Print this Article


අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය:  ලංකාවේ බුදුපිළිමවලට බලපා ඇති ආකාරය

බුදුපිළිමයේ උපත - 51:

අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය ලංකාවේ බුදුපිළිමවලට බලපා ඇති ආකාරය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

මෙයට වසර දහස් ගණනකට පෙර මෙන්ම මෙකල ද ආන්ද්‍ර ප්‍රදේශ් සමග සමීප සබඳතාවයක් ඇති බව පසුගියදා වත්මන් රජයේ ආරාධනයෙන් ආන්ද්‍ර ප්‍රදේශ්හි මහ ඇමැති බාබු නායිදු මහතාගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාව දඹදිව අසෝක අධිරාජයාගේ රාජ්‍ය සමයේ දී (ක්‍රි.පූ. 272 – 232 ) මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලාගේ වැඩම කරවීමත් සමඟ මෙරට බුදුසමය පිහිටි බව ඉතා ප්‍රකටය. ඒ කාලයේදීම අසෝක රාජ යුගයේ දී මහාදේව නම් වූ රහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා ආන්ද්‍ර ප්‍රදේශයටද වැඩම කළ බවට අසෝක රජු එහි පිහිටුවන ලද සෙල්ලිපියකින් සනාථ වී ඇත.

මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

වියට්නාම් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඉන්දුනීසියා බුද්ධ ප්‍රතිමා වහන්සේ

අමරාවතී බුද්ධ ප්‍රතිමා වහන්සේ

අනුරාධපුරය පුරාණ ලංකාවේ අගනුවර ලෙසින් පැවතුණු සමයේ මුල් කාලයේ සිටම බුදුසමයේ මූලස්ථානයක් ලෙසින් පැවති බව විදේශීය භික්ෂූන්වහන්සේලා වූ බුද්ධඝෝෂ සහ ධම්මපාල හිමිවරුන් මෙන්ම චීන ජාතික පාහියන් හිමියන්ගේ සංචාරවලින් ද පැහැදිලි වේ. ඒ කාලවලදී ආන්ද්‍ර ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ මෙන්ම බුදු සමය පිළිබඳව ද සබඳතා පැවතුණි. මේ සබඳතා ක්‍රි.ව. 14 වැනි සියවස තෙක්ම පැවති බවට අභිලේඛන හා ලිඛිත සාක්ෂි හමු වී ඇත.

අමරාවතී දාගැබෙහි වටා නෙළන ලද අල්ප උන්නත මූර්ති කැටයම් වලින් බුද්ධ චරිතය ආශි‍්‍රතව නිර්මාණය කර ඇත. මෙම අමරාවතී මූර්ති සම්ප්‍රදාය ලංකාවට මෙන්ම අග්නිදිග ආසියානු රටවල මූර්ති කලාව කෙරෙහි බලපා ඇති බව සඳහන් වේ. උතුරු ඉන්දියාවේ භාරුත් සහ සාංචි පුදබිම්වල දාගැබ් තොරණ ආශි‍්‍රත වූ මූර්ති කැටයම් මෙන්ම අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයම් ඉතා විශිෂ්ටය. (2500 years of buddisam Prof P.V Bapat publication Division of Informations and broudcanting Govt of india p. 337 – ( 1956)  337 – ( 1956) ලංකාවෙන් හමුවී ඇති ඉතා පැරණිතම හිටි බුදුපිළිමය ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති හුනුගල් විශේෂයකින් සාදන ලද බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. එම හිටි බුදුපිළිමය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලම ගොවිපළේ පොළව යට තිබී හමුවී ඇත. මෙය අඩි හයක් පමණ උස වන අතර ආන්ද්‍ර ප්‍රදේශයෙන් මෙම බුදුපිළිමය ලංකාවට ගෙන එන ලද්දක් බවද මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. අමරාවතී බුදුපිළිම සම්ප්‍රදාය අනුව නිර්මාණය කරන ලද එම බුදුපිළිමය දැනට අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. මෙම අමරාවතී බුදුපිළිම කලාව වෙංගි සම්ප්‍රදායට අයත් ලෙසින් ද සැළකේ. දකුණු අත අභය මුදාවෙන්ද යුක්ත වූ අතර අනෙක් හස්තයෙන් වම් උරහිස මත සිවුරුපට අල්ලාගෙන ඇතිලෙසින් ද නිර්මාණය කර ඇති මෙම බුදුපිළිමය ඉතා ප්‍රකටය.

1. (Art of the Ancient Sinhalese – Pref Senarat Paranayitana P – 133 (1970)

2. Sinhalayo – Prof Senarat Paranavitana p .17 (1967)

අමරාවති සම්ප්‍රදායට අයත්වන බුදුපිළිම රැසක් ලංකාවේ හමුවී ඇත. ඉතා ප්‍රකට වූ හිටි බුදුපිළිම දෙකක් අනුරාධපුරයේ රුවන්වැලි සෑය මළුවේ දැකිය හැකිය. මෙම අමරාවතී සම්ප්‍රදායට අයත් වන බුදුපිළිමයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි පුදබිමේ ද හමුවී ඇත.

අප විසින් ඉහතින් සඳහන් කරන ලද ආන්ද්‍ර ප්‍රදේශ්හි බිර්ලා පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය විසින් ඇරයුම් කරනු ලැබ කරන ලද දේශනයේදී මෙම බුදුපිළිම පමණක් නොව තවත් බොහෝ අල්ප උන්නත මූර්ති Bas – Relief කැටයම් රැසක් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී. ඒවා ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී අමරාවතී සහ නාගර්ජුණ කොණ්ඩ පුදබිම් දෙකෙහිම ඇති අමරාවතී මූර්ති කලා සම්ප්‍රදායට අයත් වන අල්ප උන්නත මූර්ති ඵලක රැසක්ම හමුවී තිබීමය. බුදුපිළිම පමණක් නොව එම අල්ප උන්නත මූර්තිඵලකවල මූර්තිමත් කර ඇති කාන්තාරූප ද අමරාවතී මූර්ති සම්ප්‍රදායට අයත් බව සඳහන් කළ යුතුව ඇත.

අමරාවතී බුදුපිළිම කලාවේ බලපෑම හා ආභාසය පුරාණ ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දුනීසියාව, තායිලන්තය හා වියට්නාමයටද බලපා ඇත.

 


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 50: අමරාවතී බුදුපිළිම කලාව ආශි‍්‍රත ප්‍රකට පුදබිම නාගර්ජුණ කොණ්ඩ