Print this Article


ලෝසත සනසන ලෝවැඩ සඟරාව

ලෝසත සනසන ලෝවැඩ සඟරාව

එක් දිනක් ලොව පිළිගත් මහා දාර්ශනිකයෙක් ඇත කෙළවරේ ගයන ගීයකට ඕනෑකමින් සවන් දී සිට එය අවසන් වූ පසු ගායකයා වෙත ගොස් මෙසේ කීවේ ය. ‘කරුණාකර ඔය ගීය මටත් උගන්වන්න බැරිද?’ ඔබට පිස්සුද? මා වගේම මේ හිරකූඩුවේ ගතකරන ඔබ හෙට මරණයට කැප වී සිටිය දී ගීයක් ඉගෙන ගන්නේ කුමකට ද? යනුවෙන් ගායකයා ප්‍රශ්න කළේ ය. දාර්ශනිකයාගේ පිළිතුර වූයේ ‘මැරෙන්න කලින් මට ඒකත් ඉගෙනගන්න’ යනුවෙනි. ගීතය මොනතරම් සිත් ඇදගන්නේ ද යන්න එයින් පෙනේ. එපමණක් නොව බුදුරදුන්ගේ අග්‍ර ශ්‍රාවිකාවක වූ ඛේමා තෙරණිය ගිහි කල මගධය පාලනය කළ බිම්බිසාර රජතුමාගේ අග බිසව වූවාය. සැදැහැවත් රජතුමා බුදුරදුන් දැකීමට නිතර වේළුවනාරාමයට ගිය නමුත් ඛේමා බිසව බුදුරදුන් වෙත යාමටත්, බණ ඇසීමටත් දැක්වූයේ බලවත් පිළිකුලකි. එහෙත් පසුව වේළුවනාරාමයේ විසිතුරු කවියට නගා කියනු ඇසී ප්‍රසාදයට පත්ව ආරාමය නරඹන්නට ගොස් බුදුරදුන්ගෙන් බණ අසා පැවිදි වූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. බුදු බණ කවියට නගා කියනු අසා හැටනමක් රහත් වූ බවට බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පුවත බොහෝ අය දත් ප්‍රසිද්ධ සිදුවීමකි. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ කාව්‍යය මොනතරම් සිත් ඇද ගන්නේද යන්නයි.

සෑම රටකම සාහිත්‍යය අතර පද්‍යයට විශේෂ තැනක් හිමිව ඇති බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ද තත්ත්වය එයයි. ඒ බව අනුරාධපුර යුගයේ කවිසමය පිළිබඳ ලියන ලද සියබස්ලකර ග්‍රන්ථයෙන් සහ සුප්‍රසිද්ධ සීගිරි ගී වැනි නිර්මාණයන්ගෙන් ප්‍රකට වෙයි. අග්බෝ රාජ්‍ය කාලයෙහි සක්දාමල, අසක්දාමල, දැමි ආදී නම්වලින් හඳුන්වන දොළොස් මහා කවියන් විසූ බව නිකාය සංග්‍රහය සඳහන් කරයි.

කවරෙක් වුවත් කාව්‍යයෙන් රචනා කරත් නම් ඒ සෑම දෙන බුද්ධ චරිතයම තේමා කොට ක්‍රියා කළ යුතු බවට පිළිගැනීමක් තිබූ බව කාව්‍යකරණය ගැන උපදෙස් දෙමින් ලියා ඇති සියබස්ලකරෙහි ‘පෙදෙන් බුදු සිරිත ඇ’ යනුවෙන් දක්වා තිබීමෙන් පැහැදිලි වෙයි. මේ පිළිගැනීම නිසා කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසඳාවත ආදී අගනා කාව්‍ය ග්‍රන්ථ ජාතක කතා මුල්කොට බිහිවිය. කෝට්ටේ යුගයේ දී සිංහල පද්‍ය ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් බිහි වූ බව පෙනේ. පැරකුම්බා සිරිත වැනි ස්ත්‍රෝත්ත ග්‍රන්ථද බුදුගුණ අලංකාරය වැනි භක්ති කාව්‍යයද මේ යුගයේ රචනා වූ ග්‍රන්ථ දෙකකි.

පාලි භාෂාවෙන් ලියූ ධර්මය තේරුම් ගැනීමට අපහසු වූයෙන් ඒ දුෂ්කරතාවෙන් මිදීම පිණිස ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථය රචිතය. පාසල් යන දරුවාගේ පටන් වැඩිහිටි මහලු අය සඳහා ද එකසේ වැදගත් වන එම ග්‍රන්ථය රචනා කරන ලද්දේ වැඩි කොටසක් සද්ධම්මෝපායන නම් ග්‍රන්ථයෙන් හා ධම්මපදය නම් ග්‍රන්ථය ආශ්‍රය කොටගෙනය. ‘විදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ’ යනුවෙන් මෙම ග්‍රන්ථයේම සඳහන් වන අන්දමට වීදාගම විහාරයෙහි වැඩ විසූ මෛත්‍රිය හිමියෝ ලෝවැඩ සඟරාවේ කතුවරයාණෝ වූහ. කවිලකුණු මිණිමල, බුදුගුණ අලංකාරය හා දහම් ගැට මාලාව යන ග්‍රන්ථයන්ද රචනා කරන ලද්දේ උන්වහන්සේ විසිනි.

කවිය කන වැටෙන වහා තේරුම්ගත හැකි අන්දමට හැකිතාක් සරල බසින් ලියා ඇති ලෝවැඩ සඟරාවෙහි ගැඹුරු බුදුදහමත්, කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සැම කෙනෙකුගේම ජීවිත සාර්ථකත්වයට පත් කිරීමට අදාළ වූ උපදේශාත්මක ධර්ම කරුණුත් ඇතුළත්ව පවතී. වෙනත් කවර හෝ හෙළ කාව්‍යයක නැති තරම් අගනා දහම් කරුණු ඇතුළත් කවි 139 කින් යුක්ත වූ මේ ග්‍රන්ථය කියවීමට බෙහෙවින් රුචිකත්වයක් පළ කරයි. මෙහි බොහෝ කවි වඩාත් පැහැදිලි කිරීමට ගැමි වහරෙහි දැක්වෙන විවිධ අගනා උපමාවන් යොදාගෙන තිබීම නිසා වැඩි ආස්වාදයක් සහ රුචිකත්වයක් ඇති කරයි. එපමණක් නොව මෙහි කවිවලින් පෙන්නා දී ඇති ධර්ම කරුණු හැම කෙනෙකුගේම ජීවිත සාර්ථකත්වයට පත්කිරීමට සමත් ය. මේ නිසා ලෝවැඩ සඟරාවෙහි කවි සහ එහි තේරුම් නිරන්තරයෙන් කියවීමටත්, විශේෂයෙන් තම දූ දරුවන් එක්ව කවි කටපාඩම් කරගැනීමට උත්සාහ ගැනීමත් ගුණ දහමින් පිරි සාර්ථක ජීවිතයක් පවත්වාගෙනයාමට උපකාර වෙයි. එහෙයින් ඉදිරි සෑම පුරපසළොස්වක පොහොයක් පාසාම ලෝවැඩ සඟරාවේ කවියක් සමඟ අගනා ධර්ම කරුණු මැනවින් හදාරන්නට සිතට ගනිමු.