Print this Article


සුවච වූවෝ තම සිත සුදුසු ලෙස හසුරුවති

ධම්මපදට්ඨ කථාවෙන්:

සුවච වූවෝ තම සිත සුදුසු ලෙස හසුරුවති

දියාලුවෝ නිසි සේ ජලය ගෙන යන පරිදිත්, වඩුවෝ නිසිසේ ලී ඇද අරින අයුරුත්, හී වඩුවෝ හී ඇද අරින අයුරුත් දැක බලා තම සිත දමනය කළ අයුරු පෙන්වා සුවචයන් තම සිත සුදුසු ලෙස හසුරුවා ගැනීමෙන් ලැබිය හැකි ආනිසංස පෙන්වා වදාළහ.

භත්ත භතික සිටුවරයාගේ කථා පුවත පසුගිය පුර පසළොස්වක් දා ධම්මපදට්ඨ කථාවෙන් ඉදිරිපත් කළෙමු. එහි ඉතිරි කොටස අද ඔබට ගෙනෙන්නෙමු.

භක්ත භාතික සිටුවරයා ගන්ධ සිටුතුමන් සමඟ මිත්‍රව සිත්සේ අනුභව කරමින් නිදමින් සුවසේ බොහෝ කාලයක් ජීවත්ව මිය ගොස් දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබීය. එක් බුද්ධාන්තරයක් ගෙවා යන තෙක්ම ඔහු දෙවි සැප විඳ අප ගෞතම බුදුපියාණන්ගේ සමයෙහි සැවැත්නුවර කුල ගෙයක උපත ලැබීය. ඔහු මව්කුස පිළිසිඳ ගත් කල්හි ඒ මවට ගැබ් පෙළහර දෙන සමයෙහි අපූර්ව දොළ දුකක් දැනෙන්නට විය. එනම් සැරියුත් තෙරුන් පිරිවරාගත් පන්සියයක් මහතෙරුනට දන් පුදා කහ වස්ත්‍රයකින් සැරැසී එම සඟ පිරිස කෙළවර හිඳ එම භික්ෂූන් වළඳා ඉතිරි කළ ඉඳුල් බත් අනුභව කිරීමට ඇයට දැඩි වුවමනාවක් දැනුණි. ඇය තම සිතැඟියාවන් කෙසේ හෝ ඉටු කර ගත්තාය. ඒ අනුව දස මස් කල් යවා ඇය දරුවෙකු බිහි කළාය.

මෙම දරුවාට නම් තබන දිනයේදී තම පුතු සිල් ගන්වන්නැයි සැරියුත් තෙරුන් වෙතින් මව අයැද සිටියාය. තෙරුන් වහන්සේ පුතුගේ නම කුමක් විය යුතුදැයි ඇසූ විට උපන්දා සිට කිසිවකුට කිසිම කරදරයක් නොවූ හෙයින් සුඛුම කුමාරයා යන නම තැබීම සුදුසු බව මව යෝජනා කළාය. ඒ අනුව තෙරුන් වහන්සේ සුඛුම කුමාරයාණෙනි, සිල් ගන්නැයි කියා සික්ඛාපද කියවමින් සීලයෙහි පිහිටවූහ. සත් අවුරුදු වියේදීම මේ කුමරුන් සැරියුත් තෙරුන් හමුවේ පැවිදි වීමට ඉල්ලා සිටි අතර දෙමාපිය එකඟතාව ලබා විහාරයට රැගෙන ගියේය.

පැවිදි දිවියට යන කුමාරයාට ගිහි කල කළ යුතු සැලකිලි ආදිය කොට බොහෝ පින් රැස් කරවා පුතු රාජ කුමාරයෙකු සෙයින් සරසා මහත් පෙරහරකින් විහාරස්ථානය වෙත කැඳවා ගෙන ගොස් සැරියුත් තෙරුන්ට බාර කළහ. සත් අවුරුදු කුමරාට පැවිදි දිවියේ දුෂ්කරතාද වටහා දී කමටහන් ලබා දී පැවිදි කරවීය.

