Print this Article


පටු සීමාවෙන් මිදී ඇත්ත දකිමු

පටු සීමාවෙන් මිදී ඇත්ත දකිමු

ශෝකය යනු හැඬිම්, වැළපීම් සහිත මානසිකත්වයයි. සිතට දැනෙන දුක දරා ගත නොහැකිවීම හේතුවෙන් කෙනෙකුගේ සිත තුළ ඇතිවන කම්පනය එනමින් හැඳින්වේ. සෝක කරන්නේ මමත්වයෙන් පිරුණු සිත් ඇති පෘථග්ජනයන්ය. යම් පි‍්‍රය විප්‍රයෝගයක් ඇති වූ විට ඒ දෙස මමත්වයෙන් යුතුව මාගේ, අපේ යන පටු ආකල්පයෙන් බැලීම ශෝක කිරීමේ පදනමයි.

අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට අපට දැනෙන්නේ එම සිදුවීම අපට සිදු වූ බලවත් පාඩුවක් අසාධාරණයක් සහ නොවියයුතු දෙයක් ලෙසයි. අපේ දෑසින් කඳුළු රූරා වැටෙන්නේ අපි එසේ සිතීමට පුරුදු වී ඇති නිසා ය. ශෝකය නමැති සිතිවිල්ල යම් සිතක කිඳා බැස පවතී නම් ඔහුට ලෝකය සහ එහි පවතින සැමට පොදු ධර්මතාව තේරුම් ගැනීමට අපහසු වේ.පටු ආකල්පයෙන් බැහැරව විවෘතව මෙම ධර්මතාව දෙස බැලීමට නම් උසස් චින්තනයකට අප යොමු විය යුතුය. බුදු දහමේ ඉගැන්වෙන්නේ එම විවෘත චින්තනය කරා ගමන් කරන මාවතයි. ශෝක කිරීම වෙනුවට බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ ධර්ම සංවේගය උපදවා ගැනීමයි. සංවේග යනු ලොව ඇති වී නැති වන සියල්ල පිළිබඳව සමානව හා සාධාරණව පවතින ධර්මතාව පිළිබඳ අවබෝධයයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේදී රහතන් වහන්සේලා උපදවාගත්තේ එම මානසිකත්වයයි. ලෝකයට අනිත්‍යතාව නම් විශ්ව ධර්මතාව හෙළි කළ ශාස්තෘවරයාද එම යථාර්ථයට යටත් වූ බව උන්වහන්සේලා මෙනෙහි කළ අතර පෘථග්ජන භික්ෂු භික්ෂුණීහු හැඬිම්, වැළපීම් සහිතව එම තත්ත්වයට මුහුණ දුන්හ.

සත්‍යය දකින්නට පටු සීමාවන් තිබිය නොහැකිය. මගේ අපේ යනුවෙන් බෙදීමක් ද නොමැත. රහතන් වහන්සේලා එබඳු දර්ශනයකින් ලෝකය දෙස බැලීමට තම අවබෝධය තහවුරු කරගත් පිරිසකි. මෙවන් අවබෝධයක් ඇති අයට පි‍්‍රය විප්‍රයෝගයෙන් ඇතිවන ඛේදයක් හෝ සෝකයක් නොමැත. කඳුළු රූරා වැටීම් හා විලාප කීම් ද නැත. තම මව පියා, මිත්‍රයා ඥාතියා යනුවෙන් ද, එසේ නොවන්නාවූ බැහැර වූ අය වශයෙන්ද සැලකීමක් නොමැත. සියලු තැන පවතින ධර්මතාවේ පොදු බව පමණක්ම දකින එබඳු උතුමෝ මිනිස් සිරුර දකින්නේ පඤ්චස්කන්ධයක් ලෙස පමණි. එසේම ශක්තීන් එකතුව තිබූ සංස්කාර ගොඩක් ලෙස පමණි. පරමාර්ථ වශයෙන් එතැන මවක් හෝ පියෙක් නොමැත. රජ, මැති ඇමැති, උගත් නූගත්, පොහොසත් දුප්පත්, භේදයක් ද නොමැත. ඇත්තේ එකම ධර්මතාවකි. එනම් අනිත්‍යතාවයි. හෙවත් පැවතුණු ජීවයා හෝ වස්තුවක් වෙනස් වීමයි. ධර්මයෙහි එම තත්ත්වය විපරිණාම යන වචනයෙන්ද අවධාරණය කෙරේ. විශ්වගත සියලු ජීවීන් හා වස්තූන් ඒකාකාරීව නොපවතින බවත් අනිවාර්යයෙන්ම වෙනස්වන සුළු හා ප්‍රකෘති ස්වරූපයකින් නොපවතින බවත් විපරිණාම යන වචනයෙන් උගන්වා ඇත. අප දරා සිටින සිරුර ද, මවගේ පියාගේ හෝ දුවා දරුවන්ගේ මෙන්ම අනෙකුත් ආදරණීයයන්ගේ ජීවිත ද විශ්වධර්මතාවේ සදාතනික හා සනාථන ධර්මතාව යටතේ ක්‍රියාත්මක වන බවත් ඔවුන් කිසිවෙකුගේ ජීවිතය අපගේ කැමැත්තට හා අපේක්ෂාවන්ට අනුව පාලනය කළ නොහැකි බවත් අවබෝධ කරගැනීම ධර්ම සංවේගය උපදවා ගැනීමට උපස්ථම්භක වේ. මොළකැටි දරුවෙකු ලෙස මිහිමත උපන් අපි සැවොම ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් බලවත් වූවෝ වෙමු. යම් සීමිත කාලයකට ස්වභාව ධර්මය අප වෙත ලබාදුන් බලය නැවතත් ඇද ගනී. එනිසා එක්වීම හා වෙන්වීම අතර ඇත්තේ රැස් වූ ගොඩනැඟුණු ශක්තීන් විසිරයාමයි. කෙනෙකුගේ මරණයෙන් පසු පොළොවේ පස් අතරට හෝ චිතකයේ ගිනිදැල් අතරට මිනිස් සිරුර කැප කරන්නේ එම ස්වභාවසිද්ධ ගනුදෙනුවට යටත්වීමක් වශයෙනි.

අපහසුවෙන් හෝ අප ඇති කරගැනීමට උත්සාහ දැරිය යුතු වන්නේ එම ධර්මතාව නුවණින් සහ සිහියෙන් දැකීමට ඉවහල් වන සංවේගය නමැති දර්ශනයට අනුව ජීවිතය හා ලෝකය දෙස බැලීමට හුරු වීමයි.