Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය – අංක 01

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය – අංක 01

1 කොටස

අ) 1. සීලය යනු කුමක්දැ’යි නිර්වචනය කරන්න

2. හික්මීම හෙවත් සීලයෙහි අංශ දෙක නම් කර කෙටියෙන් හඳුන්වන්න

3. සතර සංවර සීලය වෙන වෙනම හඳුන්වා දෙන්න

ආ) 1. සිව්පසය නම් කරන්න

2. සිවුරු හැඳීම හා පෙරවීම සම්බන්ධව පනවා ඇති සේඛියා ධර්ම 04ක් දක්වන්න

3. ගිහියන්ගේ ඇඳුම් භාවිතයේදී පැවිදි පක්ෂයෙන් ලැබෙන ආදර්ශ අගැයීමට ලක් කරන්න.

ඇ) 1. සිඟාලෝවාද සූත්‍රයට අනුව මාපිය දූ දරු සබඳතාවය දක්වා ඇත්තේ කුමන දිශාවටද?

2. මව්පියන් විසින් දරුවන් කෙරෙහි ඉටු කළ යුතු යුතුකම්

ඉහත සූත්‍රයට අනුව ලියා දක්වන්න .

3. මාපිය දූදරු යුතුකම් මැනවින් ඉටුවීම සමාජ යහපත

කෙරෙහි බලපාන අයුරු පැහැදිලි කරන්න

2 කොටස

ඈ)1. ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍ය අතර

ස්තූප අයත් වන්නේ කුමන අංශයටද?

2. ස්තූපයේ අංග හඳුන්වා දෙන්න

3. ගර්භයේ ස්වරූපය අනුව ස්තූපයේ ආකෘතිය සයාකාර වේ.

පැහැදිලි කරන්න .

ඉ) 1. අනුරාධපුර යුගයට අයත් චිත්‍ර දැකිය හැකි ස්ථාන 02ක් නම් කරන්න

2. අනුරාධපුර යුගයේ චිත්‍රවල දැකියහැකි විශේෂතා පැහැදිලි කරන්න .

3. තිවංක පිළිම ගෙයි බිතු සිතුවම් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

3 කොටස

ඊ) 1. ජාතක කතා වස්තු විෂයය කොට රචිත ගී කාව්‍ය 02ක් නම් කරන්න

2. අමාවතුර කෘතිය රචනා වූ යුගය, කතුවරයා , අන්තර්ගතය ලියා දක්වන්න .

3. සද්ධර්මරත්නාවලිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න .

උ) 1. කෝට්ටේ සාහිත්‍ය යුගයේ කතුවරු දෙදෙනෙකු නම් කරන්න.

2. සිංහල සාහිත්‍යයේ හමුවන මහා කාව්‍ය නම් කර එහි අන්තර්ගතය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

3. බෞද්ධයන්ගේ වන්දනාවට ලක්වූ ත්‍රිවිධ චෛත්‍යයන් ගේ ඉතිහාස කතා පුවත් ඇතුළත් කොට ලියවී ඇති කෘති පිළිබඳ විමසීමක් කරන්න.

4 කොටස

ඌ) 1. බුරුමයේ බුදු දහම සුරක්ෂිත කිරීමෙහිලා ක්‍රිියා කළ රජවරු 02ක් නම් කරන්න.

2. බුරුමයට බුදු දහම පැමිණීම පිළිබඳ පවතින මත කිහිපයක් දක්වන්න.

3. බුරුමයේ පවතින වර්තමාන භික්ෂු නිකායන් මොනවාදැ’යි පැහැදිලි කරන්න.

පිළිතුරු-

1 කොටස

අ) 1. කය, වචනය, දෙකෙහි හික්මීම , සංවරය සීලයයි. (කාය වාචානං සමෝධානං සීලං)

2. චාරිත්‍ර ශීලය – අනුගමනය කළ යුතු කොටස හෙවත් පිරිය යුතු ගුණ ධර්ම චාරිත්‍ර ශීලය නම් වේ. මෙය සාමාදාන යනුවෙන්ද හැඳින්වේ.

වාරිත්‍ර ශීලය – බැහැර කළයුතු හෙවත් නොකළ යුතු කොටස වාරිත්‍ර ශීලය නම් වේ. එය විරමණය යනුවෙන් ද හැඳින්වේ.

3. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය – උපසපන් භික්ෂු භික්ෂූණීන් සඳහා වූ සියලු ශික්ෂා පදයන්ගේ සංවරය හික්මීම ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය නම් වේ.

ඉන්ද්‍රිය සංවර ශීලය – මනසද සමඟින් ඉන්ද්‍රියන්හි සංවරය මෙයට ඇතුළත් වේ.

