Print this Article


භක්ත්‍යාංජලි ආගමික වැඩසටහන් රාශියක්  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී

භක්ත්‍යාංජලි ආගමික වැඩසටහන් රාශියක්  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී


කෑගල්ල පාරමිතෝදය බෞද්ධ පදනමේ භක්ත්‍යාංජලි ආගමික වැඩසටහන් රාශියක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල්කරගෙන පසුගියදා පැවැත්විණි.

අනුරාධපුර සිරිසඟබෝ බෞද්ධ මධ්‍යස්ථානයේ සිට 41 වන වතාවටත් පැවැත් වූ පෙරහර පළඳනාව, ශබ්ද පූජා, ජාතික කොඩි, බෞද්ධ කොඩි, ලද පස් මල්, මුරායුධ, සේසත්, ධජ, රජ දරුවන්ගේ රූප ඇතුළත් පතාක කොඩි, මුතුකුඩ, පූජා භාණ්ඩ ධාතු කරඬුව, ගිලන් පස, රන් සළු ආදිය රැගත් දර්ශනීය පෙරහර රුවන්වැලි සෑය වෙත ගමන් කර එහිදී පැවැති වර්ෂාවද නොතකා හේවිසි නාද මැද වට පළඳනා පැළඳවූහ. ගිලන් පස පූජා කිරීමෙන් අනතුරුව ශබ්ද පූජා පවත්වා ධර්ම දේශනයක්ද පැවැත්විණි.

පසුදින මිහින්තලා මහ සෑයට වට පළඳනා හේවිසි නාද මැද පළඳවන ලදී. ඉන් පසු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වට පළඳනාව පූජා කර ආගමික කටයුතු පැවැත්විණි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි චෛත්‍යය වෙත කිරි ආහාර පූජා කිරීම, බුද්ධ පූජා කිරීම සහ සාංඝික දානමය කටයුතු සිදු කිරීමද විය.

අනුරාධපුර අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නා හිමියන්ගේ සහ මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්විණි. එම අවස්ථාවට මහා සංඝ රත්නය සමඟ කෑගල්ල පාරමිතෝදය බෞද්ධ පදනමේ සභාපති බී.තිස්ස විජේරත්න, උප සභාපති වසන්ත තිලක විජේරත්න, ලේකම් සෝමරත්න, අධ්‍යක්ෂිකා යසවතී වගආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු කෑගල්ල පාරමිතෝදය බෞද්ධ පදනමේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ. පාරමිතෝදය බෞද්ධ පදනමේ පෙරහර රුවන්වැලි සෑ රදුන් වෙත ගමන් කළ අයුරු.