Print this Article


ප්‍රතිචාර දැක්වීම හා නොදැක්වීම

ප්‍රතිචාර දැක්වීම හා නොදැක්වීම

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අවඅටවක පෝදා ( ජනවාරි 19) පත්‍රයේ පළවිය.

වේගයෙන් පැමිණෙන පන්දුවකට පහර නොදීම නිදැල්ලේ යාමට අවස්ථාව සැලසීමක් වෙයි. එම පන්දුව කිසිදු වැඩක් නැති පන්දුවක් බවට පත් වෙයි. පන්දුව කෙතරම් වේගයෙන් එව්වත් ,පරාජයට පත් නොවන ආකාරයට නිරායාසී පන්දුවක් වෙයි.

එසේ ප්‍රතිචාර දැක්විය යුතු අවස්ථා අපටද එළඹෙයි.බුදුරජාණන් වහන්සේට දොස් පවරන අවස්්ථාවන්හි බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා පීඩාවට පත්වන බව බුදුපියාණන් වහන්සේ දැන සිටියා. බුදුරජාණන් වහන්සේට දොස් පවරන බවත්, භික්ෂු සංඝයා පීඩාවට පත්වන බවත්, තවදුරටත් ඉවසා සිටිය නොහැකි නිසාම මෙහි රැඳී සිටිය නොහැකි නිසා වෙනත් ස්ථානයකට යාම සුදුසු බවට ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට දැන්වූ විට , බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ එසේ නම්, ආනන්ද කළ යුත්තේ එකම එක දෙයක් පමණයි. ඔබ එම දොස් නගන ස්ථානයට දිග රෙදි කැබැල්ලක් රැගෙන ගොස් බනින කාරණා සියල්ලම අල්වා ගැට ගසණ බවට දේශනා කළ විට ආනන්ද හාමුදුරුවන් එම සියල්ලම ගැට ගැසා බැන අවසන් වූවාට පසුව එම විශාල ගැට ප්‍රමාණයත් රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවිීමට වැඩම කළා. ආනන්ද හාමුදුරුවන් කැටුව වෙනත් ස්ථානයකට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා එම සියලුම ගැට එක ගැටය බැගින් ලිහා දමන ලෙසත්, එම ගැට ලිහාදැමීෙමින් පසු ඉතිරි වුයේ කුමක්ද? යන්න විමසනු ලැබූවිට කිසිවක් ඉතිරි නැතිව උඩුසුළඟට ගසා ගොස් ඇති ආකාරය ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ් එම ස්ථානයෙන් වැඩම කළා.