Print this Article


බුදුපිළිමයේ උපත - 47: පුරාණ භාරතයේ මථුරා බුදුපිළිම සම්ප්‍රදාය

බුදුපිළිමයේ උපත - 47:

පුරාණ භාරතයේ මථුරා බුදුපිළිම සම්ප්‍රදාය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුපිළිමයේ උපත ගැන සඳහන් කරනවිට ගන්ධාර කලාව වයඹ දිග ඉන්දියාවේ ගන්ධාර දේශය මුල්කරගෙන මෙම බුදුපිළිම කලාව වර්ධනය වූ බව ඉතිහාසඥයින් , පුරාවිද්‍යාඥයින් හා කලා විශේෂඥයින් සඳහන් කරන කරුණකි. ගන්ධාර බුදුපිළිම කලාව ඉන්දු ගී‍්‍රක කලාව ලෙසින්ද සඳහන් කරනු ලැබේ.

ඊට හේතුව ගන්ධාරයේ මෙම බුදුපිළිම නිර්මාණය දේශීය වශයෙන් වර්ධනය වූවක් නොව ගී‍්‍රක ප්‍රතිමාවල බලපෑම ඒ සඳහා තිබීමයි. ගන්ධාර යුගයේ ඉදි කළ බුදුපිළිම මේනිසා ගී‍්‍රක මනසින් හා ඉන්දියානු හෘදයෙන් නිර්මාණය කළ කලාවක් ලෙසින් සැළකේ. කණිෂ්ක රාජ යුගයේදි බෞද්ධ කලාව මූලස්ථාන දෙකක වර්ධනය වූ බව ප්‍රකට කලා විචාරකයෙකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි. එම මධ්‍යස්ථාන දෙක ගන්ධාර සහ මථුරාය. ගන්ධාරය පිහිටියේ මෙකල පකිස්ථානයේය. මථුරා බෞද්ධ කලාව වර්ධනය වූ එම මූලස්ථානය පිහිටියේ ගංගා, යමුනා ආශි‍්‍රතව (නූතන ඉන්දියාවේ) ය.

ගන්ධාර බුදුපිළිම කලාව සඳහා එකල කලා ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ ගී‍්‍රක කලාවය. එම කලාව අනුව ගී‍්‍රක දෙවියකු වූ ඇපොළෝ දෙවියාගේ ටෝගාව නම් ඇඳුමට සමාන ලෙස ගන්ධාර බුදුපිළිමවල සිවුර නිර්මාණය කර ඇත.

ගී‍්‍රක සූර්ය දෙවියන්ගේ ශීර්ෂය නිර්මාණය කර ඇති අන්දමට ගන්ධාර බුදු පිළිම කලාවේ බුදුපිළිම නිර්මාණය කරනු දක්නට ලැබේ. මේ සඳහා දක්නට ලැබෙන ඉතා කදිම නිදසුන පේෂවාර් නගරය අසල ඇති හෝවිමන්දාර් නම් ස්ථානයෙන් හමුවූ බුදු පිළිමයයි. මෙහි බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන දිගු කන් සහ ඌර්ණරෝමය පමණක් නිරූපිතය.

මෙසේ ගන්ධාර බුදුපිළිම කලාවේ විදේශීය (බටහිර) ලක්ෂණ අඩුවී දේශීය (ඉන්දියානු) ලක්ෂණ වැඩිපුර පිළිබිඹු වන්නට පටන් ගත් බුදුපිළිම නිර්මාණය වීම දැකිය හැකිය.මේ සඳහා ඉතා සුදුසු උදාහරණය මෙකල ඇෆ්ගනිස්ථානයේ බෙග්‍රම් පිහිටි යමක ප්‍රාතිහාර්යය නිරූපිත බුදු පිළිමයයි. එහි ගී‍්‍රක මුහුණු නැත. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ නිර්මාණය කිරීම මථුරා බුදු පිළිම කලාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.මේ නිසා මථුරා බුදුපිළිම කලාව ඉන්දියානු හෙවත් දේශීය ලක්ෂණ හෙළිකරන බුදුපිළිම කලාවක් ලෙසින් විචාරකයින් විසින් හඳුන්වනු ලැබේ.

