Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාකින් උපුටාගත් කොටසකි මේ. සුනක්ඛත්ත එන්න. මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කීයෙම්ද? නැත, ස්වාමීනි,

සුනඛත්ත, මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද? නැත ස්වාමීනි.

සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේනම්” දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?

මෙම පුවත කළ අවස්ථාව කුමක්ද?

පිළිතුර

සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂූ නම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්යය නොපෙන්වන නිසාත් ලොකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

ප්‍රශ්නය

එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස අමතා මෙසේ වදාළහ.

මහණෙනි, මට චෝදනා නොකළ හැකි තුන් කරුණකින් මම ක්ෂේම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විසාරදව වාසය කරමි.උන්වහන්සේට මෙසේ චෝදනා නොකළ හැකි කරුණු තුන මොනවාද?

පිළිතුර

චෝදනා නොකළ හැකි තුන් කරුණනම්

1.තථාගත ධර්මය ස්වාක්ඛාත ධර්මය නොවේ.

2.තථාගතයන් වහන්සේ නිවන්මඟ මැනවින් පෙන්වා දී නැත.

3.තථාගත ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති.

1.තථාගත ධර්මය ස්වාක්ඛාතය

2.තථාගත ධර්මයෙන් නිවන්මඟ මැනවින් පෙන්වා දී ඇත.

3.තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රව ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ලබා වාසය කරති. මෙම තුන් කරුණකින් සාධාරණව මට චෝදනා කළ හැකි දෙවියෙකු, මාරයෙකු, බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමිය වදාළහ. (අංනි:සත්තක අව්‍යකත වග්ග– ආරකෙලය්‍ය සූත්‍ර)

ප්‍රශ්නය

ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂී වූ ශ්‍රාවකයෙකු ගේ ප්‍රකාශනයකි මේ ඒ තැනැත්තා කවුද?

ආශ්චර්යකි. ස්වාමිනි විශ්මය ජනකයි. ස්වාමීනි යටිකුරුව තිබු බඳුනක් උඩුකුරු කළාසේ. සැගවී තිබුණූ දෙයක් මතු කර දක්වන්නා සේ මං මුළාවූ කෙනෙකුට මග කියා දෙන්නාසේ. ඇස් ඇත්තෝ රූප දකිත්වා. අඳුරෙහි පහනක් දැල් වූවාසේ ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. මම ස්වාමීනි ඔබ වහන්සේත්, ධර්මයත් , සංඝ රත්නයත් අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගනිමි’ යි පැවැසීය.

යස කුල පුත්‍රයාගේ පියා ප්‍රථම වතාවට තිසරණ සරණ ගොස් බුදු සමය වැළඳ ගත් ගෘහස්ථයා ඔහුම විය.

ප්‍රශ්නය

සියලු සත්ත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුම කරගත්තේය. (ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීමේ) පිළිබඳව හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර්භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වුවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?

පිළිතුර

1.ජනක කර්ම (නාම රූප ධර්ම උපත සිදුවීම ඉපිදවීම),

2.උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)

3.උප පීඩක කර්ම (ජීවත්වීම බාධා කිරීම)

4.උපඝාතක කර්ම (ජීවිතය විනාශ කිරීම)

මේ කර්ම සතරේම ක්‍රියාකාරිත්වය පිළිබඳව එක් නිදසුනක් නම් දේවදත්ත ස්ථවිරයන්ගේ ජීවිත පැවැත්ම දැක්විය හැකිය. ජනක කර්මය කුසල වු හෙයින් දේවදත්ත තෙරුන් රජ පවුලක උපතට හේතුවිය. උපත්ථම්භක කර්මයේ බලපෑමෙන් සුව පහසු ජීවිතයක්ම පවත්වා ගෙන යෑමට කර්ම විපාකය බලවත් වුවත් සංඝ භේද කර්මය හේතුවෙන් උපපීඩක කර්ම විපාක වශයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. අවසානයේ උපඝාතක කර්ම විපාක වශයෙන් අවාසනාවන්ත ඉරණමකට භාජන විය.

ප්‍රශ්නය

කායික (කයින් කෙරෙන) අකුසල්වලින් අදත්තාදානය (සොරකම) එකකි. නුදුන් දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක් එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම,අවාසනාවන්ත දිළිඳු ජීවත පැවැත්මක් ඇතිවීම විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග සියල්ලක්ම සම්පූර්ණ විය යුතුය. සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග මොනවාද?

පිළිතුර

අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතු වන අංග පහකි.

1.අන් සතු භාණ්ඩයක් වීම

2.අන් සතු බව දැනීම

3.සොරා ගැනීමේ චේතනාව

4.සොරා ගැනීමට කරන උපක්‍රමය

5.එයින් පැහැර ගැනීම

ප්‍රශ්නය

අකුසල කර්මවලින් වැළකී කය, වචනය, යන දොරටු දෙක සංවරකර ගැනීම ශීලයයි. ශීලයෙහි ප්‍රභේදයන් ගණනාවක් අතුරෙන් ගෘහස්ථ ශීලය (ගිහි) පැහැදිලි කරන්න.

පිළිතුර

ගෘහස්ථ ජීවිතයෙහිදී ආරක්ෂා කළ හැකි ශීල වශයෙන් (සප්ත ශීල) ක්‍රම හතක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. අනගාරික අගාරික වශයෙන්ද වෙන්කොට ගෘහස්ථ ශීලය සමාදන් විය හැක.

එම ශීල නම්

1.පංච ශීලය, 2.බ්‍රහ්ම චරිය ශීලය , 3.අට්ඨමක ශීලය ,

4.ආජීවට්ඨමක ශීලය, 5.නවාංග ශීලය , 6.දස සීලය

ප්‍රශ්නය

සිල්වතෙක් වීම දෙලොවටම යහපත පිණිස හේතුවන බව පෙළ දහමෙහි සඳහන් වෙයි. ශීලයෙහි විපාක වශයෙන් ලැබෙන ඵලයන් පැහැදිලි කරන්න.

