UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දූවේගොඩ ධම්මාරාම නා හිමි

පෞරාණික සිද්ධස්ථානයක් වූ පලාතොට ශ්‍රී ගංගාරාමය 1890 දී මහෝපාධ්‍යාය නිරිඇල්ලේ ශ්‍රී විමලසාර නාහිමියන් විසින් ආරම්භ කරන ලද විහාරස්ථානයකි. පසු කාලයෙහි තත් විහාරස්ථානයෙහි විහාරාධිපතිව වැඩ සිටි වෛද්‍යාචාර්ය අකුරුකලවිට පියතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් 1975 දී සසුන් ගත වූ දූවේගොඩ ධම්මාරාම හිමියෝ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනින් හා හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය හදාරා 1976 ජූනි 16 වන දින උපසම්පත්තියට පත්වූහ. 2008 දී පලාතොට ගංගාරාමයේ විහාරාධිපති ධූරයට පත් වූ ධම්මාරාම හිමියෝ දස වසරක් තරම් කෙටි කලක් තුළ දී විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටිති.

ධම්මාරාම හිමියන් ආධිපත්‍යයට පත් වූ අවදියේ එතෙක් ජරාජීර්ණව පැවති එම විහාරස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත දර්ශනීය සිද්ධස්ථානයක් බවට පත්වූයේ උන්වහන්සේගේ ඉමහත් කැපවීම හා බලවත් පරිශ්‍රමය නිසාය. මෙම විහාරස්ථානයේ වර්තමාන නවෝදයේ නිර්මාතෘවරයා ධම්මාරාම හිමියන් ලෙස ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ.

විහාරස්ථානය ලෞකික වශයෙන් සංවර්ධනය කිරීමට පමණක් තම සේවාව සීමා නොකළ ධම්මාරාම හිමියෝ ස්වකීය දායක ප්‍රජාව අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමටද මහඟු සේවාවක් සිදුකරති.

පිරිත් දේශනයේ සහජ හැකියාවකින් හෙබි උන්වහන්සේ විහාරස්ථානයේ අතීතයේ වැඩ සිටි පිරිත් දේශනයෙන් විශ්වකීර්තියක් ඉසුලූ පලාතොට ඉන්දජෝති මාහිමියන් මඟ යමින් එකී ගෞරවය විහාරස්ථානයට අදටත් ලබා දෙන්නට සමත්ව සිටිති. පිරිත් දේශනයට පමණක් නොව බෝධි පූජා ආදී විවිධ පූජාවිධින් ද, යුගාසන ධර්මදේශනා, මෛත්‍රී වර්ණනා, ජාතක කතා දේශනා ආදී පෞරාණික දේශනා ක්‍රම පිළිබඳව ද විශේෂ ප්‍රාගුණ්‍යතාවකින් සමන්විත යතිවරයන් වහන්සේ නමක් වූ ධම්මාරාම හිමියෝ එම පෞරාණික දේශනා ක්‍රම නවක භික්ෂූන් වහන්සේලාට පුරුදු පුහුණු කිරීමට ද මහත් උනන්දුවකින් ක්‍රියා කරති.

කළුතර ශාසනාරක්ෂක මණ්ඩල බල ප්‍රදේශය තුළ විහාරාධිපති සංගමයක් හා දහම් පාසල් ගුරු සංවිධානයක් ස්ථාපනය කිරීමටද පුරෝගාමීව ක්‍රියාකළ උන්වහන්සේ කළුතර දකුණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ උප සභාපති ස්වාමීන් වහන්සේ ලෙසින්ද කටයුතු කරන අතර ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල සභාපති, අනුශාසක ආදී තනතුරු හොබවමින් සමාජීය වශයෙන් ද මහඟු සේවාවක් සිදුකරති.

ප්‍රදේශවාසී තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධම්මාරාම හිමියන්ගේ ලෝක ශාසනික සේවාව අගය කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක, සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් කළුතර තොටමුණේ උප ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම අර්ථවත් පදවි ප්‍රදානයක් වශයෙන් සැලකිය හැකිය.

අභිනව නායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 28 දින පස්වරු 3.00 ට පැවැත්වෙන අතර උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය පලාතොට ශ්‍රී ගංගාරාමයේදී බෙල්ලන්විල රාජමහ විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ජනවාරි 29 දින පස්වරු 02.30 ට පැවැත්වේ. අභිනව සංඝනායක දූවේගොඩ ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබේවායි ආශිංසනය කරමු.


රත්ගම විපස්සී නාහිමි

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ සබරගමු දිසාවේ ප්‍රධාන සංඝ නායක අඹන්පිටිය සුවිසුද්ධාරාම මහා විහාරස්ථානය පානකාව පුරාණ විහාරස්ථානය යන උභය විහාරාධිපතිව වැඩ වෙසෙන හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ නිර්මාතෘ විශ්‍රාමික විදුහල්පති මුළු දිවයිනටම සාම විනිසුරු, රත්ගම සද්ධර්ම කීර්ති ශ්‍රී විපශ්‍යාභිධාන නාහිමිපාණන්ගේ හැත්තෑපස්වන ජන්ම දිනය නිමිතිකොට ගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස කාර්ය මණ්ඩලය සහ තත් විහාරයන්හී දායක සභාවන් එක්ව සංවිධානය කරන පින්කම් මාලාවක් පසුගිය ජනවාරි 06 වනදා ආරම්භව ජනවාරි 22 දින දක්වා පුරා දින දහසයක් මුළුල්ලේ පැවැත්විණි.

1943 ජනවාරි මස 08 වනදා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්ගමදී කේ.ජේ. සිරිබෝහාමි සහ යූ.ජේ. රන්මල්හාමි යන දෙපළට දාව උපත ලැබූ දරුවාට කරුණාරත්න යනුවෙන් නම් තැබුණි. නිසි වයසේදී රත්ගම විදුහලට අකුරු කරවීම සඳහා දෙමව්පියන් විසින් සිය පුතණුවන් ඇතුළත් කරනු ලැබීය. 1956 උඳුවප් මාසයේ 26 දා කෝරල තුන ඇතුළු සතර කෝරල දිසාවේ උප ප්‍රධාන සංඝ නායකව වැඩසිටි අඹන්පිටියේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ හා මාරපන පියදස්සී නාහිමිවරුන් යටතේ රත්ගම විපස්සී නමින් පැවිදි බිමට ඇතුළත් විය.

මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා කෑගල්ල අඳුරාපොත සධර්ථොදය පිරිවෙනින්ද උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයේ උසස් පෙළ සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින්ද පන්නිපිටිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය පූර්ණ කර අනතුරුව පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබාගත්හ. ගුරුවෘත්තිය තෝරා උන්වහන්සේ ගුරු වෘත්තයෙන් සමුගනු ලැබුවේ විදුහල්පති වරයෙකු ද වශයෙන් සේවය කිරීමෙනි.

පානකාව පුරාණ විහාරස්ථානය මෙන්ම උන්වහන්සේ භාරකාරත්වය උසුලන අඹන්පිටියේ ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරය යන උභය විහාරයන් මේ වන විට වාස්තු විද්‍යානුකූලව රමණීය ලෙස ගොඩනඟා ඇති අතර සිය පූර්ණ ධනය යොදවා පානකාව පොල්ගහවෙල පාරේ හබුදුගල ග්‍රාමයේ අලුතින්ම ශ්‍රී දේවානන්ද නමින් විහාරස්ථානයක් නිර්මාණයකර බුදුසසුනට පූජා කිරීම උන්වහන්සේගේ දිවියේ පරිත්‍යාගශීලීත්වයට මහඟු නිදසුනකි. එමෙන්ම සුපේෂල ශික්ෂාකාමී අගනා සිසු පිරිසක් ද උන්වහන්සේ වටා සිටී.

එම පින්කම් මාලාවේ විශේෂත්වය වන්නේ උන්වහන්සේ ගුරු උපහාරයක් ලෙස ගොඩනැගූ ශ්‍රී දේවානන්ද විහාරස්ථානයට මෙතෙක් අඩුවක්ව පැවති චෛත්‍යයක් ගොඩනැගීම ආරම්භ කිරීමය. ඒ සඳහා මූලික දායකත්වය හොබවනු ලබන්නේ සබරගමු පළාත් සභාවේ විපක්ෂනායක ඩබ්ලිව්. සෝමදාස මහතාය. එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ෂ්වයේ ශ්‍රීමත් මහානායක වරකාගොඩ ඥානරතනාභිධාන මහානායක මහා හිමිපාණන් වහන්සේගේ සුරතින් හා අධීකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනවාරි 18 වන දා හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

පුරා වසර හැටක කාලයක් මුළුල්ලේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පරිත්‍යාගශීලී මෙහෙවරක් කරමින් ජීවිතයේ හැත්තෑ පස්වන වියට එළඹි කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක, රත්ගම සද්ධර්ම කීර්ති ශ්‍රී විපශ්‍යාභිධාන මහා හිමිපාණන් වහන්සේට තවදුරටත් ශාසනාභිවෘද්ධිය සඳහා කැපවී සේවය කිරීමට චිර ජීවනය සැලසේවා.


