Print this Article


දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ජන්ම දිනයට දරුවන් අසූ දෙදෙනෙකුට ශිෂ්‍යත්ව

දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ජන්ම දිනයට දරුවන් අසූ දෙදෙනෙකුට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 2017 ජනවාරි 02 දිනට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් බෞද්ධායතන දායක සභාව විසින් අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්ෂතා දක්වන, ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇත.

විවිධ ප්‍රදේශවලින් තෝරාගත් දක්ෂ දරු දැරියන් අසූ දෙදෙනෙකු වෙත පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් මසකට රු. 2500/- බැගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුව වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය නිමවන තෙක් පිරිනැමීමට අදහස් කෙරේ. ඒ නිමිත්තෙන් දෙසැම්බර් මස 31 දින පෙරවරු 9.00 ට ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනයේ දී පැවැත්වෙන උත්සවයකි. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, රාජකීය පණ්ඩිත, ආචාර්ය නියන්ගොඩ විජිතසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එහි මුලසුන හොබවති. විද්‍යෝදය පිරිවෙන්පති, දර්ශනපති බලන්ගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය මහා සංඝරත්නයේත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු සම්භාවනීය ගිහි උතුමන්ගේත් සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බව බෞද්ධායතන දායක සභාවේ ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි.

දැහැමි, ගුණගරුක පිරිසක් රටට දායාද කිරීම උදෙසා මුල්වරට මසකට රු. දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කෙරෙන මෙම වැඩසටහන දරුවන්ගේ දක්ෂතාවන් මත විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය නිමවන තෙක් අඛණ්ඩව ලබාදීමට ද බලාපොරොත්තු වෙයි.

ඉහත සඳහන් වැඩසටහනට අමතරව යසස්සි නාහිමිපාණන්ට ආශිර්වාද පළ කිරීම සඳහා ඖෂධ එකසිය අටක් සහිත ගිලන්පස බුද්ධ පූජාවක් ජනවාරි 02 රාත්‍රී 7.00 ට පැවැත්වීමට බෞද්ධායතන ධර්ම විද්‍යාලය හා දායක සභාව කටයුතු යොදා ඇත.