Print this Article


විමර්ශනශීලි වන්න ඇසෙන දෙයට වඩා අසන්න

විමර්ශනශීලි වන්න ඇසෙන දෙයට වඩා අසන්න

සිතේ ස්වභාවය විසිරීමයි. දුර ගමන් කිරීමයි. විටෙක කැළඹෙන සිත විටෙක අවුල් වෙයි. එහෙ මෙහෙ යයි. දරුවනි, එවැනි සිත ඉගෙනීමට බාධාවක්.ඉගෙනුම ඇතුලු සියලු කටයුතුවලට මුල්වන සිත දකින්න උත්සාහ කළ යුතු බව, සිත එක්තැන් කරගත යුතු බව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා.

අපේ දරුවන් බොහෝ විට පාඩම් කරන්නට උත්සාහ කරනවා. පොතේ වචන, පේළි, පිටු අතර ඇහැ දුවනවා. ඒත් පාඩම් කළ දේ සිතෙහි රැඳී නෑ. මතකයේ නෑ. පාඩම කියවාගෙන ගියත් සිත එකතැනක නොරැඳීම, ව්‍යාකූලවීම ඊට හේතුවයි. බොහෝ ඈතට නොවේ. දින දෙක තුනක් ගෙවු ජීවිතය දෙස ආපසු හැරී බලන්න. ඇඳුම්, පැළඳුම් පොත්පත්, පෑන්, පැන්සල්, ක්‍රීඩා භාණ්ඩ තිබූ තැනක් මතකයේ නැතිව ඔබට මොනතරම් අපහසුවට, කලබලයට , හිතේ කරදරයට පත්වෙන්නට වුණාද, ඒවා සොයන්නට නිරපරාදේ වැය කළ කාලය නිසා පාසල් බස් රියට, දුම්රියට ප්‍රමාද වුණාද? සිත එක තැනෙක පිහිටුවා කටයුතු කළා නම් ඒ කරදරවලට මුහුණ දෙන්නට සිදු වන්නේ නෑ. කල්පනාව වැදගත් වන්නේ ඒ නිසයි.

දරුවනි, අද වසරේ පළමු පුර පසළොස්වක පොහෝ දිනයයි. උදෑසනින් පිබිදී, මුව දොවා, මල්වට්ටියක්, පහනක් බුදුරදුන් ඉදිරියෙහි පූජා කරන්න. තෙරුවන් වැඳ මල් පහන් පුදා ඒ මොහොතේ සිට ජීවිතයට අලුත් අදිටනක් ඇති කරගන්න.මම අද සිට උදාවන හැම දිනෙකම ජීවිතයේ ඉලක්ක යහපත් අරමුණු උසස් ලෙස සම්පූර්ණ කරන්නට උට්ඨාන වීර්ය වඩන බවට, ඒ සඳහා නිවැරැදි සිහි කල්පනාවෙන් කටයුතු කරන බවට තමන්ටම පොරොන්දු වන්න. උත්සාහය, උනන්දුව, කැපවීම තිබේ නම් ජීවිතයේ ජයග්‍රහණය කළ නොහැකි දෙයක් නොවන බව තරයේ සිතට ගන්න. ඒ අනුවම කටයුතු කරන්න. දිනෙන් දින ජයග්‍රහණයේ ලකුණු මිස පැරදුමේ ලකුණු නොදකිනු ඇත.

බුදුහාමුදුරුවෝ අපට දේශනා කොට වදාළේ, ‘නිසම්ම කාරිනෝ’ කරන කියන සෑම සියලු දේ ම සිහි කල්පනාවෙන්, දෙපැත්තම බලා සිදු කරන ලෙසටයි. එනම් හොඳ නරක විමසා බැලීමයි. තමන් කරන දෙයින් නරකක්, නපුරක්, වේදනාවක්, අවනම්බුවක්, තමන් ගේ ජීවිතයට සිදු වේද, අම්මට, තාත්තට කැළලක් වේද? එසේ සිතා යහපත්දේට පමණක් යොමුවන ලෙසයි.