පිළිතුර

ශීලයෙහි (ආනිශංස) ඵලයන් මෙසේය.

1.උපභෝග පරිභෝග සම්පත් ලැබීම

2.දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරෙයි

3.අහීතව – නොපැකිළව

විශාරදව සභාගත විය හැක.

4.(අසම්මුළ්හෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු දෙව්ලොව උපතට ද ශීලයේ විපාක වශයෙන් හේතු වන්නේය.

ප්‍රශ්නය

බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර

රාග, දෝස, මෝහ ආදි සිත කිළිටි කරන, සිතිවිලි පහළ නොවන සේ සිත එක අරමුණක් පිහිටුවා නැවත නැවතත් එම අරමුණට සිත නැංවීම භාවනාවයි. (භාවෙතීති භාවනා)

ප්‍රශ්නය

මරණානුස්සති (මරණය සිහිකළ යුතු) භාවනාවට අනුව ධර්මානුකූලව මරණය සිහිකළ යුතු අංග අටක් සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර

1.වධක පච්චුපට්ඨාන

තමා පිටුපස එන ඝාතකයෙකු සේ (මරණත්ථාය ඔකාසං වඨකො විය) පැමිණෙන බව සිතීම

2.සමාපත්ති විපත්තිය

ජීවිතය සියලු සත්වයාට සම්පතකි එය විපතින් කෙළවර වීම සම්පත් විනාශයකි.

ආරෝග්‍ය රෝගය අවසාන කොට ඇත්තේය. තාරුණ්‍යය දිරාපත්වීම (මහලුවීම දක්වා පමණි)

සියලු ජීවිත (මරණ පරියොසානං මෙ ජීවිතං) මරණයෙන් කෙළවර වන්නේය.

උපසංහරණය

අනුන් හා තමන් සමාන වන අයුරින් මරණය සිහිකිරීමයි. මරණය වනාහී මහා යසස් ඇති පිරිවර ඇති ධනවතුන් මෙන් පිනැති අයටද එකසේ මරණය සිදුවන බවද මා වැන්නවුනට කෙසේ නොපැමිණේදැ’යි සිහිකිරීම

කාය බහු සාධාරණ මරණය තම ශරීරය බොහෝ සත්ත්වයන්ට සාධාරණ බව සිතීමයි.

ආයු දුර්වලත්ව මරණය

ආයුෂ දුර්වල බව තමා වටහා ගැනීමෙන් මරණය මෙනෙහි කළ යුතුය

6.අනිමිත්ත මරණාය

“ජීවිතං ව්‍යාධි කාලොච - දේහ නික්ඛෙපනං ගති

පංචෙතෙ ජීවලොකස්මිං - අනිමිත්තා න ඤෙයරේ

1.ජීවිතය 2. රෝගය 3 කාලය 4.මරණය 5.ගතිය යන පස ජීව ලෝකයෙන් අනාවැකි කිව නොහැකිය.

7.අද්ධාන පරිච්ඡේදය

අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු)

මිනිස් ආයුෂ කෙටිය කාල නියමයන් පැනවිය නොහැකිය. නිකායාගතා දේශනා අනුව “මහණෙනි යම් කෙනෙක් බත් පිඬක් මුව තබා ගිලින තෙක් ආශ්වාස කොට ප්‍රශ්වාස කරනා තෙක් ජීවත් වන්නෙමි නම් යහපති. ආදි වශයෙන් ජීවිත පැවැත්ම කෙරෙහි විශ්වාස නොතබා සිහි කිරිම අද්ධාන පරිච්ඡේදයයි.

8.බණ පරිච්ඡේදය

ජීවිතය ස්වල්ප මොහොතක් පමණක් (චිත්තක්ෂණයක්) පවත්නා බව සිතා මරණය මෙනෙහි කිරීමයි.

ප්‍රශ්නය :–

විපාක කර්මයකදී ‘මහද්ගත කුසල’ කර්ම නමින් සඳහන්

වන කුසල කර්ම හා ආනන්තරීය අකුසලකර්ම විපාක

පිළිබඳ හැඳින්වීමක් කරන්න.

පිළිතුර –

ප්‍රථම ධ්‍යානයෙහිදී රූපාවචර ධ්‍යාන සතරද, ආකාසානඤ්චායතනාදී අරූපා වචර ධ්‍යාන සතරද යන සමාපත්ති අට මහද්ගත කුසල කර්ම වෙයි.මෙයින් අනතුරු ආත්මභාවයෙහි (මරණින් මතු) ඒකාන්තයෙන් බඹලොව උපත ලබයි. මෙය ගරුක කුසල විපාක නමින්ද හැඳින්වෙනු ඇත.

පංචානන්තරීය කර්ම හා නියත මිථ්‍යාදෘෂ්ටිය අකුසල පක්ෂයෙහි ගරුක කර්ම වෙයි. මහද්ගත කුසල කර්ම හා ආනන්තරීය අකුසල කර්ම කළ පුද්ගලයාට පළමුකොට විපාක දෙන්නේ ආනන්තරීය අකුසල කර්ම විපාකයයි. මුල් මහද්ගත කුසලකර්ම විපාකය ඉන් වැළකේ. දෙව්දත් තෙරුන් ධ්‍යානලාභීව පළමු කළ මහද්ගත කුසලකර්ම විපාක වළකා පසුව කළ “ලෝහිතුප්පාදක” සංඝභේද යන ආනන්තරීය අකුසල කර්ම විපාක විඳීමට සිදුවිය.