අපද පාවිච්චි කළ යුතු එක්තරා ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. ඔබට බනිමින් දෝෂාරෝපණය කරන සියල්ලම බෑගයකට දමාගෙන ගෙදර පැමිණිය හොත් එම බැන වැදුනු සියල්ලටම විශාල වටිනාකමක් ඔබ විසින් ලබාදෙයි.කවුරුන් හෝ බැන වැදුණු සියල්ලම රැගෙන ආ විට ඒ සඳහා ඔබ ගෙදර සිටම ප්‍රතිචාර දක්වයි.අනවශ්‍ය සම්ප්‍රප්ඵලාපී වැරැදි වචන සඳහා වටිනාකමක් අප විසින් ලබාදෙයි. අනෙකුත් පුද්ගලයෙකුගේ ද්වේෂයට අප විසින් විශාල වටිනාකමක් ලබාදුන්නා වෙයි. අනවශ්‍ය වැරැදිසහගත සම්ප්‍රප්ඵලාපී වචනයකට වටිනාකමක් දිය යුතුද? කවුරුන් හෝ පුද්ගලයෙකු රැගෙන එන කසළ ගොඩක් ලස්සනට පාර්සල් කළා වෙයි. අනුන්ගේ කුණු ගොඩක් ලස්සනට පාර්සල් කර ලස්සන පෙට්ටියකට අහුරා ලස්සනට ප්‍රවාහනය කර , විශාල වටිනාකමකින් යුත් මිලක් නියම කළ ක්‍රියාවක් වෙයි. එවැනි ආකාරයෙන් අනුන්ගේ කුණු ගොඩවල් ඔබ විසින් පාර්සල් කර ලස්සන පෙට්ටිවලට අහුරා , විශාල මිලක් ලබාදී ප්‍රවාහනය කර ,අනුන්ගේ කුණු අලෙවි කරන ලාභ නොලබන ව්‍යාපාරයක් ඔබ විසින් කරනු ලබනවාද? යන්න පිළිබදව ඔබ තින්දු කර සිතා බැලිය යුතුයි.එම නිසා අනුන්ගේ දෝෂාරෝපණයන්ට අප විසින් ලබාදෙන වටිනාකම ඔබ විසින් අවබෝධ කර ගත යුතුයි.මෙහි ලාභ ලබන්නේ නිෂ්පාදකයා මිස අප නොවෙයි. එකී කුණු කුණු වශයෙන් අප බාරගත් විට අපට ඟඳ ඉතිරි වන අතර කුණු නිෂ්පාදකයා පැත්තක සිටී. කුණු ගෙදර ගොඩගසාගත් පුද්ගලයාගේ ගෙදර කුණු ඟඳ හමන බව අවබෝධ කර ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ්ට දොස් පැවරූ සියලු දෙනාටම එම සියලුම බැනුම්, ආපසු යැවුවා මිස බුදුරජාණන් වහන්සේ එය බාරගනු ලැබුවේ නැහැ. එම නිසා කුණු ගොඩවල් බාරගැනීම සහ කුණු ගොඩවල් ප්‍රතික්ෂේප කිරීම ඉතාම වැදගත් කාරණාවක් වෙයි. කුණු ගොඩවල් ප්‍රතික්ෂේප නොකර බාරගැනීම ආරම්භ කළහොත් නගර සභාෙවි කුණු බක්කිය බවට පත් වු විට අවසාන වශයෙන් සැම ස්ථානයකම පවතින කුණු ගොඩවල් ගෙනවිත් දමයි.

