Print this Article


පරමාදර්ශී චරිතයක් උදෙසා

පරමාදර්ශී චරිතයක් උදෙසා

ස්වාමියා විසින් අවවාද කළද, වරදේ බැඳීම අත් නොහල කාන්තාවක් මරා දැමීම සඳහා ලිච්ඡවි රජ දරුවන්ගේ රාජ සභාවට ගොස් අවසර ඉල්ලා සිටි පුද්ගලයෙකුට එකල ලිච්ඡවි රාජ සභාව විසින් එම අවසරය ලබා දී ඇත. එයින් පැහැදිලි වන්නේ එකල එවැනි අපරාධ ඉතා බරපතල අපරාධ ලෙසින් සළකා ඇති බවයි.

එහෙත් තමන්ට දඬුවම් දීමට ස්වාමියාට අවසර ලැබී ඇති බව දැනගත් එම කාන්තාව සැවැත් නුවර බලා ගොස් පැවිදි වී ඇත. අනතුරුව කොසොල් රජතුමා වෙත ගොස් ඇයට මරණ දඬුවම ලබා දෙන ලෙස ඇයගේ ස්වාමි පුරුෂයා ඉල්ලා සිටියද ඇය භික්ෂුණියක් බව දැනගත් රජු එයට එකඟ වී නොමැත. ඒ අනුව එතරම් බරපතල අපරාධයක් වුවද නිවැරැදි කරගෙන පැවිදි දිවියට පිවිසීම නිසා ඇයට සමාවදීම තුළින් පැහැදිලි වන්නේ භික්ෂූත්වයට එදා රාජ්‍ය පාලනය තුළ තිබූ සුවිශේෂී සැළකිල්ලයි.

රාජ්‍ය නීතියට අනුව අන්‍යයන්ට, රටට, සමාජයට අයහපතක් සිදුවන අයුරින් කයින් සහ වචනයෙන් සිදුවන ක්‍රියාවන් පමණක් අපරාධ ගණයෙහිලා සැළකුවද බුදු දහමට අනුව සිත කය වචනය යන තුන්දොරින්ම සිදුවන අකුසල කර්මයන් අපරාධ ගණයෙහිලා සැළකේ. එසේම මෙලොවදී මෙන්ම ඉදිරි ආත්ම ගණනාවකදීම දඬුවම් ලැබෙන ඉතාම දරුණු ගණයේ අපරාධ පහක් ආනන්තරිය පාප කර්මයන් ලෙස බුදුදහමට අනුව හඳුන්වා දී ඇත. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, රහතුන් මැරීම සහ සංඝ භේදය එම පාප කර්ම යන්ය. ධර්මයෙන් පිරිහුණු භික්ෂූන් වහන්සේ ශාසනයට ඇතුළු වීම නිසා සංඝ ශාසනයේ විනය පිරිහී යන ආකාරයක් දක්නට ලැබීමෙන් සංඝයා වහන්සේලාට විනය ශික්ෂා පැනවීමටද බුදුරජාණන් වහන්සේට සිදු විය. එතෙක් ඉතා පිවිතුරුව පැවති සංඝ ශාසනය විමුක්තිකාමිත්වයෙන් තොර භික්ෂූන් වහන්සේගේ විනය විරෝධි හැසිරීම හේතුවෙන් පිරිහී යා නොදී රැක ගැනීම සඳහා විනය ශික්ෂා පනවමින් එය ආරක්ෂා කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට බුදුරජාණන් වහන්සේට සිදු විය. භික්ෂූන් වහන්සේ නමක් ධර්ම විනයට පටහැනිව ක්‍රියා කරමින් ශාසන විරෝධී ක්‍රියාවක් සිදුකරන සෑම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පනවා ඇත. භික්ෂූන්ගෙන් හා භික්ෂුණින්ගෙන් සංඝ සමාජයට කිසියම් හානියක් සිදුවීම වැළැක්වීම සඳහා සකස් කරන ලද ප්‍රඥප්තිය අනුව පනවන ලද විනය ශික්ෂාවන් වන්නේ, පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිස්සග්ගිය, පාචිත්තිය, පාටිදේසනීය සහ සේකග්ග යන විනය ශික්ෂාවන්ය. පාරාජිකා වීමක් යනු සංඝ සමාජය තුළ සිදුවිය හැකි බරපතල අපරාධයක් ලෙස සැලකිණි.

