Print this Article


සුනන්දාරාම මහා විහාරය

සිත සනසන පුද බිම කරාපිටිය සුනන්දාරාම මහා විහාරය

ගාල්ල බෙලිගහ – කරාපිටිය මාර්ගයේ ගමන් කළ විට හමුවන කරාපිටිය ග්‍රාමයෙහි 1770 වසරේදී ආරම්භ කරන ලද පුරාණ සුනන්දාරාම මහා විහාරය පින් සිත් සනසන සැමට සෙත සලසන පින් කෙතකි. එකල බෝධීන් වහන්සේ පමණක් මුල්කොටගෙන කිරින්දේ රතනසාර නා හිමියන්ගේ නායකත්වයෙන් විහාරස්ථානය බිහි කොට ඇත.

විහාරස්ථානය තුළ හෙළ වාස්තු විද්‍යා සම්ප්‍රදායේ උඩදා ගෙයක් සහිත ඉපැරණි බුදු මැදුරක් මීට වසර දෙසිය හතළිස් හයකට පෙර දී ඉදිකොට ඇත. මෙය නුවර යුගයට අයත් චේතිය සම්ප්‍රදායකි. ඊට යාබදව ඉදිකොට තිබූ දැනට දක්නට නොමැති ආවාස ගෙයක වැඩ සිටිමින් එම කටයුතු 1869 දී නිමකොට ඇත්තේ තෙලිකඩ සරණපාල නා හිමිපාණන්ගේ කාලයේදීය. මෙය වත්මන් පුරා විද්‍යා ස්මාරකයකි.

සියලුම විහාරාංගවලින් සමන්විත පුරාණ සුනන්දාරාම මහා විහාරය අක්කර තුනක බිම් කඩක් තුළ කරාපිටිය නගර මධ්‍යයේ අක්මීමන බෝපේ - පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 126 /ඒ කරාපිටිය වසම තුළ පිහිටා ඇත. මීට වසර එකසිය පනහකට පෙර ඉදිකළ දැනුදු දක්නට ලැබෙන පුරාණ සංඝාවාස ගොඩනැගිල්ල වසර අනු හයකට පෙර ඉදිකළ දර්ශනීය බුදුමැදුර වසර හතළිස් හතරකට පෙර ඉදිකළ ධර්මශාලාව සහ ධාතු මන්දිරය, ඉපැරණි ඇසතු බෝධිය සහ අරලිය ගස විහාරස්ථානයේ ඉපැරණි අභිමානය කියාපාන විහාරාංගයෝය. කඹුරුගමුවේ සුමනතිස්ස නා හිමි, මොටාගෙදර පඤ්ඤාධාර නා හිමි, මොටාගෙදර සරණංකර නා හිමි, මොටාගෙදර පුඤ්ඤාරාම නා හිමි, ගොඩකන්දේ සුගතවංශ නා හිමි විහාරස්ථානයට මීට පෙර දී නායකත්වය ලබා දී එහි භෞතික සහ ආගමික කටයුතු ඉටු කොට ඇත. වත්මන් නායකත්වය නරාවල සුධම්ම හිමියෝ උසුලති.විහාරස්ථානය තුළ විවිධ ආගමික සහ සමාජයීය සේවාවන් රාශියක් නිරතුරුව ක්‍රියාත්මකය. ශ්‍රී පඤ්ඤාධාර දහම් පාසල, දායක සභාව, කුළඟන සමිතිය, පෙර පාසල, නොවිධිමත් අධ්‍යාපන මධ්‍යස්ථානය සහ පරිසර සංවිධානය ඒ අතර මුල්තැන ගනී. කරාපිටිය පොලිස් මුරපොළ, ග්‍රාමනිලධාරී කාර්යාලය, උපතැපැල් කාර්යාලය, කරාපිටිය රෝහලට පැමිණෙන අයගේ නවාතැන් පහසුව සලසන සුගත විශ්‍රාම ශාලාව සහ රථගාල මඟින් ප්‍රජාවට සලසන සේවාවන් අතිමහත්ය. විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ සභාගීත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් 2010 දී ඉදිකළ නව සංඝාවාස ගොඩනැගිල්ල සහ 2013 ජනවාරි 22 දින එළිපෙහෙළි කොට ඉදිකිරීම් කටයුතු අරඹන ලද අභිනව චේතිය සහ ඇත් පවුර විහාරස්ථානයේ අගය තව තවත් වැඩිකර ඇත.

අභිනව චේතියේ මංගල ශිලා ප්‍රතිස්ඨාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ චේතිය සඳහා සැදැහැති මූල්‍යයමය දායකත්වය දැරූ පරිසරවේදී චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගේ සුරතින් 2013 මැයි 02 දින සිදුවිය. චේතියේ මුල් ගඩොල් තැන්පත්කොට ඉදිකිරීම් අරඹන ලද්දේ 2014 ජූනි 23 දාය. එහි ඉදිකිරීම් නිමකොට 2015 ජූනි 26 දින ගර්භ නිදානෝත්සවය අතිවිශාල සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මේ සා විශාල වැඩකොටසක් ඉතා කඩිනමින් සහ යහපත් ලෙස ඉටුකර ගැනීමට හැකිවූයේ ඒ සඳහා දිවා රෑ වෙහෙස වූ දායක පිරිසකගේ ධෛර්යය නිසාමය. ඒ සඳහා මඟ පෙන්වමින් සංවිධානය කටයුතු මෙහෙය වූ වත්මන් කෘත්‍යාධිකාරී මානවේරියේ ධම්මික හිමියන්, දායක සභාවේ සභාපති අධිනීතීඥ මාපලගම විමලරත්න මහතා දායක සභාවේ සංවිධායක ජී.එච්.ජී. ජයසේන මහතා ඇතුළු විහාරස්ථ දායක සභාවේ සහ කුළඟන සමිතියේ කැපවී කටයුතු කළ සියලු මහත්ම මහත්මීහු කෘතඥතා පූර්වකව සිහිකළ යුතු ය.

අභිනව චේතිය 2017 ජනවාරි 12 දුරුතු පෝ දා සුබ නැකතින් විවෘත කරනු ලැබුයේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙනි.