UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැණ පහන් දැල්වීමට සෙවණ හදන මහ යතිවරයාණෝ

නැණ පහන් දැල්වීමට සෙවණ හදන මහ යතිවරයාණෝ

(වම) ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි. (දකුණ) 26 වන දා සිසු අයිතියට පැවරීමට නියමිත වූ තෙමහල් පාසල් ගොඩනැගිල්ල.

පන්නිල ආනන්ද නාහිමියන්ගේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතිය යටතේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල දැනට ඉදිවෙමින් පවතී. අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද ඉදිවෙමින් පවතී. එමෙන්ම ඉකුත් වසරේ දී මුල්ගල තබන ලද වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ ගණිත හා විද්‍යාගාර ගොඩනැගිල්ල ද මේ වන විට ඉදිකරමින් ඇත. එමෙන්ම තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලද ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දැනට ඉදිවෙමින් පවතී.

රටක හැදෙන වැඩෙන දරු පරපුර අනාගත ජීවනාලිය වේ. ඒ දරු පරපුර නැණ ගුණයෙන් පෝෂණය කිරීම වැඩිහිටි පරපුරෙහි වගකීම වේ. නැණ ගුණ පිරි සමාජයක් අපේක්ෂාවෙන් රජය මගින් ඉටු කරනු ලබන්නේ යුග මෙහෙවරකි. ඒ සඳහා වසරෙන් වසර රුපියල් කෝටි ගණනක් වැය කිරීම පැසසිය යුතු වේ.

රජය මගින් සියල්ල ඉටු කරන තෙක් බලා නොසිට ස්වකීය ශක්ති පමණින් ධනය වැය කර නැණවත් දරු පිරිසක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් පරිත්‍යාගශීලීහු ක්‍රියා කරන අවස්ථා දක්නට ලැබේ.

ප්‍රඥාව මනුෂ්‍යයාට වටිනා වස්තුවකි. ප්‍රඥාවන්තයන්ගෙන් පිරි සමාජයේ අවුල් වියවුල් දුලභය. සිසු දරුවන්ගේ නැණ පහන් දැල්වීමට ශිෂ්‍යාධාර , පාසල් උපකරණ ආදි විවිධ පරිත්‍යාගයන් ඉතා නිහඬව මෙරට පූජනීය සම්භාවනීය මහ සඟරුවන වරින්වර ලබාදෙන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ සම්භාවනීය මහ සඟරුවන එබඳු පරිත්‍යාගයන් හි නිරත වුවද ඒවා ඉතා අප්‍රකටව සිදු කිරීමද සුවිශේෂී කරුණකි.

වෙසෙසින් මෙම සටහන ලියැවෙන්නේ අකුරු කරන දරුවන්හට සිප්හලේදී සෙවණ සැලසීමට මහඟු මෙහෙවරක් ඉටුකරන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමක් පිළිබඳව සිහිපත් කිරීමටය.

උන්වහන්සේගේ යුග මෙහෙවර පිළිබඳ ‘බුදුසරණ’ වරින්වර දැනුම්වත් කර ඇති බවද සටහන් කරමු.

ඓතිහාසික අත්තනගල්ල රජ මහා විහාරාධිපති සහ ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය හා තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශී‍්‍ර ආනන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාසනික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික මෙහෙවරක නිරත වන යතිවරයන් වහන්සේ නමකි.

අත්තනගල්ල රජමහා විහාරස්ථ දහම්පාසල සඳහා දහම්පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව පතිරාජ පිරිවෙන අරඹා රුපියල් කෝටි අටකට අධික මුදලක් වැයකර තෙමහල්, සිව් මහල් භික්ෂු නේවාසිකාගාර ද ඉදිකරවූහ. දශක එක හමාරක් වැනි කෙටිකලක් තුළ විහාරස්ථානය නව විහාරාංග රැසකින් අලංකාර කළහ. අවට විහාරස්ථාන සඳහාද ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ විහාරාංග ඉදිකිරීමට දායකත්වය සැපයූහ. උන්වහන්සේ විදේශීය වශයෙන්ද සුවිසල් මෙහෙවරක නිරතව සිටිති.

ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උළෙලෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පන්නිල ආනන්ද නා හිමියන් වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව... ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උළෙලෙහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පන්නිල ආනන්ද නා හිමියන් වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව...

රෝහල් සංවර්ධන පදනමේ සභාපති ධුරය දරමින් වතුපිටිවල රෝහලේ වාට්ටු කීපයක් උන්වහන්සේ ගේ ධනයෙන් ඉදි කරවූහ.

සුනාමි උවදුර පැමිණීමෙන් පසු හික්කඩුවේ තෙල්වත්ත, පැරෑලිය, දළුවතුමුල්ල සහ රිදීගම ආදි ප්‍රදේශයන්හි නිවාස තුන්සිය තිස් හයක් අභිනවයෙන් ඉදිකරවා දුන්හ.

සෑම මසකම පළමුවන සෙනසුරාදා අත්තනගල්ල රජ මහා විහාරයේදී ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සඳහා රුපියල් ලක්ෂ තුන හමාරක පමණ මුදලක් පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් සිසු දරුවන් හත්සිය දාසය දෙනෙකු වෙත පිරිනමනු ලැබේ. උන්වහන්සේගෙන් මාසිකව ශිෂ්‍යාධාර ලබා ගන්නා වෛද්‍ය සිසුන් හැට හතර දෙනෙකුද ඒ අතර වේ.

සිප් සතර හදාරා නැණ පහන් දල්වා ගැනීමෙන් හික්මීම හෙවත් සංයමය ඇතිකර ගැනීම ස්වභාවයයි. ඒ සඳහා ශිල්පශාලා තනවා ළමා පරපුරට එමගින් සෙවණ සලසා ආනන්ද නා හිමියන් මහත් සැනසීමක් ලබනු ඇත. මෙසේ රුපියල් කෝටි ගණන් වැය කර පාසල් ගොඩනැගිලි ඉදිකරවා දීමට උන්වහන්සේට ශක්තිය සපයනු ලබන්නේ ආනන්ද නාහිමියන්ගේ විදේශීය පරිත්‍යාගශීලී හිතමිතුරන්ය.

අත්තනගල්ල උඩුගහ වල්පොල කනිටු විදුහලට රුපියල් ලක්ෂ එකසිය අසූවක මුදලක් වැය කර තෙමහල් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකරවූහ. ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයට ද එවැනිම පාසල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ එකසිය අනූවක මුදලින් ඉදිකරවා 2015 වසරේ ඔක්තෝබර් 25 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් කරවූහ.

නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙනට රුපියල් එක්කෝටි හැට දෙළක්ෂයක ධන පරිත්‍යාගයෙන් භික්ෂු නේවාසිකාගාරය සහ පුස්තකාලය ඉදිකරවා පූජා කළේ ය.

පන්නිල ආනන්ද නාහිමියන් මූලික අධ්‍යාපනය ලද කඹුරාගල්ල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරවීම සඳහා 2015 ඔක්තෝබර් 16 වන දා මුල්ගල තැබූහ. එය ඉදිකර මෙම මස 26 වනදා සිසු අයිතියට පැවරීමට නියමිතව ඇත. එදිනට උන්වහන්සේගේ ජන්ම දිනය යෙදී තිබීමද දෛවෝපගත සිදුවීමකි.

පන්නිල ආනන්ද නාහිමියන්ගේ පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතිය යටතේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල දැනට ඉදිවෙමින් පවතී. අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලද ඉදිවෙමින් පවතී. එමෙන්ම ඉකුත් වසරේ දී මුල්ගල තබන ලද වේයන්ගොඩ ශාන්තමරියා විද්‍යාලයේ ගණිත හා විද්‍යාගාර ගොඩනැගිල්ල ද මේ වන විට ඉදිකරමින් ඇත. එමෙන්ම තිහාරිය අල් අස්හාර් මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලද ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දැනට ඉදිවෙමින් පවතී.

උන්වහන්සේගේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ පටු වාද භේදවලින් තොරව ජාතික ආගමික සංහිඳියාව සඳහා සිදු කරන පරිත්‍යාග යුග ගණනාවක් පවතින පුරා මහඟු සිහිවටන වනු නිසැකය.

ආනන්ද නාහිමියන් එම අගනා මෙහෙවර සිදු කරනුයේ කිත් පැසසුම් අපේක්ෂාවෙන් නොවේ. ඊට ලැබෙන මල් මෙන්ම ගල්ද උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට තරම් ආත්ම ශක්තියෙන් යුක්ත වීමද සුවිශේෂී කරුණකි.

සම්බුදු සසුනට පන්සලට අවට විහාරස්ථානවලට පිහිටවිය යුතු තැන පිහිටවිය යුත්තන්ට නොපසුබටව අවශ්‍ය ශක්තිය, ධෛර්ය ලබාදීම ආනන්ද නාහිමියන්ගේ පවිත්‍ර අරමුණයි. ආගමික, සාමාජික, අධ්‍යාපනික ආදී විවිධ අංශයන් වෙත සිය අවධානය යොමු කළ පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භෞතික සංවර්ධනය උදෙසා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති ආකාරය බෙහෙවින් ආදර්ශවත්ය.

පන්සලත් හදා භෞතික සංවර්ධනයත් ඇති කරමින් ශාසනාභිවෘද්ධිය ඇති කිරීමත් මිනිස් සිතෙහි සංවර්ධනයට ද ශක්ති පමණින් දායකවීම අපේක්ෂාව කර ගත් ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ සසුනඹර එකලුකරන යතිවරයන් වහන්සේ නමකි.

පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටු කර ඇති යුග මෙහෙවර මෙබඳු කෙටි ලිපියකින් විස්තර කළ හැකි නොවේ. ඒ මෙහෙවර එකිනෙක ලිවීමට මෙවන් පිටු කීපයක් වෙන් කළ යුතු වේ.

උන්වහන්සේගේ සහාය අපේක්ෂාවෙන් විවිධ ඉල්ලීම් කෙරෙන අතර මූලික අපේක්ෂාව වනුයේ දැනට ඉදිකරමින් පවතින පාසල් ගොඩනැගිලි රැසක ඉදිකිරීම් නිමකරවාදීම බවද උන්වහන්සේ කාරුණිකව සිහිපත් කරති.

සිසු පරපුරටත් රටටත් සමාජයටත් අත්‍යුදාර මෙහෙවරක් ඉටුකරන පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එම මෙහෙවර යුග ගණනාවක් පුරා ඉටු කිරීමට තෙරුවන් බලයෙන් කායික මානසික ශක්තිය පතමු.

 

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 27 වන දා සිකුරාදා පූර්ව භාග 05.01 ට ලබයි. 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වන දා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 04 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]