පුද්ගලයෙකු සපුරා වනසන්නකි. එය ප්‍රතිකාරයක් නොවේ.

අංගුලිමාල සූත්‍රාවසානයෙහි සඳහන් වන පරිදි ‘යමෙක් පෙර (පළමුව) ප්‍රමාදය හේතුවෙන් සාපරාධී ක්‍රියාවන්ට පෙළඹුන ද ඔහු පසුව (දෙවනුව) නොපමා වේ ද (එනම් වරද වරදක් ලෙසින්ම පිළිගනියි ද තමා කළ වරද තේරුම් ගනියි ද එයින් සපුරා වළකියි ද) හෙතෙම රාහුගෙන් මිදුණු සඳ මෙන් මේ ලෝකය බබළ වන්නේය. “එසේම බුදුරජාණන් වහන්සේ තවත් තැනක වදාළ පරිදි යමෙකු විසින් කරන ලද පාප කර්මය පසු කලෙක කුසල කර්මයෙන් එනම් කළ වරද වටහා ගෙන ඉන් මිදී නිවැරැදි ක්‍රියාවෙන් එබඳු වරදක් මතු නොවන සේ වළකාලයි ද හෙතෙම ලොව බබළුවන්නේය. අංගුලිමාල ද එලෙස ලෝකය බබුළුවාලීමේ ආදර්ශය ගෙනහැර පෑවේය. මහා අපරාධකරුවෙකු වූ හෙතෙම බුදුන් දැක සිත් නිවා සිය වරද වටහා ගෙන පරමාදර්ශී රහත් උතුමෙකු වූයේය. වඩාත් බරපතල වූ මව මැරීම, පියා මැරීම, රහතුන් නැසීම, බුදු සිරුරේ ලේ සෙලවීම සහ සංඝ භේදය යන ආනන්තරිය පව්කම්වලින් එකක් කළ තැනැත්තාටය. කලණ මිතුරෙකුගේ මඟ පෙන්වීම ඇතත් ඒ පව්කම් වසාලිය නොහැකි බවද, ඔහුට පිහිටක් නම් නැති බවද, දෙව්දත් තෙරුන්ට මේ මෙලොව දී හෝ පරලොව දී දුක් විපාක ම ලැබෙන බව ද පුරාණාචාර්යවරු පෙන්වා දෙති. අංගුලිමාලයෝ බුදුරදුන්ගේ මහා කරුණා දැළටම හසුවූවෝ අවසන් මොහොතේ සිදුවිය හැකිව තිබු ඒ මහා පව්කම්වලින් ද ගැලවුනෝය. ඔහුට අති උතුම් කලණ මිතුරෙකු කල් ඇතිව ම හමුවිය. ඒ බුදුරජාණන් වහන්සේය. මේ අනුව නිවැරැදි , නිසි මඟ පෙන්වීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා යථාවබෝධය ද ඇති තැන මහා අපරාධකරුවෙකු වුවද මෙලොව එළිය කරන උතුම් පුද්ගලයෙකු බවට පත් කළ හැකි බව බුදුදහම පෙන්වා දෙයි. දඬුවම , මිනිසෙකු වරදින් මුදා ගත හැකි එකම මාර්ගය නොවේ.

අංගුලිමාලයන් අපරාධකරුවෙකු බවට පත් කරන ලද්දේ ඔහුගේ චිත්ත සන්තානගත ව පැවති රාග, ද්වේශ ,මෝහාදී ක්ලේශ ධර්මයන්ය. එකී කෙලෙස් සිතිවිලි විසින් මෙහෙයවන ලද ඔහු අමනුෂ්‍යයෙකු සේ හැසිරුණේය. සියලු කෙලෙස් නසා බුදුරදුන්ගේ මාර්ගෝපදේශනය අනුව මතුවට කිසිදු පව්කමක්,අපරාධයක් නොකෙරෙන තැනට එනම් මහ රහත් බවට අංගුලිමාලයෝ පත්වූහ. සුප්‍රකට රතන සූත්‍ර දේශනාව අනුව, ඒ (සෝවාන්) පුද්ගල තෙමේ කයින්, වචනයෙන් හෝ සිතින් කෙරෙන්නා වූ සඟවා ගත් පව්කම් නැත්තෙකි.