මේ පිළිබඳව බණ පොතේ ඉතා අපූරු කරුණු හතරක් පැහැදිලි කොට තිබෙනවා. යමක් කරනවිට තමන් ගැන සිතීම පළමු වැන්නයි. අයහපතක් වේදැයි සිතීමයි. තමන් දෙසට අනුන්ගේ ඇඟිල්ල දිගු කරන්නට පුළුවන් විදිහේ, සොරා, කපටියා, රැවටිලිකාරයා, බොරු කාරයා යන අපවාද නොඅසන සේ වැඩ කිරීමද වැදගත්. දඬුවම් ලැබෙන විදිහේ, නීතියට, යුක්තියට, සාධාරණයට, සමාජයට අහිතකර වන දේ කිරීමෙන් වැළකීමද කළ යුතුයි. සිව්වැන්න අපායට බිය වීමයි. එනම් මරණින් මතු අගතියට යන දේ කිරීමෙන් වැළකීමයි.

ඉගෙන ගන්නා දරුවෙකුට හොඳ පෞරුෂයක් තිබිය යුතුයි. දරුවන් ඒ පෞරුෂ ගුණ තමන් කෙරෙහි වර්ධනය කරගන්නට උත්සාහ කළ යුතු අතර මවුපියන්ද එවැනි ගුණාංග ඇති දරුවෙක් හදා වඩා ගන්නට උත්සාහ කළ යුතුයි.

පෞරුෂය ඇති අය හඳුනා ගන්නේ කෙසේද? ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිවැරැදියි. වචන නිවැරැදියි. සිතන පතන දේ නිවැරැදියි.

පෞරුෂ වර්ධනය සඳහා ජීවිතයට සමීප කරගත යුතු ප්‍රධාන කරුණු අටක් තිබෙනවා.

පළමුවැන්න ‘ප්‍රතිජානනයයි’ එනම් අප සමඟ ජීවත්වන අය කරන කියන දේ පිළිබඳව සුබවාදීව බැලීමයි. බුද්ධ චරිතය ආදර්ශයට ගන්න. උන්වහන්සේ සියලු සතුන් දෙස බැලුවේ සතුටින්, සිනහ මුසුමුහුණින්. අනිත් කෙනා සිනාසෙන්නට පෙර උන්වහන්සේ මන්දස්මිතයෙන් කාරුණිකව ඔවුන් දෙස නෙත් යොමු කළා. කතා කරන්නට පෙර කතාකොට සුවදුක් විමසුවා. මෙවැනි ගුණාංග ජීවිතයට හුරු පුරුදු කර ගැනීම හොඳ පෞරුෂයේ ලක්ෂණයක්.

දෙවැන්න ‘සභානුභූතිය’යි. එනම් කෙනෙකුගේ දුකකදී, කරදරයකදී ඒ දුක බෙදාගැනීමයි. සැපයක දී සතුටකදී සතුටු වීමයි. අනුන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙන්නට හැකිනම්, ඔවුන්ගේ හදවතෙහි නැගෙන වේදනාව, හදවතේ රිද්මය හඳුනා ගන්නට හැකිනම්, ඒ අනුව තමන්ට හැකි ලෙස සහනයක් වන්නට හැකිනම් එය ද පෞරුෂයේ ලක්ෂණයක්.

තෙවැන්න ‘අභ්‍යන්තර සාමය’යි . එනම් තමන්ගේම සිත සුවඳවත් කරගැනීමයි. සුවඳවත් සිතේ කරුණාවේ, මෛත්‍රියේ, දයාවේ. අනුකම්පාවේ,ආදරයේ අඩුවක් නෑ. ඒ වැනි සිතක් ඇති කෙනෙක් බාහිර ලෝකය දෙස බලන්නේ ඒ සුවඳවත් බවින්. එවිට ඔවුනොවුන් අතර හොඳ මිත්‍රශීලි බවක් ගොඩනැගෙනවා.

සිව්වැන්න ‘සහයෝගය’යි . පිරිසක් එක්වී පාසල් මිදුල, පන්ති කාමරය පිරිසුදු කරන අතරේ කෙනෙක් පැත්තකට වී බලා ඉන්නවා නම්, සහයෝගයක් නොදෙනවා නම් එය පෞරුෂයේ ලක්ෂණයක් වන්නේ නෑ. ආහාරයක් බෙදා හදාගෙන කන්නට දන්නේ නැති නම්, පොතක් පතක් නැති දරුවෙකුට යම් පරිත්‍යාගයක් කරන්නට හිත නැමෙන්නේ නැති නම් පෞරුෂයක් ඇති කෙනෙක් බවට පත්වන්නේ නෑ.

