Print this Article


සාර්ථක විවාහයක නිවැරැදිතෝරා ගැනීම

සාර්ථක විවාහයක නිවැරැදිතෝරා ගැනීම

මෙම ලිපියෙහි කොටසක් (ජනවාරි 27) වැනිදා දුරුතු අමාවක පෝදා පත්‍රයේ පළවිය.

පවුල් ජීවිතයට අදාළ සීලය නිවැරැදිව ආරක්ෂා කරන පුද්ගලයන් සෑම සීලයක්ම නිවැරැදිව ආරක්ෂා කරයි.

කාමමිථ්‍යාචාරයෙන් සොරකමෙන් ,බොරුවෙන් වැළකී සිටින පුද්ගලයා ගෙදර සෙසු කාරණා තුළත් එවැනි ආකාරයෙන් කටයුතු කරයි. මුලික විනය ආරක්ෂා කරන පුද්ගලයා සියලු කටයුතු සඳහා එම තත්ත්වය ක්‍රියාත්මක කරයි. ගෙදර විනය සඳහා යොදාගන්නා නීති කඩනවා යනු සිල් බිඳීමක් වෙයි.නොකළ යුතු දේ සහ කළ යුතු දේ පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුයි.එමවිශ්වාසය සමඟ නොකළ යුතු දේ නොකර සිටින කළ යුතුදේ කරන පුද්ගලයෙකු සමඟ ජීවත් වනවා යනු සිල්වතෙකු සමඟ ජීවත් වීමක් වෙයි. එම සිල්වත්කම තුළ අඛණ්ඩව සිටීමෙන් ඊළඟ ආත්මය තුළදීත් මේ සද්පුරුෂ තැනැත්තා සහ සද්පුරුෂ තැනැත්තිය මුණ ගැසිය යුතු බවට ප්‍රාර්ථනා කළ හැකියි.බුදු දහමට අනුව ඔවුන් මුණ ගැසෙයි. මේ රෙටි මිනිසුන් පන්සිල් ගන්නා තරමට සිල් ආරක්ෂා නොකරන්නේ මන්ද?යනුවෙන් ඇතැමුන් ප්‍රශ්නයක් නගයි. ඔවුන් බොහෝ පිරිසකට සතර අපාය පිළිබඳව විශ්වාසයක් නැහැ. කිසිදු අවස්ථාවක මිනිසුන් තිරිසන් අපායෙහි ඉපදීමට හැකියාවක් නැති බවට සිතයි. ඒ සඳහා පිළිගැනීමක් ඇතිවීමට නම්,බුදුපියාණන් වහන්සේ වදාළ සතර අපාය පිළිබඳව විශ්වාසයක් සහ අවබෝධයක් පැවතිය යුතුයි. මිනිසුන් වඳුරන්ගෙන් පැමිණි බව බටහිර අදහසයි. බුදු දහමට අනුව පින් කළ සත්ත්වයෝ මේ ලෝකය විනාශ වන විට ආබස්සර බ්‍රහ්ම ලෝකය තුළ ඉපදෙයි. ආභස්සර බ්‍රහ්ම ලෝකය තුළ ජීවත් වූ පිරිස පෘතුවිය නැවත සැකසුණාට පසුව මුදවපු කිරි හට්ටියක් ලෙස පැවැති අවස්ථාවෙහි ආභස්සර බ්‍රහ්ම ලෝකය තුළින් මේ ලෝකයට සත්ත්වයන් පැමිණි බවයි. ඇමරිකාවේ නාසා ආයතනය ඇතුලු ලෝකයේ කළ අලුත් පර්යේෂණවලට අනුව නිරීක්ෂණය කරනු ලබන්නේද පෘථිවිය ජනාවාස කරනු ලැබුයේ පිටසක්වලින් පැමිණි ජීවීන් පිරිසක්ද යන්නයි. ඒ සදහා සාධක ක්‍රමයෙන් ලැබෙමින් පවතී ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි පිරිස මේ ලෝකය ජනාවාස කළබවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ එම කාරණාවමයි. එම ජනාවාස කිරීමට පින සහ පව සම්බන්ධ වෙයි.මේ ලෝකය විනාශ වන විට පින් ඇති සත්ත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකය තුළ ඉපදෙන බව බුදු දහම සඳහන් කරයි. බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ව්ශ්වාස නොමැති නම්,යහපත්ව ජීවත් නොවෙයි.