දෙමාපියෝ පැවිදි වූ කුඩා සාමණේරයන් වහන්සේට සියලු සත්කාර කරවා සත් දිනක් තිස්සේ දන් පිළිගන්වා අවසානයේ නිවෙස්වලට ගියහ.අටවන දිනයෙහි සැරියුත් තෙරණුවෝ සාමණේරයන් වහන්සේ ද සමඟ පිඬු සිඟා ගමට වැඩියහ. අතරමගදි දියාලුවන් තමන්ට රිසි සේ ජලය ගෙන යන ආකාරයත් හී වඩුවන් තමන්ට රිසි සේ හී තනන ආකාරයත්, දැව වඩුවන් තමනට රිසි සේ ලී කපා ඇද හැර ගන්නා ආකාරයත් දුටු සාමණේර නම ඒ පිළිබඳ සැරියුත් තෙරුන් වෙතින් විවිධ ප්‍රශ්න විචාළහ. ඒ සියල්ල තෙරුන් වහන්සේ ඉවසූහ. සාමණේරයන් වහන්සේ තෙරුන්ගෙන් අවසර ලබා ගමෙහි රැඳෙමින් පසු තමන්ට ඝන රස ආහාර එවන්නැයි ද අයැදූහ.

ඒ අනුව සාමණේරයන් වහන්සේ විහාරයට පැමිණ දොර හැර දොර වසා තම ශරීරය පිළිබඳ නුවණ මෙහෙයවන්නට වීය. එයින් කම්පිත සක්දෙවිඳු වහා සතර වරම් දෙවි රජුන් සමඟ පැමිණ සාමණේරයන්ගේ කායානුපස්සනා භාවනාවට බාධා ගෙනෙන පාරිසරික අභියෝග සියල්ල නැති කළහ. කෙතරම් ද යත් නාද කරන කුරුල්ලෙකු පවා එම වටපිටාවෙන් එළවා දැමීය. සඳ හිරුද පායා ඒම වැළැක්වීය. විහාරයේ සිටි සාමණේරයන් වහන්සේද පිළිවෙළින් විදසුන් වඩා රහත් ඵලයට පත් වීය.

සැරියුත් තෙරණුවෝ ද එක්තරා නිවසකට වැඩම කොට ඝනරස භෝජනය වළඳා ඔවුනට දහම් දෙසා පාත්‍රය පුරවා තවත් බෙදවා ගෙන සාමණේරයන් වහන්සේ කුස ගින්නේ ඇතැයි ඉක්මනින් වැඩම කළහ. මේ මොහොත සර්වඥතා ඥානයෙන් දුටු ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සුඛුම සාමණේරයන් වහන්සේ උතුම් රහත් ඵලයට පත් වූ ආකාරය මෙනෙහි කළහ. හිරු සඳුද පායන්නට විය. සාමණේරයන් වහන්සේ බත් කිස නිමවූහ.

දම් සභාව වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අද කිනම් කතාවකින් යුතුව සිටියේදැයි විමසූ විට හිරු සඳුගේ වෙනස ඔවුහු බුදුහිමියන්ට සැළ කළහ. එවිට සුඛුම සාමණේරයන් වහන්සේගේ කථාව ගෙන හැර පාමින් දියාලුවෝ නිසි සේ ජලය ගෙන යන පරිදිත්, වඩුවෝ නිසිසේ ලී ඇද අරින අයුරුත්, හී වඩුවෝ හී ඇද අරින අයුරුත් දැක බලා තම සිත දමනය කළ අයුරු පෙන්වා සුවචයන් තම සිත සුදුසු ලෙස හසුරුවා ගැනීමෙන් ලැබිය හැකි ආනිසංස පෙන්වා වදාළහ.