Print this Article


බුදුසරණ හිටපු කර්තෘ රුවන් ඩී අරත්තනගේ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

බුදුසරණ හිටපු කර්තෘ රුවන් ඩී අරත්තනගේ කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

බුදුසරණ හිටපු ප්‍රධාන කර්තෘ, රුවන් ඩී අරත්තනගේ මහතා වෙත, කලාභූෂණ සම්මානය (ජනමාධ්‍ය අංශය) පසුගියදා (23) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී පිරිනමන්නට යෙදුණි.

කොත්මලේ, හැදුණුවැව දී 1952 දී උපත ලද ඒ මහතා හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක හා උසස් අධ්‍යාපනයත් ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව, එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වන ලද ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව උසස් ලෙස නිම කර සිය අධ්‍යයන කටයුතු මැනවින් සපුරා ගත් අයෙකි.

හොරණ, ගෝනපොල, කුඹුක පදිංචි ඒ මහතා, ප්‍රදේශයේ ආගමික හා සමාජයික කටයුතුවල නිරතව විවිධ සේවා රැසකටම දායකත්වය දක්වා ඇති තිදරු පියෙකි. මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ද වේ.

පාසල් වියේ සිටම සිය ලේඛන කුසලතා ප්‍රදර්ශනය කරමින් මිහිර, බුදුසරණ, ජනතා, දිනමිණ වැනි පුවත්පත්වලට ගැදි පැදි නිර්මාණ දායකත්වය සැපයූ අතර, 1975 දී ලේක්හවුස් ආයතනයට බැඳි මාධ්‍ය මෙහෙවර ආරම්භ කළේ ය. 1995 දී ‘බුදුසරණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුරටත්, 2003 දී ‘දිනමිණ’ සම්බන්ධීකරණ කරතෘ තනතුරටත් පත් විය. 2008 වසරේ විශ්‍රාම යෑමෙන් පසු ‘සරසවි සඳරැස’ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක තනතුර දැරීය. 1998 ලෝක බෞද්ධ සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම, ලේක්හවුස් බෞද්ධ සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් වසර ගණනාවක් අසරණ සරණ මෙහෙවර, ධර්ම ප්‍රචාරක කටයුතුවල හා සමාජ සේවා කටයුතුවලට පෙරමුණ ගෙන කටයුතු කළේ ය.

ග්‍රන්ථ 18 ක සංස්කාරක ලෙස ද, නිල්ල දකින තුරු කාව්‍ය සංග්‍රහයේ කර්තෘ ලෙසද, සමාජයට සිදු කරන ලද මෙහෙවර අමිලය.