Print this Article


වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

සංයෝග යනු එකට එකතු වීමයි හෙවත් හමුවීමයි. වියෝග යනු වෙන් වීමයි. සංයෝගයක් හෙවත් එකට එකතුවීමක් යම් තැනකදී සිදුවන්නේද ඒ ඇති වූ හමුවීම වෙන්වීමකින් කෙළවර වීම විශ්ව ධර්මතාවයි. “පියෙහි විප්පයොගෝ දුක්ඛො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි.

අප මව් කුසින් මෙලොව එළිය දුටු දිනයේ සිට ප්‍රථමයෙන් මවත් පියා සහ සහෝදර සහෝදරියන් සමගත්, ආච්චි ,සීයා ,නැන්දා , මාමා ආදි අවශේෂ ඥාති වර්ගයා සමගත් දැඩිබැඳීමකින් හා එකමුතු කමකින් ජීවත්වීමට පුරුදු පුහුණු වී සිටිමු. ඔවුන් අපට දක්වන ආදරය සෙනෙහස හා මගේය, අපේය යන ආකල්පයෙන් එකිනෙකා කෙරෙහි දක්වන මානසික සංවේදීභාවය අපේ හදවත් තුළ දැඩිව කිඳා බැසගෙන පවතී. එනිසා ඔවුන් කෙරෙහිද අපගේ මනසෙහි ඇත්තේ සුවිශේෂී මමත්වයකි.

පාසල් යන අවදියේ සිට සමාජ ජීවිතයකට පුරුදු පුහුණු වන අපි, බැඳීම් තව දුරටත් පුළුල් කර ගැනීමට පෙළඹෙමු. ඒ අනුව අපට ගැළපෙන මිත්‍ර සමාගමක් සමගත් එයින් බැහැර අසල්වාසීන් සමගත් රැකියා ස්ථානයේදී හිත මිතුරන් සමගත් දැඩි ළෙන්ගතු ඇසුරකට පත්වෙමු. අපගේ ඇසුරට ආදරණීය සුවිශේෂී පිරිසක් සමීප කරගත් දිනයේ සිට ඔවුන් සියලු දෙනා සමඟ දුක සැප බෙදාගනිමින් ජීවිතය භුක්ති විඳින්නෙමු. මේ සංයෝග හෙවත් හමුවීම සියලු දෙනාටම අවැසිය. පෘථග්ජන අප කිසිවෙකුට ලෝකය තුළ හුදකලාව ජීවත් විය නොහැකිය. වරක් බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළේ වනයෙහි ගස් මෙන් එකිනෙකාට නම්‍යශීලිව ඔවුනොවුන් අතර බැඳී බොහෝ ඥාතීන් ඇතිව ජීවත් වන ලෙසයි.

‘ඤාති සම්බහුලා හෝථ
අපි රුක්ඛා අරඤ්ඤහි”

එනිසා මෙබඳු ඤාති මිත්‍ර පිරිසකගේ හමුවීම අතිශයින්ම අප සැමට ප්‍රමෝදය ඇති කරයි. අපේ අම්මා හා තාත්තා අප ළඟ රැඳී සිටීම අපට සතුටකි. ඔවුන් දෙපළට ද දරුවන් ළඟ සිටීම මහත් සතුටකි. බිරිඳ හා දරුවන් මෙන්ම සහෝදර සහෝදරියන් ද එම සතුට තීව්‍ර කරයි. අපි ආදරය කරන මේ කිසිවෙකුට විපතක් අනතුරක් සිදු නොවී හැම දිනම අප හා එකතුවී සිටීම තරම් ආස්වාදයක් අපට නොමැත.එනිසා සංයෝගය නම් ධර්මතාව අප සියලු දෙනාගේ ජීවිතයට ජීවයක් ලබාදෙන ගුණයක් ලෙස දැනේ. මේ හේතුවෙන් අපේ බැඳීම් කිසිවිටෙකත් බිඳ වැටෙනවා දැකීමට අපේක්ෂා නොකරන අතර වැඩි වැඩියෙන් බැඳීම් තහවුරු කරගනිමින් ජීවත්වීමට අපි පුරුදු පුහුණු වී සිටිමු. එය පෘථග්ජන වූ අප සැම දෙනාගේම පරම අභිලාශයයි. එහෙත් මේ කිසිඳු බැඳීමක් ස්ථිරව නොපවතී. ඒවා අනිවාර්යයෙන්ම බිඳවැටෙන ස්වභාවයෙන් යුක්තය. අප මනස හා බැඳුණු සැම ළෙන්ගතු ඇසුරක්ම වෙන්වීමකින් කෙළවර විය යුතුය. ලෝක ස්වභාවය නම් එයයි. අපව කිරි පොවා හදා වඩා පෝෂණය කළ එසේම අසීමිත මව් පිය සෙනෙහසකින් අපේ හදවත පිරවූ අපේ අම්මා හා තාත්තා ඇතුළු සියලු දෙනාම කෙදිනක හෝ අප අතහැර වෙන් වී යාමේ පැත්තට බර බව ඔවුන් සමඟ සතුටින් සිටින විට නොදැනේ. එසේම ඔවුන් අපෙන් වෙන්වී යාම ගැන සිතීමටද අපි අකැමැති වෙමු. එනමුත් එම සිතිවිල්ල ආත්මාර්ථකාමී වූ සත්‍ය ධර්මතාවට විරුද්ධ වූවකි. හැම හමුවීමක්ම වෙන්වීමකින් කෙළවර වන බව නොදැනෙන තාක් අපට පි‍්‍රය විප්‍රයෝගී දුකින්ද නිදහස් විය නොහැකිය.

මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණිය පිරිනිවන්පෑ අවස්ථාවේ ඇයගේ වියෝගය දරාගත නොහැකිවු පෘථග්ජන භික්ෂුණීන් ඇමතූ බුදුරජාණන් වහන්සේ සියලු බැඳීම් හා හමුවීමි. වෙන් වීමකින් කෙළවර වන බව අවධාරණය කළහ.

“හා! සංයෝගා වියෝගන්තං”

මෙම ධර්මතාව වටහා නොගෙන ජීවත්වීම හේතුවෙන් පි‍්‍රය විප්‍රයෝගී දුකක් වූ විට අප තුළ දරා ගැනීමේ ශක්තිය දුර්වල වී යයි.

එවිට අප පත්වන ඛේදනීය මානසික තත්වයෙන් ප්‍රකෘතිමත් භාවයට පැමිණීම පහසුනොවේ. මෙම ධර්මතාව පිළිබඳව විවෘතව බැලීමට පුරුදු වුවහොත් අප කිසිවෙකුට හැඬීමට හෝ දුක්වීමට සිදු නොවේ. වරෙක අපගේ පී‍්‍රති ප්‍රමෝදයට හේතු වූ පුද්ගලයා හා වස්තුව තවත් වරෙක අපම දුකට යොමු කරවන බව අවබෝධ කරගත යුතුය. එය අපි ඇසුරු කරන හා ආදරය දක්වනන්ගේ වරදකින් සිදුවන දෙයක් නොව අප ඔවුන් කෙරෙහි දැක්වූ අවියෝජනීය මානසික බැඳීමේ ස්වභාවය පදනම් කරගෙන සිදුවන්නකි. මෙය තවදුරටත් සරලව මේ අයුරින් වටහාගත හැකිය. එනම් අප ඇසුරේ සිටින අය අප අතරින් ඉවත්ව යාමත් අලුතින් පරපුරක් දරු මුණුපුරන් ලෙස අපේ ඥාතීත්වයට පැමිණීමත් යන දෙපැත්තටම ආවේණික රටාවකට අනුගතව විශ්වධර්මතාව ක්‍රියාත්මක වන බවයි. මව හෝ පියා එසේම දරුවන් මිය යාම අපට දැරිය නොහැකි වුවත් ඔවුන් වෙන් වී යාම තුළ ඇත්තේ අපට ප්‍රථමයෙන් අප අතහැර යාම පමණි. ජීවත්ව සිටියදී අපේ ඇසුරේ සිටින බොහෝ දෙනෙක් අප අතහැර යන අයුරින්ම අපටද අපේ ආදරණීයයන් කෙදිනක හෝ අතහැර යාමට සිදුවේ. ස්වභාව ධර්මයේ නියතිය එයයි. එම නියතියට අප සියලු දෙනාම යටත් වී සිටිමු. එයින් මිදීමට හැකි වන්නේ සියලු බැඳීම්වලින් මිදුණු විරාගී චරණයට පත්වීමෙන් පමණි. ඒ සඳහා නිවැරදි මාවත බුද්ධ දේශනාවේ සඳහන් වේ. එතෙක් අප ආදරය කරන අපේ ජීවිත සමඟ බැඳී සිටින සියලු දෙනාම විශ්ව ධර්මතාවයේ නියතියට යටත් බවත් ඒ ධර්මතාවයට අනුව අපි සියලු දෙනාම ලෝකය තුළ ජීවත් විය යුතු බවත් අවබෝධ කරගැනීම වියෝ දුකින් මිදීමට ඇති නිවැරදි මාර්ගයයි.