Print this Article


මහනුවර සංඝරාජ පිරිවෙනේ වැලිවිට සරණංකර හිමියෝ

ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට

වැලිවිට සරණංකර හිමියන් වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය විසින් මුදල් චෙක්පත පිළිගැන්වූ අයුරු. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් හා ශ්‍රී සංඝරාජ මහ පිරිවෙණේ පරිවේණාධිපති මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික දර්ශනපති මිණිගමුවේ රතනපාල, මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික සාලියපුර විපස්සී යන හිමිවරුද ඡායාරූපයේ සිටිති.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ වර්ෂ 2016 විභාගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි කරගත් සියම් මහ නිකායේ මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ මහ පිරිවෙණේ වැලිවිට සරණංකර හිමියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් රුපියල් 25000/= ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් ආණ්ඩුකාරවරිය උන්වහන්සේ හමුවෙහි අදහස් දක්වමින් ථෙරවාදී බෞද්ධ ධර්මය ලොව පුරා ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උගත් භික්ෂූන් වහන්සේ සතුව සුවිශාල කාර්යභාරයක් පවතින බව පැවසුවාය.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්ගේ අනුශාසනා මත පවත්වාගෙන යනු ලබන ශ්‍රී ඝංඝරාජ පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍ය හිමිනමක වන සරණංකර හිමියෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2015 වසරේ දී පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගයෙන්ද විශිෂ්ට සමාර්ථයක් ලබා තිබෙන අතර උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂා ඇතුළුව ශාස්ත්‍රීය අධ්‍යයනයේ ප්‍රවීණතාව ලබමින් මෙම වසර අවසානයේ ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගයට ද පෙනී සිටීමට නියමිතය.