මේ අනුව පළමුව බුදුපිළිමය නිර්මාණය වූයේ ගන්ධාරයේ නොව මථුරා හි යැයි සමහරු සඳහන් කරති. බුදුරජාණන් වහන්සේගේ රූපකාය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඊට අනුරූප වන පරිදි මථුරා බුදුපිළිමවල ප්‍රතිමා ලක්ෂණවලින් දැකිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ ද මථුරා බුදුපිළිම කලාවේ දක්නට ලැබෙන බව ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි.

මථුරා බුදුපිළිම නිර්මාණයේ කදිම උදාහරණයක් ලෙසින් කත්‍රා ප්‍රදේශයෙන් හමුවු බුදුපිළිමය දැක්විය හැකිය. මෙය දර්ශනීය ආකාරයට නිර්මාණය කර ඇති අතර සිරස්පත සහ ඌර්ණරෝම ධාතුව නිරූපණය කර ඇත. එසේම පද්මාසනය දේශීය වශයෙන් නිර්මාණය කර ඇත. මේ ප්‍රතිමාවෙන් දේශීය බුද්ධ ප්‍රතිමා නිර්මාණ සම්ප්‍රදාය ක්‍රමයෙන් පූර්ණත්වයට පත් වූ බව දක්නට ලැබේ.මෙම ප්‍රතිමාවේ හිස වටා නෙළුම් පෙති රාමුවකින් සරසන ලද ක්‍රමවත් රශ්මි වළල්ලක් දක්නට ලැබේ. ප්‍රසන්නවූ බුදුපිළිම යේ මුහුණ සිනාරැල්ලක් ද නිරූපිතය. උභයාංශ සහ ඒකාංශ චීවර පාරුපන ක්‍රම මථූරා බුදු පිළිමවල දක්නට ලැබේ. එමෙන්ම සිවුර තුනී වස්ත්‍රයක් සේ ශෛලිගත රැළි සහිතව දක්වමින් එය සිරුරට ඇලෙන පරිදි පෙන්වා ඒ තුළින් සිරුරෙහි ජ්වලිත බව ඉස්මතු කිරීමට කලා ශිල්පියා උත්සාහ දරා ඇත. එමෙන්ම මථුරා කලාකරුවා ගන්ධාරයේ බලපෑම්වලට හසුවී තිබෙන බව ශීර්ෂය සහ සිවුර නිරූපණය කිරීමේ ක්‍රමයෙන් පැහැදිලි වේ.

මේ අනුව මථුරාවේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවේ දේශීය ශෛලිය සහ කලා ලක්ෂණ ප්‍රකට කරන ඉන්දියානු රූප ආදර්ශ කොටගත් ගන්ධාර ප්‍රතිමාවේ යම් යම් ලක්ෂණද ස්වල්ප වශයෙන් සංකලනය වූ සම්ප්‍රදායක් බව හැඳින්විය හැකිය. එමෙන්ම මෙම අධ්‍යාත්මික ලක්ෂණද මූර්තිමත් කිරීමට කලා ශිල්පියා උත්සාහ කර ඇත.

බුද්ධ ප්‍රතිමා මානව රූපාකාරයෙන් දැක්වීමේදී ගන්ධාර සහ මථුරා යන ස්ථාන දෙක ප්‍රමුඛ වු බව ඉහත සඳහන් කරුණු අනුව පැහැදිලි වේ. මේ ආකාරයට බුද්ධ ප්‍රතිමාව මානව රූපාකාරයෙන් නිර්මාණය වීම පිළිබඳ විවිධ විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇත.


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 46: මහා බෝධි ආගමනය