Print this Article


චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

විපාකාවරණය ප්‍රබල ප්‍රතිසන්ධි විපාකයකි. කෙතරම් ධර්මය ශ්‍රවණය කළද, කෙතරම් මිනිස් ආත්මයක උප්්පත්තිය ලැබුවද , සද්ධර්මය තිබුණද ,බුද්ධෝත්පාද කාලයක ජීවත්වුවත් වුවද ධර්මාවබෝධ කරගැනීමට තිබෙන අවස්ථාව අහිමි වී යයි. ප්‍රතිසන්ධිය සිදුවන අවස්ථාව තුළ මිනිස් ආත්මයක උප්පත්තිය ලැබුවද,සද්ධර්මය තිබුණද කල්‍යාණ මිත්‍රයන් සිටියද අවබෝධය කරා යාමට නොහැකි වන විවිධ ගැටළු මතුවිය හැකිය. අප ගේ උප්පත්තිය සිදුවෙද්දීම .ඇතැමි විට කන් නොඇසෙන වැනි කායික ප්‍රශ්න ඇතිවිය හැකිය. ඇස් දෙක හෝ කන් දෙකම අක්‍රිය විය හැකිය. කර්ම විපාක තිබෙන අවස්ථාවක කෙතරම් ධර්මය ශ්‍රවණය කළද ඵලක් වන්නේ නැත.

සද්ධර්මය තිබෙන අවස්ථාවක වුවද,තිරිසන් අපායක උප්පත්තිය ලබා ඇත්නම්,කිසිදු ධර්මයක් අවබෝධ වන්නේ නැත.ඇතැමි කර්ම ශක්තීන් ප්‍රබල ලෙස ඔබ හමුවට පැමිණ අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අප තුළින් ගිලිහී යාමට තිබෙන අවස්ථා වැඩි වෙයි.එවැනි අවස්ථා පැමිණීමට පෙර ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ඉතාම වැදගත් කාරණාවක් වෙයි. ඊළඟ භවයෙහි සමාධිය ළඟා කරගැනීමටත් සෝතාපන්න වීමට හෝ සකෘදාගාමී වීමට හෝ උත්සාහ කරමුයි යනුවෙන් කල්ගතකරමින් සිට අවබෝධය කරා යන ගමන හැකි තරමි දුරට කල් දැමුව හොත් ,ශ්‍රද්ධාවෙන් හෝ සීලයෙන් හෝ සිතා අපගේ ජීවිතය ගත නොකළ හොත් ,නරක කර්ම විපාකයක් ප්‍රතිසන්ධියේදී ඉදිරිපත් විය හැකිය. එවැනි ඉදිරිපත් වීමක් තුළ සද්ධර්මය තිබෙන යුගයක වුවද,සද්ධර්මය අවබෝධ කරගැනීමට තිබෙන අවස්ථාව ගිලිහී යා හැකිය.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මය පිළිබඳව හෝ දේශකයා පිළිබඳව හෝ විශ්වාසය නැත්නම්,ධර්මය අවබෝධ කරගැනීමට එය බාධාවක් වෙයි. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක නැති විය යුතුය.උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව හෝ මේ ලෝකය තුළ දැනගත යුතු සියල්ල දැනගත්,අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කළ පුහුණු කළයුතු සියල්ල පුහුණු කළ සාක්ෂාත් කළ යුතු සියල්ල සාක්ෂාත් කළ ප්‍රහීණ කළයුතු සියල්ල ප්‍රහීණ කළ උත්තමයෙකු බවට අප තුළ විශ්වාසයක් නොමැති නම්,උන්වහන්සේ ගේ ධර්මය පිළිබඳව සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවිය යුතුය. එම සැකය අප තුළින් ගිලිහී යාමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පූර්ණ ශ්‍රද්ධාවක් ඇතී වීම තුළ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ කාරණා පිළිබඳව වැඩිය යුතු වීර්ය තුළ වැඩීමට අවශ්‍ය වීර්ය ලැබෙයි. අප තුළ ශ්‍රද්ධාව නොමැතිකම නිසා බුදුරජාණන් වහන්සේ වැළකිය යුතුය යන බවට දේශනා කළ කාරණා වැළකීමට යාෙමිදී දෙවතාවක් සිතා බැලීමට පෙළඹෙයි. වැඩිය යුතු බවට දේශනා කළ කරණා වැඩීමට යාෙමිදීද දෙවතාවක් සිතීමට පෙළඹෙයි. බුදුහාමුදුරුවන් ප්‍රතික්ෂේප කර තිබෙන කාරණා නොකර සිටිය හොත් අපගේ දරුවන්ට කුමක් සිදුවෙයිද?බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නාවූ ශ්‍රද්ධාව බිඳවැටීම තුළ අවිනය කරා ගමන් කරනු ලබයි. අධර්මය කරා ගමන් කරනු ලබයි. දුශ්සීලවන්ත වෙයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් නොමැති වුවත් , මෙම කාරණා කෙරෙන පිළිවෙලක් තිබෙන බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලබයි.බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයක් නැතත් එම කාරණා කෙරෙන පිළිවෙළක් තිබෙන බවට ප්‍රකාශ කරමින් එම පිරිසගේ පිළි්වෙල අනුගමනය කරනවා යනු බුදුරජාණන් වහන්සේ පිළිබදව සැකයක් පවතින බවයි. මඟුල්තුලා කළ යුතු පිළිවෙලක් තිබෙන බවට ප්‍රකාශ කරමින් අපට අනවශ්‍ය දුශ්සීල කාරණා හෙවත් අනාචාරවත් දේ එයට එකතු කරනු ලබයි. දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහළ තත්වයකට රැගෙන යාමට කටයුතු කරන අවස්ථා තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිසිවක් පිළිබඳව තැකීමක් නොකරයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය විශ්වාස නොකරනවා යනු බුදුරජාණන් වහන්සේම විශ්වාස නොකිරීමයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේද,යමෙක් මගේ ධර්ම මාර්ගය දකීද, හෙතෙම බුදුන් දකී. යන්නයි.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව නොමැති නම්, ධර්මය පිළිබඳවද ශ්‍රද්ධාව නොමැති වෙයි. සද්ධර්ම මාර්ගය පිළිබඳව ශ්‍රද්ධාව නොමැති නම්,බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප තුළ විශ්වාසයක් නොැමැති බවයි. බුද්ධාදී තුනුරුවන් පිළිබඳ සැකය හෙවත් විචිකිච්චාව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට තිබෙන තුන්වන බාධාවයි.