එම නිසා ක්‍රෝධය දිනිය යුත්තේ අක්‍රෝධයෙන්. වෛරය දිනිය යුත්තේ අවෛරයෙන් මිස වෛරයෙන් නොවෙයි. නරක දිනිය යුත්තේ හොඳෙන් මිස නරකෙන් නොවෙයි.බොරුකීම දිනිය හැක්කේ සත්‍ය ප්‍රකාශ කිරීමෙන්. දැවැන්තව පවතින අධික ලෝභය පරාජය කළ හැක්කේ දන් දීම තුළයි.සිත තුළ පවතින මහා ලෝභය කන්දක් ලෙස ගොඩගැසෙයි. ලෝභ කන්ද ක්‍රමයෙන් කඩා දමමින් ඉවත් කරනවා මිස එය සම්පූර්ණයෙන්ම ක්ෂණයකින් ඉවත්කළ නොහැකිය. දානය ඒ සඳහා ප්‍රායෝගික කිරීම තුළින් විශාල ලෝභ කන්ද ක්‍රමයෙන් තුනී කිරීමට හැකිවෙයි.

මෙම සියලු කාරණා අපහසුවෙන් හෝ ප්‍රායෝගික කළ හැකි නම් ඔබට ජයග්‍රහණය කළ හැකියි. එවැනි ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය හැක්කේ මානසික තත්ත්වය දියුණු කළ පුද්ගලයන්ට පමණක් වන අතර ඒ තුළින් තමාගේ මානසික ශක්තිය මැනගත හැකී කවුරුන් හෝ පුද්ගලයෙකු පිළිබඳව තමාගේ මනස තුළ වෛරයක් ඇති වී තිබෙනවා නම්,තමාගේ සිතට ඇතුළු වී ඇත්තේ වෛරයක්. අසවල් තැනැත්තා මට බැන්නා, දෝෂාරෝපණය කළා, නින්දා අපහාස කළා, ඔහු මට පහර දුන්නා, එම නිසා එම තැනැත්තාට පහර දෙනවාමයි. පෙරළා ප්‍රතිචාර දක්වනවාමයි, යනුවෙන් යමෙකු යම් ලෙසකින් එම වෛරය සිත තුළ තබාගෙන කටයුතු කරනවා නම්, එම තැනැත්තා තමන් පිළිබඳ තක්සේරුවකට පැමිණිය යුතුයි. ඒ කෙසේද යත්,කිසියම් පාලනය වීමකට මම සූදානම් නැහැ. මගේ මනස පාලනය කිරීමට හැකියාවක් ලැබෙන තරම් මම දියුණු නැති බව වටහාගන්නවා නම්, එකී තේරුම් ගැනීම මත තමාගේ සිත තුළ ඇති වුණ වෛරය ක්‍රමයෙන් අඩු කළ හැකි වෙයි. එය පහසු කාර්යයක්ද නොවෙයි. ඔබ පීඩනයට පත්කළ කිසියම් තරහකරුවෙකු ඔබගේ සිතෙහි සිටිනවා නම්, එම තරහ කරුවා පිළිබඳව ඔබ සිහියට නඟාගෙන එම පුද්ගලයාට කිසිම දිනක වරදක් නොවී ඔහුට යහපතක්ම වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන්න තරම් ඔබ දියුණු විය යුතුයි. යහපතක් වේවා යනුවෙන් වචනයෙන් පමණක් ප්‍රකාශ නොකර සිතින්ද එසේ ප්‍රාර්ථනා කළ යුතුයි. වචනයෙන් ප්‍රකාශ කිරීම ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් කළ හැකි වුවද,යහපතක් ෙවිවා යනුවෙන් සිතින් ප්‍රාර්ථනා කිරීම අපහසු කාරණාවක් වෙයි. මෙලෙස ප්‍රතිචාර දැක්වීම පහසු ක්‍රියාවක් නොවුණත් ,අල්ප ප්‍රමාණයෙන් හෝ ඔබ විසින් එය පුරුදු පුහුණු කළ යුතුයි. එකී ප්‍රතිචාර පහසුවෙන් කළ හැක්කේ මනස දියුණු කළ තැනැත්තෙකුට පමණයි.