ඒ අනුව භික්ෂූන් සඳහා පාරාජිකා සතරක්ද භික්ෂුණීන් සඳහා පාරාජිකා අටක් ද පනවා ඇත.

පාරාජිකා යන්නෙන් අදහස් කර ඇත්තේ භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ ඒකායන අරමුණ වියයුතු විමුක්තිය උදාකර ගැනීම යන අරමුණින් පරාජය වීම යන්නය.

පාරාජිකා යනු භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපසම්පදා බව අහෝසි වී නැවත සාමණේර බවට පත්වීම හෝ ගිහි බවට පත්වීම සිදුවිය යුතු අතර නැවත උපසම්පදා වීමේ හැකියාවද අහෝසි වනු ඇත.

සුලුතරයක් වූ භික්ෂූන් වහන්සේලා ගේ විනය විරෝධි ක්‍රියාවන් මගින් සංඝ ශාසනයට විශාල හානියක් සිදුකළ හැකි බව දුටු බුදුරජාණන් වහන්සේ සංඝ ශාසනයේ සංඝයා වහන්සේලා තුළින්ම එම වැරදි නිවැරැදි කිරීමටත් එවන් වැරදි සිදු වීම වැළැක්වීමටත් නියම කර ඇත්තේ බහුතරයක් සංඝයා වහන්සේලාට ශාසනයේ පාරිශුද්ධත්වය රැක ගැනීමේ අවශ්‍යතාවය පවතින බව දැන සිටි නිසා ය.

ඉතා බරපතල වැරැදිවල සිට, සිවුරු හැඳීම සහ පෙරවීම, දහම් දෙසීම, දන් වැළඳීම, දහමෙහි හැසිරීම, මළපහ කිරීම වැනි ඉතාම සුළු කාරණා දක්වා ශික්ෂාපද විශාල සංඛ්‍යාවක් පැනවීම තුළින් පැහැදිලි වන්නේ භික්ෂුව සමාජයේ ගරු බුහුමනට ලක්වන පරමාදර්ශී චරිතයක් බවට පත්කර සංඝ සාසනයේ පාරිශුද්ධත්වය සුරක්ෂිත කිරීමට බුදුරජාණන් වහන්සේ දරන ලද අති මහත් පරිශ්‍රමයයි.

බුද්ධකාලයේ සිට වර්තමානය දක්වා විකාශනය වූ මානව සංහතියේ අතීතය දෙස නැවත හැරී බැලීමේදී පැහැදිලි වන්නේ බොහෝ කාල වකවානු තුළ අමානුෂික මනුෂ්‍ය ඝාතන, වහල් සේවය, කෲර වධ හිංසා, ත්‍රස්තවාදී ක්‍රියා, ආර්ථික බලවතුන් විසින් දිළිඳු සමාජ කොටස් සූරා කෑ ආකාරය, විවිධ උපක්‍රම මගින් රටවල් යටත් කර ගත් ආකාරය, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වැනි බරපතල අපරාධ ප්‍රමාණාත්මකව අඩු වැඩි වශයෙන් සිදුව ඇති බවයි. එසේම බුදුදහම ලෝකය තුළ ව්‍යාප්ත වීමේ ප්‍රමාණය අනුවත් ලෝකය බුදුදහම නිවැරදිව ග්‍රහණය කර ගන්නා ආකාරය අනුවත් විවිධ කාල වකවානු තුළ ලෝකයේ බොහෝ රටවල මෙම අපරාධ පාලනය වී ඇති ආකාරයත් දැකගත හැකිය.