ආජීව පාරිශුද්ධ ශීලය – ප්‍රාණඝාත ආදියෙන් වැළකී ධාර්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගැනීම මෙයට ඇතුළත් වේ.

ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය – සිව්පසය ප්‍රත්‍යවේක්ෂා කොට පිළි ගැනීම හා වැළඳීම මෙයට ඇතුළත් වේ.

ආ) 1. චීවර , පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය

2. පරිමණ්ඩලාකාරව සිවුර අඳනය හැඳීය යුතුය.

මනාකොට සිවුරෙන් කය වසාගෙන විහාරයෙන් පිටවිය යුතුය.

මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමෙහි හිඳිය යුතුය.

3. * අප අගය කරන සාරධර්ම, සංස්කෘතියට අනුව ගැළපෙන ඇඳුම් භාවිතා කිරීම

* ඇඳුම් ඇඳීමේ අරමුණු මනාව අවබෝධ කරගෙන සිටීම

* විනීත බව රැකෙන පරිදි ඇඳුම් භාවිතය

* ඇඳුමේ වටිනාකමට වඩා වැදගත් වන්නේ එහි පවිත්‍රතාවය මෙන්ම සෞඛ්‍යයට හා සදාචාරවත් ධර්මයන්ට ගැළපෙන බවයි.

* චාම් බව, ක්‍රමවත් බව, විනීත බව, ලස්සන යන ලක්ෂණ වලින් යුක්ත තමාට ගැළපෙන ශිෂ්ට සම්පන්න ඇඳුම් භාවිතයට පෙළඹිය යුතුය. (මෙම කරුණු විස්තර කරමින් පිළිතුර ගොඩ නඟන්න )

ඇ) 1. නැගෙනහිර දිශාවට – (මාතා පිතා දිසා පුබ්බා)

2.* පවින් වළක්වයි

*යහපතෙහි යොදවයි

*ශිල්ප ශාස්ත්‍ර ලබා දෙයි

*සුදුසු කළ ආවාහ විවාහ කර දෙයි.

* තම දායාද සුදුසු පරිදි පවරා දෙයි

3. පවුල යනු සමාජයේ කුඩාම ඒකකයයි, මෙකී පවුල තුළ මව්පියන් හා දූ දරුවන් අතර ඇතිවන සබඳතාවය ශක්තිමත් වු කල මුලු මහත් සමාජයම ශක්තිමත් වේ. මව්පියන් සතු යුතුකම් පද්ධතිය මැනවින් ඉටුකිරීම තුළ ගුණ ධර්මවලින් පිරිපුන් දරුවෙකු සමාජගත වේ. එම දරුවන් සතු ගුණ සම්පන්න බව නිසාම තම දෙමාපියන්ට පෙරළා ප්‍රති උපකාර කරනු ලබයි. තමාටත් අන් අයටත් වැඩදායි වන පරිදි සමාජයීය ජීවිතය මනාව සකස් කරයි. ඒ තුළ සමස්ත සමාජය යහපත් වේ. (මෙම අදහස් ඇතුළත් වන පරිදි පිළිතුර සකසන්න)

2 කොටස

ඈ) 1. ශාරීරික චෛත්‍යය

2.1. තුන් මහල් පේසාව – මූලිකව සකසාගත් අත්තිවාරම මත මෙය ඉදිකරයි. මුල් පේසාව පළලටත් ඊළඟ පේසාවන් ක්‍රමයෙන් පටුවන ලෙසත් ගොඩනඟා ඇත.

2. ගර්භය – තුන්වන පේසාවෙන් ගර්භය ආරම්භ වේ. ධාතූන් වහන්සේ නිධන් කිරීම ගර්භය තුළ සිදු වේ.

3. හතරැස් කොටුව – ගර්භ ගෘහය මත ඉදිවන සම සතරැස් කොටුව මේ නමින් වේ.

4. දේවාතා කොටුව – පැරැණි ඉන්දීය ස්තූපවල දැකිය නොහැකි මෙය ලක්දිව ස්තූපවල දැකිය හැකි නවාංගයකි. දේවතා කොටුවේ සතර වරම් දෙවිවරුන්ගේ රූප ද නෙළා ඇත.

5. කොත් කැරැල්ල – දේවතා කොටුව මතින් කොත් කැරැල්ල ආරම්භ වේ.

6. චූඩා මාණික්‍යය– කොත් කැරැල්ලේ කෙළවර චූඩා මාණික්‍ය පිහිටුවයි.

