Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මෙරට විවිධ ප්‍රදේශවලින් එක් වූ පාසල් දරු දැරියන් පිරිසකට පැවැත්වූ ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳව වැඩමුළුව හා ප්‍රදර්ශනය ඉකුත් දා (13) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ ජාතික සමඟිය සහ සංහිඳියාව පිළිබඳ වැඩසටහනේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ ඒ.එච්.එම් ෆවුසි මහතා ද අදහස් දැක්වූහ.

ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ දී ඉකුත් දා (14) පැවැති නිල මෙහෙවර ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුවකුට බෑගයක් ලබාදුන් අවස්ථාව. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මැති ඇමැතිවරු පිරිසක්ද සේයාරුවේ වෙති.



ගාල්ල කරාපිටිය පුරාණ සුනන්දාරාම මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පින්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (12) පැවැත්විණි. එහිදී මානවේරියේ ධම්මික හිමියන් විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිරිනැමූ අයුරු. විහාරාධිපති නාරාවල සුධම්ම හිමියෝද මෙහි වෙති.

අරලගංවිල කන්දේගම ධනංජය රජමහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය දෙසැම්බර් මස 10 වන දින සිදුකෙරුණි. එම දර්ශනීය ධාතු මන්දිරය ස්වභාවික ගල්ලෙනක් තුළ ඉදිකිරීම සඳහා ධනංජය රජමහා විහාරාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මාවනැල්ලේ සිරසාලංකාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි බොරලැස්ගමුවේ වේරහැර පදිංචි ගාමිණි ද සිල්වා මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බලකායේ නිලධාරීන් ඇතුලු ධනංජය රජමහා විහාරස්ථානයේ සියලු දායක දායිකාවන්ගේ ශ්‍රම පරිත්‍යාගයන් ඇතිව සිදුකරන ලදී. සධාතුක කරඬුව දර්ශනීය පෙරහරකින් වැඩම කරවූ අතර පෙරහර සඳහා ප්‍රදේශයෙහි යුද හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්ෂක භට පිරිස්, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය නිලධාරීන් සහ නන් දෙසින් පැමිණි බෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. ධාතුන් වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව ගිලන්පස බුද්ධපූජාමය පින්කමක් පවත්වා එදින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සහ පසු දින මහා සංඝගත දක්ෂිණාවක්ද පවත්වන ලදී.

මුල්ලේරියාව උඩුමුල්ල ජයතිලකාරාමාධිපති හේවාගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝ නායක වැල්ලම්පිටියේ චන්දිම නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා බෙරලපනාතර තණබිම අභිනවාරාමාධිපති පොද්දෙණියේ සිරිරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් ඒ.ඩී. පුබුදු (13) කුමරුවා බෙරලපනාතර සමිත නමින් තණබිම අභිනවාරාමයේ දී පැවිද්ද ලැබූ අවස්ථාව.
කේ.ජී.ඩී.ද සිල්වා කඹුරුපිටිය සමූහ