Print this Article


දිනුම සොයමින් පරදින ජීවිත

දිනුම සොයමින් පරදින ජීවිත

යොවුන් විය, තුරුණු විය විප්ලවකාරීයි. තමන් කරන දේ, කියනදේ නිවැරැදි යැයි තමන්ම තක්සේරු කිරීම, අකීකරු ගති, තනිවම තීන්දු තීරණ ගැනීම, තනිවෙන්නටම බැලීම, අන්‍යයන් රිදවනු සඳහා තමන්ට රිදවා ගැනීම, අනුන්ගේ අඩුපාඩු, වැරැදි වැඩියෙන් දැනෙන්ට වීම මේ වයසේ බොහෝ දරු දැරියන්ගේ ස්වභාවයක්. අහිතකර වන්නේ එම ස්වභාවයන් නැවත නිවැරැදි කරන්නට බැරි වරදක්, ජීවිත හානියක් ඇති කරන්නට තරම් ඇතැම් විටෙක ප්‍රබල විය හැකි නිසයි. මවුපියන් හා දරුවන් අතර ගොඩනැඟුණු ආදරය, සෙනෙහස, ගෞරවය, කරුණාව මුසු වූ සමීප සබැඳියාවන් එම වයස් සීමාවේ දී තවදුරටත් සවි ශක්තිමත් කරගත යුතු වන්නේ ද ඒ නිසයි.

ජීවත්වීම වධයක් ලෙස සලකන තරුණ පිරිස් වගේම වැඩිහිටියන් ද අපේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. ජීවිතය පිළිබඳව ඇති අනවබෝධය ඊට හේතුවයි. ජීවිතය ගැටලුවක් කර නොගන්නට ඇවැසි ජීවිතාවබෝධය ලබා දිය යුතු වන්නේ ළමා වියේ සිටයි. වචනයෙන්, උපදේශයෙන් පමණක් එය කළ නොහැකියි. තෝරා ගත යුතු වන්නේ සිත තදින් ග්‍රහණය කරගන්නා, සිතට දැනෙන නිර්මාණාත්මක ක්‍රමවේදයක්.

තරුණ දරුවන් හා මවුපියන් අතර බොහෝවිට වාද, විවාද, ප්‍රශ්න, ගැටලු ඇති වෙනවා. එය අතීතයට, වර්තමානයට වගේම අනාගතයටත් පොදු දෙයක්. වැදගත් වන්නේ ඒ ගැටුම්, ප්‍රශ්න සිත් රිදවීම් අවම වන ලෙස පරිසරය සකසා ගැනීමයි. ජීවිතයට මුහුණ දෙන්නට සිත ශක්තිමත් කර ගැනීමයි.

සමහර පවුල්වල මවුපියන් අතර ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා දරුවන්ට වන හානිය ගැන අබමල් රේණුවක තරම් හෝ හැඟීමක් නැති ඔවුන් දරුවන් ඉදිරියේ ම ඔවුනොවුන් වෙත දෝෂාරෝපණය කරනවා. වැරදි අඩුපාඩු මුදා හරිනවා. මේ ගැටුම් අතරට මැදිවෙන දරුවන් මානසික පීඩාවට පත්වෙනවා. සමහර දරුවන් ඒ පීඩාව මුදාහරින්නේ අම්මට තාත්තට පාඩමක් උගන්වනවා යන හැඟීමෙන්. එක්කෝ සිය දිවි හානි කර ගනිමින්. එහෙමත් නැතිනම් අධ්‍යාපනය කඩා කප්පල් කරගනිමින්.

මේ වැනි මානසික තත්ත්වයන් තුලනය කරන්නටත්, පොදු මානුෂීය ස්වභාවයන් තේරුම් ගන්නටත් ජාතක පොත අනගි කියවීමක්. එදා, ළමා පරපුර හැඟීමෙන්, දැනීමෙන් පෝෂණය වුණේ එවැනි කතා ඇසුරෙන්. ජීවිතය ඉගෙන ගත්තේ ඒ චරිත අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය තමන්ට හා අන්‍යයන්ට ද ආදේශ කරමින්.