ඔහු තිදොරින්ම පිරිසුදු ය. විවෘතය. සියලු වරදින් මිදී පරමාදර්ශී අත්‍යුදාර උතුමෙකු බවට පත්වුවද පිඬුපිණිස වැඩම කළ අංගුලිමාල මහ රහතුන් වහන්සේට විවිධාකාර වූ දුක් පීඩාවන් විඳීමට සිදු වූ සැටි ද එම සූත්‍රයෙහි විස්තර වෙයි. ඒ දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම රහත් වුවද කර්ම විපාකවලට මුහුණ දීමට සිදුවීමෙකැයිද සූත්‍රයෙහි දැක්වේ. ජනපි‍්‍රය වූ බලගතු අංගුලිමාල පිරිත නම් වූ සත්‍ය ක්‍රියාව දැක්වෙන්නේ ද අංගුලිමාල සූත්‍රයේ ය. මූඪ ගර්භවැ ප්‍රසව වේදනාවෙන් පෙළෙන එක්තරා ගැහැනියක දුටු අඟුල්මල් තෙරුන් ඒ බව බුදුරදුන්ට සැල කළ බවද, ඉන් පසු උන්වහන්සේ විසින් එම සත්‍යක්‍රියාව උගන්වා වදාළ බව ද එහි දැක්වෙයි.

‘අංගුලිමාලයෙනි, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව. ඇයට මෙසේ කියව. නැගැණියෙනි, යම් දවසකැ මා ආර්ය ජාතියෙහි උපන්නේම් ද එතැන් පටන් (දැන දැන ) සිතාමතා සත්ත්වයෙකුගේ දිවි තොර නොකෙළෙමි. ප්‍රාණඝාතයක් නොකෙළෙමි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා, ඔබේ කුසටද සෙත් වේවා” මේ අංගුලිමාල පිරිත නම් වූ බුදුරදුන් අංගුලිමාල තෙරුණුවන්ට ලබා දුන් සත්‍යක්‍රියා බලය රැගත් ප්‍රකාශයයි.

මෙහි ආර්ය ජාතියෙහි උපන් තැන යනු අංගුලිමාලයන් පැවිදි වූ අවස්ථාවය.ආර්ය ජාතියෙහි ඉපදීම යනු සසුන්ගත වීමයි. ඔහුගේ කළ පව් ගෙවී ගියේය. හෙතෙම යළිත් එම පව්කමට නොපෙළඹෙන පැවිද්දෙකු විය. ඒ සත්‍යානුභාවය ඔහුගේ බලය වූයේය. මෙහි දී කිව යුත්තක් නම්, සාරිපුත්, මොග්ගල්ලානාදී ඕනෑම රහතුන් වහන්සේ නමකට මේ සත්‍යක්‍රියාව කළ හැකි වුවද නොරහත් සිල්වතුන් වහන්සේලා අතර ඕනෑ ම භික්ෂුවකට වුවද මෙය කළ හැකි වුවද බුදුරදුන් විසින් පෙර පරපණ සිය ගණනින් නැති කළ සුප්‍රකට මනුෂ්‍ය ඝාතකයෙකුව සිටි පසුවැ පැවිදිව රහත්වු අංගුලිමාල තෙරණුවන්ටම එය අනුදැන වදාළ බවය. ඉන් ප්‍රකට කරන ලද්දේ ද පිරිපුන් චරිත සංවර්ධනයට පත්, නැවතත් සාපරාධී ක්‍රියාවන් සිදු නොකරන්නෙකු වු තැනැත්තාටද ලෝකයට අපමණ ශාන්තියක් කළ හැකි බවය.

එමගින් අංගුලිමාල තෙරණුවන් සමාජය තුළ මහා ශාන්ති දායකයෙකු ලෙස පිළිගන්නා ලද බවට සැකයක් නැත. එම සත්‍යක්‍රියාව සංඛ්‍යාත අංගුලිමාල පිරිත දැනුදු උන්වහන්සේ වෙත මහා ගෞරවයක් හා බලයක් ලබා දී තිබේ.අපරාධකරුවෙකු ලෙස සමාජය විසින් බැහැර කල හැකි ව තිබූ අංගුලිමාල තෙරණුවන්ට එය බුදුරදුන් විසින් ලබා දෙන ලද අද්විතීය වු සහතිකයක් වැන්න. මහා පීඩාවක් වූ ප්‍රසව වේදනාවෙන් පෙළෙන අපමණ මව්වරු අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් දැනුදු සුවපත් වෙති.