Print this Article


පහන් සිතක කවි

සොඳුරු දිවිය

පාට පොදක් සේ දිවි සිත්තම් කෙරුවත්
මහමෙර සේ ජීවිතයට සවි දුන්නත්
රන්රස මෙන් එක ලෙස අප සිටියත්
දිනක සැවොම හැරයයි ලොව කොයි සිටියත්

තඹර මලක් වනු මඩ ගොහොරින් පිපෙන
නිමල වදන් පවසනු පෙණපිඬු සේ නැඟෙන
විසල් රුකක් වනු නිසිකල පල දරන
දැහැමි දිවිය සකසව් වළකා භව ගමන

ඩබ්ලිව්. සංජු දිල්ශාන් ද මැල්
මොරටුව


දානය

කබල් ටින් එක හඬනවා
හඬා කිසිවක් කියනවා
නෙතක් එය දැක වැළපුණා
සිතේ සුදු මල් පිබිදුණා
මොහොතකින් ටින් එකේ පත්ලට
දයා බිඳුවක් වෑහුණා
දිව්‍ය සම්පත්
රාජ සම්පත්
මිහිපිට වූ
සියලු සම්පත්
ලබන්නට
පැතුමන් පුරානොව
කුසක ඇති ගිනි
නිවනු පිණිසයි

කෑගල්ලේ කංකීරියේ පියල්


පරිසරය සුරකමින් වඳිමු සිරිපා පියුම්

දිදුලනා දිය දහර කදිමය සොබා
සිරි පිරි ගඟුල තැන්නේ

නහවනා ගත මන පිනා යන අමා
ඔසුවක සිහිල දෙන්නේ

නැළවෙනා යුතු, ඉති බලා හිඳ මිනිස්
ඉරියව් ගැන තැවෙන්නේ

නොදිරනා දෙය රැගෙන නොඑනුය
සිව් දිගින් එන බැතිමතුන්නේ

සරිලනා නිසි බසම වහරනු
කට වරද්දා නොගනුයේ

තෙරුවනා ගුණ හඬ නගාගෙන
හිමව් ගිර වෙත ඇදෙනුයේ

නැඟ එනා හිරු අලුයමේ සිරිපා
පියුම් වැඳ නැගෙනුයේ

එලෙසිනා නළලත උලා පින් පුරව්
සිරිපා අඩවියේ

තුසිත එඩේරමුල්ල
පහල යාගොඩ


නිදහස සහ බුදු දහම

පයක දම්වැල් දමා තිබුණොත් කෙසේ පිය නැඟ ඇවිද යන්නද
අතක තුඩැඟිලි සිඳී තිබුණොත් කෙලෙස දෙ අතින් මල් නෙළන්නද
නෙතක සුදු මතු වෙලා අන්ධව තිබේ නම් ලොව දෙස බලන්නද
රටක නිදහස නොමැති නම් කය කෙසේ නිදුකින් කල් ගෙවන්නද

කොතෙක් සම්පත් තිබූ මුත් ගතට නිදහස මව් බිමයි
ඇතෙක් බර රන් පොදි ලැබුණු මුත් නිදහසට ඒවා යටයි
ගතක් නිදුකින් දිවි ගෙවන්නට රටක නිදහස අවැසිමයි
සිතක් සනසා ගන්න නම් බුදු දහම නැතිවම බැරි හැඩයි


හඳුනා ගනු මැනවි

හඳුනා ගනු මැනවි නිවනට යන පාර
හදා ගනු මැනවි සසරේ බිය ඝෝර
පිසදා ගනු මැනවි කෙලෙසුන් සංසාර
සරසා ගනු මැනවි සිත පින් දහමින් සාර

නාරම්මල කුසුමලතා මුණසිංහ


නළල තබා අපි වැන්ඳා

සිරස සමනොළ පව්ව පිස එන මඳ නළින් ගත කිළි පොළාදෝ
ශීත ගඟුලේ සිහින් දිය සුළි ඔබේ ගතවට දැවටුණාදෝ
සමන් සුරිඳුගෙ වරම හිමිවී ඇතුගෙ නිලයට අණ කළාදෝ
දිබ්බ චක්ෂුව දැල්වි දැල්වී ගුවනෙ සිත්තම් වුණාදෝ

සිසිර නිලමේ කළා ඇරැයුම් සමිඳුගේ පා වැඳ වැඳ
හැටන් පාරෙන් වඩම්මන්නට පිළිමෙ අබරණ පුද පුද
සාධු කාරය ගුවනෙ මුසුවුණි බොදුවනගෙ මුව මෙවරද
නළල තබලා අප වැන්ඳා ගෞතම සම්බුදු සිරිපද

චන්දි අටවක්වල -


හොඳ දරුවකු වෙයන් පුතේ

දහම් පාසලෙන් හුරුවී ගුණ දම් ඉවසීම
අභිමානෙන් ඉටු කළ මැන යුතුකම වගකීම
උපන් බිමට මෙහෙවර කොට විඳ විඳ සැනසීම
වැජඹෙන්නට සිතට ගතොත් බැබළෙයි හැමදාම

පන්සිල් පද පහ සුරකින දරුවකු විලසට
ඇල්මෙන් දුසිරිත් වඩවා දැහැමින් හැම විට
සමාජයට රටට දැයට යුතකම් ඉටු කොට
හොඳ දරුවෙකු වෙයන් පුතේ සුරකින මගෙ රට

දෙදියවල අමරදාස පෙරේරා


බුදුන් වඳිමි

අම සෙත ලබනුවස් මතු දවසකදි යස
දමනය කරමි බිඳ පස් පව් විසය රස
ඉම කොන නුදුටු ගුණ මුහුදෙහි කිමිද බැස
නමදිමි අදත් හිමිපා බැති කඳුළු පිස

පිලිපන් මගට පිනිදිය පොද වැටේවී
මහනෙල් නෙලුම්මල් මග පැන නැගේවී
නුබ ගැබ සමන් මල් වියනින් වැසේවි
හිමි ගුණ සුවඳ සිව් සියගව් ඇසේවි

හීන්වැල්ලේ
ශාස්ත්‍රපති විමල් විජේසේකර