එක සමාන වු සීලයක් යමිකිසි දෙපිරිසක් අතර පවත්වා ගන්නවා නම්,දෙදෙනෙකු අතර සිල්වත්කම එක සමාන මට්ටමකට ගොඩනඟා ගන්නවා නම් ඒ අයට සංසාරය පුරා එම එම සාමානකම එකම ආකාරයට ජීවත් වීමේ පුරුද්දක් පවති. ප්‍රාණඝාත නොකර , අන්සතු දේ සොරකම් නොකර,කාමමිථ්‍යාචාරයට නොගිය ,අසත්‍ය ප්‍රකාශ නොකර එක දිගටම දිගු කලක් ජීවත්ව සිටිනවා නම්, එය ජීවිතය පුරුදු පුහුණු වී ඇති නිසාම සංසාරය තුළ එම දෙදෙනා මුණගැසුණහොත් කෙතරම් සාමකාමී ෙවිවිද? එම දෙදෙනා අතර හොර වැඩ ,වගේම අසත්‍ය නැතිව යයි. සංසාරය තුළ එවැනි හමුවක් කෙතරම් සැනසිලිදායකද?මේ භවයෙහි ජීවත්ව සිටිනතාක් සිල් ආරක්ෂා කරගෙන සිටිය යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත්තේද එැවැනි සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහායි. ඊළඟ ආත්මය තුළ විසංවාදයක් නැතිව ගැටුම් නැතිව,ජීවත් විය හැකී. දිගටම එවැනි ප්‍රතිපත්තියක සිට ඊළඟ ආත්මයේදීත් මෙම සීලයෙහි සත්‍ය බලයෙන් අප එකිනෙකා මුණගැසිය යුතු බවට ප්‍රාර්ථනා කළ හැකි එම සිල්වත්කමේ සත්‍ය බලයෙන් සත්‍ය ක්‍රියාකළ හැකීය. එක සමාන වූ සීලය එක සමාන වු ශ්‍රද්ධාව එක සමානව පන්සිල් රකිනවා යනු එක සමානව අනෙකුත් සීලයන්ද ආරක්ෂා කරනවා යන්නයි. සම සීලයට එකඟ වනවා යනු සාමාන්‍ය ජීවිතයේ කාරණාවන් සඳහාද එකඟ වීමයි. මූලික සීලයට එකඟ නැහැ යනු පවුල් ජීවිතය තුළ ඕනෑම වරදක් කළ හැකීය. මූලික සීලයට එකඟ වනවා යනු සාමාන්‍ය ජීවිතය තුළ තිබෙන නිතී රීති සඳහා එකඟ වන බවයි.

තුන් වන කාරණාව සම ත්‍යාගයයි. පරිත්‍යාගශීලි බව අතහැරීම එක සමාන විය යුතුයි. කැප වීම එක සමාන විය යුතුයි.වගවීම එක සමාන විය යුතුයි. එකිනෙකා සම්බන්ධව අප කෙතරම් දුරට වග වෙනවාද?අනෙකා සම්බන්ධව අප කෙතරම් දුරට අතහැරීමට සූදානම්ද? අනෙකා සම්බන්ධව කෙතරම් දුරට පරිත්‍යාගශීලි අයෙකු වීමට සූදානම්ද?පරිත්‍යාගශීලි බවක් නැති වගකීමක් නැති පුද්ගලයන් ආත්මාර්ථකාමින් බවට සිතයි.අනෙකාට උදවුවක් නැති අසද්පුරුෂයන් නැවත හමුවීම සුදුසු නැති බවට සිතින් හෝ සිතයි. වගවීමක් නැති,පරිත්‍යාග ශීලි නැති ,ත්‍යාගවන්ත නැති, මසුරු ,ලෝභකම් කරන පුද්ගලයෙකු සමඟ අවුරුදු දහයක් ජීවත් වුවහොත් එවැනි පුද්ගලයෙකු නැවත හමුවීමට ප්‍රාර්ථනා කළ හැකිද?අප තුළ ඇතිවන්නේ කරුමයක් ගෙවා දමනවා වැනි පිළිකුලක් පමණයි.ගෘහ ජීවිතය තුළ ඉතාම සම තැනකට පැමිණිය යුතුයි. ගෘහජීවිතය තුළ දී තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ ස්වාමිපුරුෂයා අම්මාට උපකාර කිරීමට අවශ්‍ය බවට සිතන වි්ට බිරිඳක් හෝ සැමියෙක් තමාගේ අම්මාට තාත්තාට උපකාර කරන විට ඒ පිළිබඳව ඉතාම අයහපත් ලෙස සිතමින් රණ්ඩු සරුවල් කරගනු ලබන බිරිඳක් හෝ සැමියෙක් සිටිනවා නම්,එවැනි ස්වාමි පුරුෂයෙකු හෝ එවැනි බිරිිඳක් ඊළඟ භවයට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අම්මාට තාත්තාට සැලකීමට නොහැකි වුණේ ඇයගේ හෝ ඔහුගේ දුෂ්ඨකම නිසා බව සිතයි. ඔහුට හෝ ඇයට ඇතිවන මානසික පීඩාවත් සමඟ ඇතිවන පිළිකුලත් සමඟ නැවත හමුවීමක් අවශ්‍ය වන්නේ නැහැ.ඔබගේ පරිත්‍යාගශීලි බව , ඔබගේ අතහැරීම තුළ අනෙකා සම්බන්ධව පවතින වගවීම උදාර ගුණයක් වෙයි .බුදුදහම එය සමත්‍යාග ලෙස හදුන්වයි.එය සමාන වූ අතහැරීමක් සමාන වු පරිත්‍යාගශීලි වීමක් අත්‍යවශ්‍ය වන්නේ ඊළඟ භවය තුළ අනෙකා ඔබට මුණගැස්වීම සඳහායි. ඔබ සද්පුරුෂ කල්‍යාණ ධර්ම තිබෙන තැනැත්තෙකු සහ තැනැත්තියක ලෙස පිළිගනු ලබන්නේ එවැනි ගුණ ඔබ තුළ පවතිනවා නම් පමණයි.

