Print this Article


ගාල්ල – උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය

ගාල්ල – උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යය

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ සහයෝගයෙන් දෙරටේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් 1976 ජනවාරි 10 වන දින කටුනායක ගුවන් තොටුපලට වැඩම කරවන ලදි.\

ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය වසර 120 ට අධික ඉතිහාසයකට නෑකම් කියන ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් ඉපැරැණි විහාරස්ථානයකි. ගාලු දිසාවේ පැවැත්වෙන ආගමික කාර්යයන්වල දී ප්‍රමුඛස්ථානයක් ගන්නේ මෙම විහාරස්ථානයයි.

මෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ පනන්ගල දේවරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය. ඉන් පසු විහාරාධිපති පදවියට පත්වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනදුන් විශ්ව කීර්තිධර ගාලු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ලෝක බෞද්ධ සාම මහා සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිධූරය හෙබ වූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

නෙළුවේ ශ්‍රී ගුණානන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව, එවකට ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන සභාපති, භාරත දේශයේ ප්‍රධාන සංඝ නායක නෙළුවේ ශ්‍රී ජිනරතන නා හිමියන්ගේ මැදිහත්වීම මත එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්ධිරා ගාන්ධි මැතිනියගේ සහයෝගයෙන් දෙරටේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් 1976 ජනවාරි 10 වන දින කටුනායක ගුවන් තොටුපලට වැඩම කරවන ලදී. රතු පලස් මතින් එම බෝධිය තම හිසින් පිළිගනු ලැබුවේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසිනි.

එම ශ්‍රී මහා බෝධි ශාඛාව 1976 ජූලි 11 වන ඇසළ පුන් පොහෝදා එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් සුරතින් උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරස්ථානයේ උඩ මළුවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සාදු නාද මැද රෝපණය කරන ලදී. එයට උපහාර පූජා පිණිස සෑම වර්ෂයකම ජනවාරි මස ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර අලි ඇතුන් පිරිවරා උඩරට, පහතරට, සබරගමු නර්තනාංග රැසකින් සමන්විතව මහත් හරසරින් පවත්වනු ලබයි.

වත්මන් රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ජාතික උත්සවයක් ලෙස 2016 මාර්තු 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නරඹන ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පෙරහර මෙය වන අතර, ඊට අදාළව ජනවාරි 01 දින සිට 23 දින දක්වා, දිනපතා උදේ 05.00 ට තේවාව හා කිරි පිඬු පූජාව ද දවල් 11.00 ට ආහාර බුද්ධ පූජාවද, රාත්‍රී 07.00 ට තේවාව හා ශ්‍රී මහා බෝධි පූජාව 2017 ජනවාරි 21 දින රාත්‍රී 07.00 ට දර්ශනීය උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයෙන් ගමන් අරඹා වීථි සංචාරය කිරීමද 22 දින රාත්‍රී මහා සංස්කෘතික සංදර්ශනය හා 23 දින අලුයම මහා දේව දානය ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.