ජාතක පොතේ එන වාත සෛන්ධව ජාතකය අම්මගේ තාත්තගේ ප්‍රශ්න තමන්ගේ කරගත යුතු නැති බවට ළමා මනසට ඒත්තු ගන්වන, ප්‍රබල හැඟීමක් ඇතිකරවන කතාංගයක්. කොටළු ධේනුවක් හා අශ්වයෙක් වටා ගෙතුණ අතීත කතාව මිනිස් සිත පිළිබඳව කරන අපූර්ව විවරණයක්.

එක්තරා ගම්මානයක කුන්තාලි නම් කොටළු ධේනුවක් ඇගේ පුතු සමඟ ජීවත් වුණා. සැමියා නැති තනිකඩ ජීවිතයක් ගෙවූ කොටළු දෙන දිනක් සාර තණ බිමක ආහාර බුදිමින් ඉන්නා අශ්වයකු දුටුවා. ඒ ජව සම්පන්න අශ්වයා ගැන සිත් පහළ වී ගෙදරට ගොස් ඒ ගැනම සිතමින් වධ වුණා. අශ්වයා නොලැබුණේ නම් සිය ජීවිතයද එපා යැයි සිතමින් ආහාර ද ප්‍රතික්ෂේප කළා. පැත්තකට වී නිහඬව කල්පනා කළා. කඳුළු සැලුවා.

වෙනදා සතුටින් ඉන්න, තමන් ගැනම සිතන අම්මාගේ වෙනස කොටළු දෙනගේ පුතුට දැනුණා. ‘අම්මේ, මෙසේ හඬා වැටෙන්නේ කුමක් නිසාද? නොකා නොබී ජීවිතය නැති කරගන්නට හදන්නේ කුමක් නිසාද? කොටළු පුතා ඇසුවා. කිහිප වරක්ම පුතුගේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් කොටළු දෙන සිය පුතුට තමන්ගේ ප්‍රශ්නය පැවසුවා.

‘අම්මා, දුක්වෙන්න එපා. මම ඒ අශ්වයා මුණ ගැසී ප්‍රශ්නය විසඳන්නම්. පුතා පොරොන්දු වුණා. ඒ ලෙසම අශ්වයා දකින්නට දිය නහවන වැව සමීපයට ගියා.

‘අප්පච්චි! අප්පච්චි!' යි අශ්වයාට කතා කළා. ‘මගේ අම්මා, අසවල් තැන ඉන්නා කොටළු දෙන අප්පච්චි ගැන ආශාවෙන් ඉන්නවා. නොකා නොබී, හඬමින්, වැළපෙමින් මරණය දැක දැක ඉන්නවා. අනේ, ඈ ගැන අනුකම්පාවෙන් ඇයගේ ජීවිතය බේරා දෙන්නැ'යි ඉල්ලා සිටියා. කොටළු පුතා ගැන අනුකම්පා කළ අශ්වයා ‘පුතේ! මේ වෙලාවේ මාගේ හාම්පුතා ද මෙහි සිටිනවා. ඒ නිසා එන්නට බැරිය. මා නාවා, තණ පිටියට යැවූ පසු නුඹගේ මව එහි කැඳවාගෙන එන්නැයි” කීවා. කොටළු දෙනගේ පුතාද සතුටින් අම්මා වෙත ගියා. අශ්වයා කී ලෙස අම්මා ද සමඟ තණ බිමට ආවා. අම්මා පමණක් අශ්වයා වෙත යවා පුතා අසළ බැද්දේ සැඟවී සිටියා.