පස්වැන්න , මානවඅයිතිවාසිකම්වලට ගරු කිරීමයි. අප හැමෝටම නිදහසේ, සතුටින්, සාමකාමීව, ජීවත් වෙන්නට අයිතියික් තිබෙනවා. කෙනෙක් ඊට බාධකයක් වෙනවා නම් හේ පෞරුෂයක් ඇත්තෙක් වන්නේ නෑ. නිවසේ ගුවන්විදුලිය තමන්ගේ ශ්‍රවණය ඉක්මවා අහළ පහළ නිවැසියන්ට කරදරයක් වන ලෙස භාවිත කරනවා නම් ඒ පුද්ගලයා අයිතිවාසිකම් කඩ කරන්නෙක්. මේ එක් සරල උදාහරණයක් පමණයි. කිසිවෙකුට බාධකයක් නොවන ලෙස ජීවත් වීමයි වඩාත් සුදුසු වන්නේ.

හයවැනි අංගය ‘ස්ථිරසාර බවයි. එනම් ස්ථිර ප්‍රතිපත්තියක් ඇත්තෙක් වීමයි. මත්වතුර ඇතුළු මත්ද්‍රව්‍ය, පෙම් සබඳතා , රණ්ඩු දබරවල පැටලීම, වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීම ඉගෙන ගන්නා දරුවෙකුට යෝග්‍ය වන්නේ නෑ. එය ඉගෙනීමට බාධාවක්. “අනුන් මට කොපමණ කරදර කළත් මම වැරැදි නොකරමි” යන ස්ථිර ප්‍රතිපත්තියක ඉන්නට අපේ දරුවන් හිතට ශක්තිය ගන්න ඕනෑ. එය හොඳ පෞරුෂයේ ලක්ෂණයක්.

හත්වැන්න ඕනෑම ප්‍රශ්නයක් දෙස විචාරාත්මකකව සහ බුද්ධිමත්ව බැලීමයි. කිසිවෙක් කී පමණින් කිසිවක් පිළිගැනීම සුදුසු නෑ. “අරයා හොඳ නෑ” මෙයා හොඳයි. අරයා ඔබ ගැන මෙලෙස කීවා” ආදී ලෙස ඔබට කෙනෙක් පිළිබඳ වැරැදි හැඟීමක් ඇති කරනවා නම් කරුණු සොයා නොබලා පිළිගැනීමෙන් වළකින්නට ඕනෑ. උත්සාහ කළ යුතු වන්නේ,

පෙනෙන දේට වඩා දකින්නයි
ඇසෙන දේට වඩා අසන්නයි
සිතෙන දේට වඩා සිතන්නයි
එවිට ඕනෑම දෙයක් ගැන විමර්ශනාත්මක විය හැකියි.

සිත පවිත්‍රව තබා ගැනීම අටවැනි පෞරුෂ ලක්ෂණයයි. සිත හැඟීම්බර වෙනවා නම් එය යහපත් වන්නේ නෑ. කෙනෙකුගේ ලස්සන රූපයට කැමැති වෙලා , කතා කරන වචනයට, තමන් ගැන කරන වර්ණනාවට, රැවටිලා කෙනෙකුට වාසි සහගත වන ලෙස තීරණ ගන්නවා නම් එය හැඟීම්බරව තිරණ ගැනීමක්. තීරණ ගන්නට ඕනෑ පිවිතුරු සිතින් පමණයි.

ළමා ලෝකයේ පෞරුෂයක් ඇති ළමයෙකු වන්නට මේ කරුණු ඉතාම වැදගත්. ඒ අනුව හැඩගැසුණු චරිතයේ අනාගතය ඉතාම යහපත්. උත්සාහ කළ යුතු වන්නේ අද මේ යහපත් පුරුදු ජීවිතයට පුහුණු කොට පෞරුෂයෙන් හෙබි ශක්තිමත් පුරවැසියෙක් ලෙස අනාගතයට මුහුණ දීමටයි. එවිට ජීවිතය ද පහසුයි.