3.1. ධාන්‍යාකාර ( වී ගොඩක හැඩයේ ) ස්තූප. උදා – කැලණි විහාර දාගැබ

2. ඝණ්ටාකාර (ඝණ්ඨාරයක් හැඩයේ ) ස්තුප. උදා– ථූපාරාම සෑය, ලංකාරාම සෑය

3. බුබ්බුලාකාර (දිය බුබුලක හැඩයේ ) ස්තුප . උදා– රුවන්වැලි මහා සෑය, අභයගිරි සෑය

4. ඝටාකාර (කළයක හැඩයේ ) ස්තූප, උදා – යටාල විහාරයේ දාගැබ පෙර මෙම ආකෘතියෙන් පැවැත ඇති බව විචාරක මතයයි.

5. පද්මාකාර (නෙළුම් මලක හැඩයේ) ස්තූප. උදා– තවම නිශ්චිතව සොයාගෙන නොමැත

6. ආමලාකාර (නෙල්ලි ගෙඩියක හැඩයේ ) ස්තූප . උදා – තවම නිශ්චිතව සොයාගෙන නොමැත.

ඉ) 1. සීගිරිය, හිඳගල විහාරය

2. *මැටි, දහයියා, කිරිමැටි හා කොහු යන ද්‍රව්‍ය භාවිතයෙන් සකසා ගත් මිශ්‍රණයක් බිත්තිමත ආලේපනය කොට බිත්ති සකසා ගෙන ඇත.

*සුදු හුණු පිරියම් කොට කහ, රතු , කොළ, වර්ණ යොදා ගනිමින් චිත්‍ර ඇඳ ඇත.

* ප්‍රාණවත් රේඛා භාවිතා කොට මිනිස් රූප ඉතා තාත්විකව සිතුවම් කර ඇත.

* ඉතා සියුම් ලෙස රේඛා හසුරුවා තිබීම

* වර්ණ, හැඩ, රේඛා හා මුද්‍රා යන අංග වලින් මෙම යුගයේ සිතුවම් අජන්තා සිතුවම් වලට සමහර කරුණු වලින් සමාන වේ.

3. පොළොන්නරු යුගයේ ඇති විශාලම චිත්‍රාවලිය මහා පරාක්‍රමබාහු රජු විසින් කරන ලද තිවංක පිළිමගෙයි හමුවේ. මෙහි ගන්ධ කුටියේ බිත්තිවල ඇති චිත්‍ර බුදු සිරිත නිරූපණය කරයි. මට සිලිටි කරන ලද බිත්ති මත රතු පැහැයෙන් චිත්‍රවල බාහිර රේඛා ඇඳ රතු, කොළ, කහ යන වර්ණ වලින් සිතුවම් සම්පූර්ණ කර ඇත. රේඛාවල ප්‍රමාණය අඩු වැඩි කිරීමෙන් , කුඩා සිහින් ඉරි කැබලි යෙදීමෙන් මිනිස් රූප හා ගස් ආදිය වටකුරු ස්වභාවයක් ගෙන ඇත. බුදු හිමියන් තව්තිසා දෙව් ලොව සිට සංකස්ස පුරට වඩින අයුරු දැක්වෙන සිතුවම මෙහි සුවිශේෂී වූවකි. සස ජාතකය, වෙස්සන්තර ජාතකය, සාම ජාතකය ආදී ජාතක කතා අන්තරාලය තුළ ඇඳි සිතුවම් වලින් ඉස්මතු වේ.

3 කොටස

ඊ) 1.* මුව දෙව්දාවත * සසදාවත

2. පොළොන්නරු යුගය, ගුරුළුගෝමී පඬිතුමා , බුදුරජාණන් වහන්සේගේ පුරිස දම්මසාරථී බුදු ගුණය විස්තර කරනු ලබයි.

3. දඹදෙණිය සාහිත්‍ය යුගයේ ධර්මසේන හිමියන් විසින් පාලි ධම්මපදට්ඨ කතාව පදනම්ව රචිත සද්ධර්ම රත්නාවලිය බණ කතා සාහිත්‍ය කෘතියකි. උපමා භාවිතයෙන්, දේශීය පරිසරයේ අත්දැකීම් භාවිතයෙන්, සරල සිත් ගන්නා භාෂා සම්ප්‍රදායකින් ලියැවී ඇත. සද්ධර්මරත්නාවලිය සිංහල සාහිත්‍යයේ සුවශේෂී ග්‍රන්ථයකි. පොදු ජනයා යහ මඟට හැරවීම සඳහා ධර්මසේන හිමියෝ සද්ධර්ම රත්නාවලිය රචනා කළ බව ග්‍රන්ථාරම්භයේදී දක්වයි. සද්ධර්මරත්නාවලියේ දැකිය හැකි සරල උපමා– පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ ... ඇස් සරහන්නට තොල් අඳුන් ගාන්නා සේ... යනාදී කරුණු ඇතුළත් කොට පිළිතුර ගොඩ නඟන්න