දිය නා පිරිසුදුවී තණ පිටියට ආ අශ්වයා සමීපයට ගිය කොටළු දෙනට මෙසේ සිතුණා. ‘පුරුෂයන් මිස ගැහැනුන් පළමුව ආදරය කියන්නේ නෑ. එය අන් අයගේද ගැරහීමට හේතුවක්. ඒ නිසා මම ඉස්සර වෙන්නේ නෑ’

එසේ සිතා අශ්වයාට නොකැමැති බවක් බොරුවට හඟවා ඉදිරියට දිව ගියා. අශ්වයා ද තමා පසු පස දිව එනු ඇතැයි කියා සිතුවා. එහෙත් අශ්වයා නිහඬව සිටියා. පසු පස හැරී බලා අශ්වයා නොදුටු වෙළඹ දුක්වුණා. ඇය සමීපයට පැමිණි පුතා ‘අම්මේ, අප්පච්චි ළඟටම ගිහින් නුඹ ආපහු දිව්වේ ඇයි? දැයි ඇසුවා.

ඇය, ලෝක සම්මතය නම් මෙය බව ද ඒ නිසා පලා ආ බවද කියමින් සිදුවීමට හේතුව පැවසුවා.

සත්ත්ව චරිත ගෙන හැර දක්වමින් මිනිස් සිත ගැන ජාතක කතා කරුවා කළ මේ විවරණයන් තුළින් එදා අපේ දරුවන්ට අම්මා තාත්තා අතර වුවද ඇතිවන ප්‍රශ්න විවාහක ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන සාමාන්‍ය ප්‍රශ්න බව වටහා දුන්නා. ඒ ප්‍රශ්න ගැන සංවේදීව සිතන්නට පුරුදු කළා. මිනිසුන්ගේ හැඟීම්, දැනීම්, ක්‍රියාකාරකම්වල ස්වභාවය වගේම සංස්කෘතිය විසින් දී ඇති බාධක පිළිබඳව ද දැනුම්වත් බවක් ඇති කළා. ඒ තුළයි එදා අපේ දරුවො ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වේ. හිතට එන ආවේගය, දුක, කනගාටුව, පීඩනය පාලනය කර ගත්තේ. ප්‍රශ්නයක් විසඳන ආකාරය ඉගෙන ගත්තේ.

ගෘහ සේවය සඳහා ගෙදර අම්මා විදේශ ගත වූ පසු ඇතැම් විට පියවරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔද්දල් වූ සිත් ඇති කරගන්නා අපේ සමහර දරුවෝ මවුපියන්ගේ වැරදිවලට තමන්ගෙන්ම පළි ගන්නවා. අධ්‍යාපනය අතර මඟ නතර කරනවා. ග්‍රාමීය ප්‍රදේශවල බොහෝවිට තරුණ දැරියන් පහසුවෙන් ම සොයා ගත හැකි ඇඟලුම් රස්සාවට යනවා. තරුණ පුතාලා ත්‍රීරෝද රථ රස්සාවට යොමු වෙනවා. ප්‍රශ්න ආ පමණින් දරුවන්ට එලෙස හිතුවක්කාර තීරණ ගැනීමට අයිතියක් නෑ. ඒ තීරණවල දිය කර හරින්නේ තමන්ගේ අනාගතය බව මේ දූවරු පුත්තු තේරුම් ගන්නට ඕනෑ.

ජීවිතයට ප්‍රශ්නයක් එන හැම මොහොතකම කල්‍යාණ මිතුරෙකුගේ ඇසුර ඔබේ ජීවිතයට සමීපකර ගන්න. ඔබට රැකවරණය, අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙනවා. ජාතක පොත එවැනි කල්‍යාණ මිතුරෙක්. අවුරුදු සියයක් ජීවත් වීමෙන් වුවද ලැබිය නොහැකි ජීවන අත්දැකීම් එහි ඇතුළත් වෙනවා. ජීවිතයට මුහුණ දෙන්නට ඕනෑ හොඳම විදිහ ජාතක සාහිත්‍ය අපට කියා දෙනවා. මවුපියන් වගේම අපේ යොවුන්, තරුණ දූ පුතුන් නැවත නැවතත් මේ ගැන සිතන්නට ඕනෑ.