කලල්පිටියේ හේමාලෝක හිමි

ගාල්ල අක්මීමන පින්නදූව කලුගල මාවත ශ්‍රී සද්ධර්මෝදයාරාමාධිපති වෘද්ධෝප ශාන්ත කලල්පිටියේ හේමාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2017 ජනවාරි මස 25 වන දින සියවන වියට පා තැබූහ.

උන්වහන්සේ 1918 දුරුතු මස 25 වන දින ගම්පහ සියනෑ කෝරළයේ කලල්පිටියේ නම් ග්‍රාමයේ දී සාපිංසිඤෝ නමින් උපත ලබා ගමේ සිංහල පාසලින් මූලික අධ්‍යාපනය ලැබූහ. පුණ්‍යවන්ත කුමරු දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත කතළුවේ කීර්ති ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස අත්තනගල්ල රජමහා විහාරයේ දී 1930 පැවිදි විය.

ගුරු දේවයන් වහන්සේගේ පා සෙවනේ මූලික ධර්ම ශාස්ත්‍රය හදාරා ගාල්ල කිතුලම්පිටිය ආනන්ද පිරිවෙන, කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙන, යන පිරිවෙන් තුළින් සිංහල පාලි, සංස්කෘත යන භාෂාවන් ඇතුළු ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති කරගත් හේමාලෝක හාමුදුරුවෝ ගිහි පැවිදි හැමගේ චිත්තාරාධනයට ලක් විය. 1938 දී රාජ පූජිත මල්වතු මහා විහාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටියහ. 1952 ගා / කළුගල මාවත ශ්‍රී සුධර්මෝදයරාමාධිපති පදවියට පත්ව සකල විහාරාරාමයන්ගෙන් සමලංකෘත දර්ශනීය රමණීය ආරාමයක් බවට ද පත් කරලන්නට හැකි වූයේ හේමාලෝක හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසාමය.

සීලයෙන්ද, ගුණයෙන්ද වතින් මෙන්ම පිළිවෙතින් ද ගරු හේමාලෝක ලොකු හාමුදුරුවෝ ගමේ දරුවන් ගුණ නැණ දෙකින් පිරිපුන් පිරිසක් බවට පත් කරලන්නට හේමාලෝක දහම් පාසල ආරම්භ කළ අතර වර්තමානයේ දහසකට ආසන්න දරු පිරිසක් එහි අධ්‍යාපනය ලබති.

ස්වරභඤ්ඤ විශාරද මහා යතිවරයාණන් වහන්සේ නමක් ලෙස කීමෙහි බිනීමෙහි සහජ කුසලතා ඇති උන්වහන්සේ ගිහි පැවිදි සැමගේ නොමඳ ගෞරවයට පත්ව වැඩසිටීම හැමට ආශිර්වාදයකි.

හේමාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේ දඹදිව, ඇමරිකාව, තායිලන්තය වැනි රටවලද වැඩම කරමින් ආගමික සාමාජික කාර්යයන් හි යෙදෙමින් කරනු ලැබූ, කරනු ලබන සේවය ප්‍රශංසා කටයුතුවේ.

හේමාලෝක ලොකු හාමුදුරුවෝ පොදු ජනයාගේ දෙලොව දියුණුව සඳහා ඇප කැප වී ක්‍රියා කරනු ලබයි. ද ලොකු කුඩා භේදයකින් තොරව මහජනයාගේ අවශ්‍යතා ඉටුකර දෙයි.

මේ මහා යතිවරයාණන් වහන්සේ සම්බුද්ධ සසුනට ආලෝකයකි. පරමාදර්ශි යතිවරයෙකි. උන්වහන්සේ සියවන උපන්දිනය නිමිතිකරගෙන ජනවාරි15 වන දින අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කරනු ලැබූ අතර සතියක් පුරා පින්කම් සිදු කොට 2017.01.25 වන දහවල ශාතාදි මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි. ජීවන ගමන් මගේ සිය වන විට පා තබන කලල්පිටියේ හේමාලෝක මා හිමියන් වහන්සේට තෙරුවන් සරණින් සියළු දෙවි රැකවරණයත් ලෝසතුන් දෙකට වැඩ වඩන්නට දිගාසිරිවේවා. චිරං ජයතු.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]