උ) 1. වීදාගම මෛත්‍රී හිමි, තොටගමුවේ රාහුල හිමි

2. කව්සිළුමිණ – දෙවන පැරකුම්බා රජු විසින් දඹදෙණි සාහිත්‍ය යුගයේ කරන ලද මෙය සිංහල සාහිත්‍යයේ පළමු මහා කාව්‍ය වේ. කුස ජාතකය වස්තු විෂය කොට මෙය රචනා කොට ඇත. සර්ග පහළොවකි. සංස්කෘත සාහිත්‍යයේ හමුවන මහා කාව්‍ය ලක්ෂණ වලින් පිරිපුන් මෙය විශ්ෂ්ටතම කාව්‍ය කෘතියකි.

කාව්‍යශේඛරය – තොටගමුවේ සිරි රාහුල මාහිමියන් විසින් කෝට්ටේ යුගයේ දී සත්තුභත්ත ජාතකය වස්තු විෂයය කොට මෙය රචනා කර ඇත. කව්සිළුමිණ ළඟට සිංහල සාහිත්‍යයේ හමුවන මහා කාව්‍ය කාව්‍යශේඛරයයි.

3. * බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ත්‍රිවිධ චෛත්‍යයන්හි ඓතිහාසික කතා පුවත් වස්තු විෂය කොට රචිත කෘති රාශියක් සිංහල සාහිත්‍යයේ දැකිය හැකිය.

* රුවන්වැලි මහ සෑයේ ඉතිහාස කතා පුවත පරාක්‍රම පණ්ඩිත පඬිතුමා විසින් කරන ලද ථූපවංශය

* දළදා වහන්සේගේ ඓතිහාසික කතා පුවත විස්තර වන දෙව්රද දම් පසඟිනාවන් විසින් කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිත

* කකුසඳ හිමියන් විසින් රචිත ධාතු වංශය

* විල්ගම්මුල මාහිමියන් විසින් රචිත බෝධිවංශය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාස කතා පුවත දක්වයි.

මෙම කරුණු විස්තර කරමින් පිළිතුර ගොඩ නඟන්න .

4 කොටස

ඌ) 1. *අනුරුද්ධ රජු * කෙයංසිත්ථ රජු

2. තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වූ නව රට සසුන් පිහිටුවීමේ දී සුවණ්න භූමියට වැඩි සෝණ උත්තර යන භික්ෂූන් වහන්සේ දෙනමගේ මාර්ගයෙන් ධර්මය ලැබුණු බව විචාරක මතයකි.

* බුරුම ජනප්‍රවාද කතාවකට අනුව බුදු දහම එරටට ලැබී ඇත්තේ බුදුරදුන් ජීවමාන සමයේදීම බව දක්වයි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරදුන්ගෙන් ලැබුණු කේශ ධාතු රැගෙන ගොස් දාගැබක් ඉදි කළ බව ජන ප්‍රවාදයේ එයි. එම දාගැබ ස්වේදගොන් චෛත්‍යය බව ද වැඩිදුරටත් එහි පැහැදිලි වේ.

* වර්තමානයේ පෝම් හා හ්මව්සා යන නගර ආශ්‍රිතව හමුවන පුරා විද්‍යාත්මක වස්තු අනුව ප්‍රබල බෞද්ධ සංස්කෘතියක ලක්ෂණ ප්‍රකට වීම තුළ බුරුමයේ බුදු දහමේ ව්‍යාප්තිය පිළිබඳ විචාරකයන් අදහස් දක්වයි. මෙම අදහස් පැහැදිලි කරමින් පිළිතුර ගොඩ නඟන්න.

* වර්තමානයේ බුරුමය ථෙරවාද බුදු දහම පවතින රටකි. ඒ තුළ විවිධ සම්ප්‍රදායන් ඔස්සේ නිකාය තුනක් ක්‍රියාත්මක වේ.

1. සුධම්ම නිකාය – වැඩිම භික්ෂු පිරිසක් නියෝජනය කරන නිකාය වේ.

2.ස්වේඡින් නිකාය – මිනිඩෝන් රාජ්‍ය සමයේ ජාගාර මහා තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ නිකායකි.

3. ද්වාර නිකාය – මෙම නිකායේ භික්ෂූන් කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම යන්නට කායද්වාර, වචීද්වාර, මනෝද්වාර යනුවෙන් ව්‍යවහාර කරති.