අසවල් තැනැත්තා දොස් කිව්වත්, බැණවැදුණත් ,අපහාස කළත්,සත්‍ය වශයෙන්ම මම ඔහුට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම ඔහු කළ අයහපත් ක්‍රියාවන් සිතින් ඉවත් කරනවා යනුවෙන්,යමෙකුට යම් ලෙසකින් හෝ හැකියාවක් තිබෙනවා නම්, ඔහුගේ මනස පිළිබඳ තක්සේරුවක් අත්දැකිය හැකී. අප අප පිළිබඳව තක්සේරු කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. මම දියුණුද? මගේ මනස දියුණුද? මගේ මනස ලෝභයෙන් පිරී පවතිනවාද? මගේ මනස ද්වේෂයෙන් වෛරයෙන් පිරිලාද? යන්න ඔබ තක්සේරු කළ යුතුය. රුධිරය භෞතික ද්‍රව්‍යයක් ලෙස ශරීරය තුළ පවතින නිසා උපකරණයකින් මැනිය හැකි වුවත්,අධිරුධිර පීඩනය අවපීඩනය මැනිය හැකි වුවත්,ලෝභය, ද්වේෂය, වෛරය මැනිය හැකි ක්‍රමයක් නැහැ. එය අතින් ස්පර්ශ කළ හැකි නෙතින් දැකිය හැකි භෞතික ද්‍රව්‍යයක් නොවන නිසයි. අප ජීවත් විය යුත්තේ අප ජයග්‍රහණය කරගෙන මිස අප පරාජය කරගෙන නොවෙයි. අප ජයග්‍රහණය කරගැනීමට නම්,අප සතුව තිබෙන්නාවූ කිසියම් දෙයක් අපිරිසුදු නම්, සෝදා පවිත්‍ර කරගත යුතුයි. ශරීරය තුළ ගෑවුණ කිසියම් ඟදක් , කැතක් කුණක් වේ නම්, පැහැදිලි ලෙසම අප පවිත්‍ර කළ යුතුයි. කවුරුන් හෝ පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් අපගේ ශරීරයෙහි කිසියම් අපවිත්‍ර යමක් ගා දමා තිබෙනවා නම්, එයද අප සෝදා පවිත්‍ර කර ගත යුතුයි. අපගේ ඔළුවෙහි උකුණන් හෝ වෙනත් අපවිත්‍ර දෑ තිබෙනවා නම්, එය සෝදා පවිත්‍ර කරගත යුතුයි. ශරීරයට අනවශ්‍ය ලෙස කරදරයක් වන රෝගී කොටසක් පවතිනවා නම්, එය ශෛල්‍ය කර්මයක් මාර්ගයෙන් ඉවත් කළ යුතුයි. එහෙත් සිත තුළ පවතින වෛරය ද්ෙවිශය, ලෝභය අප විසින් ස්වේච්ඡාවෙන්ම සිතින් ඉවත් කිරීමට අප සූදානම් නැහැ. එම රෝගය නිවාරණය කිරීමට අප කැමැත්තක් දක්වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාවෙහි තවත් එක්තරා ප්‍රතිපත්තිමය ධර්මතාවයක් ලෙස හෝ බුදුපියාණන් වහන්සේගේ නියාම ධර්මතාවයක් ලෙස නරක ජයග්‍රහණය කළ යුත්තේ හොඳින් විය යුතුය යන පණිවුඩය ලබාදෙයි.

ධර්මය වටහාගත යුත්තේ තමන්ගේ ජීවිත තුළ පවතින වැරැදි නිවැරැදි කරගැනීමටත්, තමන්ගෙන් රටට සමාජයට අයහපතක් වනවා නම්, එය නිවැරැදි කර ගැනීමටත්, සමස්ත සමාජය පුරාවට කිසියම් ආකාරයක වැරැද්දක් තිබෙනවා නම්, එය නිවැරැදි කරගැනීමට පමණක් නොවන බවත් එය අවබෝධ කරගැනීම සඳහාත් විය යුතු බවයි. ධර්මය ශ්‍රවණය කළ යුත්තේද, ධර්මය කියවිය යුත්තේද, පින් සිදුවීමට පමණක් නොවෙයි. ධර්මය ශ්‍රවණය කළ යුත්තේ පින් අනුමෝදන් කිරීම සඳහා කළ යුතු තවත් එක්තරා ක්‍රියාකාරකමක් ලෙස පමණක්ම නොවෙයි.බණ ඇසිය යුතුවාසේම යහපත් පොත පතද කියවිය යුතුයි. යහපත් සන්නිෙවිදන මාධ්‍යයන් ආශ්‍රය නිශ්‍රය කළ යුතුයි. තමන්ට යහපතක් සිදුකර ගැනීම සඳහා උත්සුක නොවන්නේ නම්, ධර්මය ශ්‍රවණය කිරීම , ධර්මය කියවීම අර්ථ සම්පන්න වන්නේ නැහැ. බණ දේශනා කිරීම , බණ ඇසීම යන කාරණාවන් දෙකම වැදගත් වන්නාසේ බණ පිළිපැදීම හා බණ අවබෝධ කරගැනීමද වැදගත් වෙයි.

නිරන්තරයෙන්ම ධර්මය ඇසුරු කරගනිමින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගැනීමට සාර්ථක කරගැනීමට උත්සාහ කළ යුතුයි.