සම ප්‍රඥාා හෙවත් එක සමාන වු අවබෝධයක් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව තිබිය යුතුයි.දුක පිළිබදව එක සමාන පිළිගැනීමක් තිබිය යුතුවා සේම දුකට හේතුව තණ්හාව බව එක සමානව පිළිගත යුතුයි. තණ්හාව නැතිකිරීම සඳහා එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට එක සමාන පිළිගැනීම විය යුතුයි.දුකෙන් නිදහස්ව නිර්වාණ අවබෝධය ලැබිය යුතු බවට එක සමාන විශ්වාසයක් පැවතිය යුතුයි.අනිත්‍ය,දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ එක සමාන විශ්වාසයක්,එක සමාන අවබෝධයක් තිබිය යුතුයි.එක් අයෙකු අනිත්‍ය පිළිබඳව කතා කරන අවස්ථාවක අනෙකා නිත්‍ය පිළිබඳ විශ්වාසයෙන් කතා කරනවා නම්, එම අවබෝධය එක සමාන නොවෙයි. එක් අයෙකු සදාකාලික බව විශ්වාස නොකරනවා නම්, අනෙකා සදාකාලික බව පිළිබඳ විශ්වාසයෙන් කතා කරනවා නම්,අවබෝධය එක සමාන නොවෙයි. මූලික පිළිගැනීම් පිළිබඳ එක සමාන අවබෝධයක් නැතිකම සෙසු කාරණා සඳහාත් බලපානු ලබයි.

දරුවන් වෙනස් වන බව බිරිඳ පිළිගන්නා විට දරුවන් වෙනස් නොවන බවට ස්වාමියා පිළිනොගන්නේ නම්,දෙදෙනා අතර දරුවන් පිළිබඳ අවබෝධයන් දෙකක් පවති. මේ ලෝකය තුළ සැම දෙයම වෙනස් වනවා නම්,දරුවන් නොවෙනස් විය හැක්කේ කෙසේද? යනුවෙන් දෙදෙනාම පිළිගන්නවා නම්,දෙදෙනාගේම අවබෝධය එකක් වෙයි. දෙදෙනා එකම අවබෝධයක සිටින විට දරුවන්ගේ වෙනස් වීමෙහි ස්වභාවය දෙදෙනාට සාකච්ඡා කළ හැකීය. අප විශ්වාස කරන දෙය අත්විඳින බවට හැඟෙයි.පරස්පරතාවය තුළ එක් අයෙකුගේ පිළිගැනීම සත්‍ය වන විට අනෙකා තුළ විශාල ආඩම්බරයක් ද, අනෙකාගේ පිළිගැනීම අසත්‍ය වන විට අනෙකා තුළ හීනමානායක් ද හටගනී.පිළිගැනීම එක නම් , ගැටුමක් නොමැතිව දෙදෙනා තුළ ආත්මතෘප්තියක් ඇතිවෙයි. නැණ නුවණින් සම විය යුතුයි. පිළිගැනීම් ,තේරුම්ගැනීම් අවබෝධකරගැනීම් , එක සමාන වූ විට බුදුසමය අනුව ඊළඟ භවයෙහිදීත් සම ප්‍රඥා තිබෙන පුද්ගලයන් ලෙස එකට මුණගැසීමට හැකි වෙයි.ඊළඟ භවයෙහිදීත් මුණ ගැසිය යුතු නම්, සමසීල , සමත්‍යාග සමශ්‍රද්ධා සමප්‍රඥා ව එක සමානව දෙදෙනා තුළම ගොඩනැඟිය යුතුයි.