ශාස්තෘවරයා පිළිබඳ පවතින සැකය හතරවන ආවරණයයි. ධර්ම දේශනයකදී දේශකයා පිළිබඳව යම් සැකයක් පැමිණියහොත් දේශකයාගේ අවබෝධය, ගුණ නුවණ, පිළිබඳව සැක නම් එම දේශනාව කෙතරම් ශ්‍රවණය කරනු ලැබුවත් එයින් ඵලක් නොවෙයි.දේශකයා පිළිබඳව ශ්‍රද්ධාව තිබිය යුත්තේ චාරිත්‍ර වශයෙන් නොව එම දේශකයා ධර්ම මාර්ගය පැහැදිලි කිරීමට සුදුසු එය අවබෝධකරගත් ගුරුවරයෙකු යන හැඟීමෙන් ඇහුන්කම් දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන්නාවූ චෛතසිකයන් ගොඩනැගෙන්නේද එම අවස්ථාව තුළයි. ශ්‍රද්ධාවක් නොමැතිව ගුරුවරයෙකුගේ දේශනාවක් කෙතරම් ශ්‍රවණය කළ විට දැනුම ලැබුණත් අවබෝධවන්නේ නැත. මතක ශක්තිය අවබෝධය නොවන බව අවබෝධකර ගත යුතුය. ආනන්ද හාමුදුරුවන් වහන්සේ සතුව විශාල මතක ශක්තියක් පැවතුන අතර පළමු ධර්ම සංගායනාවේදී සම්පූර්ණ සූත්‍රපිටකය කට පාඩමින් සජ්ක්‍ධායනා කරනු ලැබුවා. මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ මිස ආනන්ද ස්වාමීන් වහන්සේ නොවෙයි. දැනුම සහ අවබෝධය වෙනම කාරණාවන් දෙකක් බව ඔබ අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඕනෑම ධර්ම කාරණාවක් පිළිබඳව කුමන අවස්ථාවක ප්‍රශ්න කළත් පිළිතුරු දීමේ ස්මරණ ශක්තිය ආනන්ද ස්වාමීන් වහන්සේ සතුව පැවතුණි.

දහම් මාර්ගයට බැස ගැනීමට කැමැති නොවීම ධර්මාවබෝධය සඳහා බලපානු ලබන ඊළඟ කාරණාව වෙයි. ධර්ම මාර්ගය පුහුණු වීම තුළ ප්‍රතිඵල ලැබිය හැකි බව දැන ගත්තද, පුහුණු වන පිරිස අඩුවෙයි. ථෙරවාදී බුදුදහම ආරක්ෂා කරගැනීම සඳහා දිවි හිමියෙන් කැපවුවද,එම ධර්මයෙන් ප්‍රයෝජන ලබාගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. ධර්ම මාර්ගය තුළ නිවැරැදිව ගමන් කළ හොත් ලෞකික ජීවිතයේ ලාබ ප්‍රයෝජන තුළින් ඉවත් වීමට සිදුවන නිසාම දහම් මඟට ඇතැමුන් එතරම් රැචියක් නොදක්වයි.කෙතරම් ධර්මය දැන සිටියත් එම මාර්ගයට ප්‍රවේශවීමට බියක් දක්වනු ලබයි. ලෞකික ජීවිතය තුළ අල්වා ගැනීමේ මාර්ගයත් ලෝකෝත්තර ජීවිතය තුළ අතහැරීමේ මාර්ගයත් පවතින නිසා අප කෙතරම් කාරණා දැන තිබුණද, ධර්ම මාර්ගයට ප්‍රවේශ වීමට කැමැත්තක් නොමැති නම්, ධර්මය පුහුණු කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.හමුවීමක් හෝ වෙන්වීමක් නොවන තත්වයට පැමිණීමට මනස දියුණු කළ යුතුයි. අවබෝධයෙන් ජීවත් වීමයි බණ ඇසීමයි අතර විශාල වෙනසක් පවතී. බණ අසන පිරිස වැඩි වුවද, එය අවබෝධකරගන්නා පිරිස අඩුවෙයි.

මන්දබුද්ධිකභාවය ධර්මාවබෝධයට තිබෙන විශාල බාධාවක් වන අතර එය එක්තරා ආකාරයක කර්ම විපාකයක් වෙයි. කෙතරම් ධර්මය ශ්‍රවණය කළද මන්දබුද්ධිකව ඉපදිලා ඇත්නම්, කළයුත්ත නොකළයුත්ත නොවැටහෙයි නම්,ධර්මය අවබෝධ නොවෙයි. මන්ධබුද්ධික බව යමෙකුට ධර්මාවබෝධයට තිබෙන බාධාවක් වෙයි. කෙලෙස් නිසා පවතින බාධාවන් බොහෝ පිරිසකට ධර්මාවබෝධවීමට බාධාවක් වෙයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් උඳුවප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.