Print this Article


දහ දුක් විඳින්නකු වන්නේ ඇයි

දහ දුක් විඳින්නකු වන්නේ ඇයි

“දහ දුක් විඳී” යන්න අප ජීවත්වන මේ සමාජයේ ඇතැම්දෙනා විසින් නිතර නිතර තම එදිනෙදා කතාබහේ දී භාවිතා කරන කරුණකි. එම තත්ත්වය එක් ගමකට, ප්‍රදේශයකට හෝ පළාතකට පමණක් සීමා නොවී බාල, තරුණ හා වැඩිමහල් ඇතැම් අය විවිධ අවස්ථාවලදී භාවිත කරයි. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක ජලය හිඟ, කුස ගින්නට ආහාරයක් නොමැති, හිසට සෙවණක් නැති මිනිසුන් අපමණයැයි සිතමු.

“අපි පුදුම දහදුකක් විඳින්නේ යැයි” කියනා අය මාධ්‍ය ඔස්සේ මෙන්ම ජන සමාජයේ දී අපට අසන්නට, දකින්නට ලැබේ. එමෙන් ම “දහදුක් විඳලා හදාගත්ත දරුවෝ”, “දහදුක් විඳලා ගොඩ ආවේ” යනුවෙන් ද ජන සමාජයේ භාවිත කරයි. මෙය හුදෙක් පුද්ගලයකු දැඩි ලෙස කායික හා මානසික වශයෙන් පීඩාවන්ට ලක්වන විට හදවතින් ම නැගෙන ශෝකී ස්වරයකි.

විඳවනවා යැයි කියන්නේ නිතර නිතර දුක්වේදනාවන්වලට වදවේදනාවන්වලට ලක්වන නිසාවෙනි. අප ජීවත්වන සමාජයේ බොහෝ දෙනෙකු දහදුක් යන්න අර්ථ දක්වනුයේ අඹු-සැමි ගැටුම්, මුදල් අඟහිගකම්, දූ දරු ප්‍රශ්න, මත්පැන්, මත්ද්‍රව්‍ය ප්‍රශ්න නිසා පවුල් ඒකක තුළින් සමාජයේ ගොඩ නැගෙන ප්‍රශ්න හා ගැටලුය. බුදු දහමේ ඉගැන්වෙන දසදුක් පිළිබඳව බොහෝ කෙනෙකු නොදනී. අප ජන සමාජයේ ව්‍යවහාරයට පැමිණ ඇති “දහදුක” යන වචනය පැමිණියේ ද බුදු දහමේ ආභාසයෙනි. මෙය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවකි. එබැවින් අප බොහෝ දෙනෙකු කෙතරම් වද වේදනාවන්ට ලක්වූව ද ලොවෙහි කොතරම් දුක් කරදර පැවතිය ද අප කිසිදු මොහොතක එය සියක් දුක් හෝ දහස් දුක් වශයෙන් නොකියයි. දහදුක් යන වචනයම භාවිතා කරයි.

තථාගත බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ

“යො දණ්ඩෙන අදණ්ඩෙසු
අප්පදුට්ඨෙසු දුස්සති
දසන්න මඤ්ඤතරං ඨානං
බිප්පමෙව නිගච්ඡති”
යනුවෙන් දණ්ඩ වග්ගයෙහි දේශනා කොට ඇත.

යමෙක් අනුන්ට හිංසා නොකරන්නා වූ, අනුන්ට විපත් නොපමුණුවන්නා වූ පුද්ගලයන්ට, යම් නපුරක්, ද්වේෂ සහගත ක්‍රියාවක්, අපරාධයක්, හිංසාවක් කරන්නේ ද එම පුද්ගලයාට භවයක් පාසා තමා කරගත් අකුසලය හේතුවෙන් දසදුක් හෙවත් දස ආකාර වූ දුක්ඛයන්ට ද මුහුණ පෑමට සිදුවන බවයි. මෙය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මුගලන් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අරභයාය.

මුගලන් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම අසා බොහෝ දෙනා කම්පාවට පත්වූහ. ශෝක වූහ. වැළපුණහ. එම අවස්ථාවේ දී අප තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිළි කර දේශනා කරනුයේ, මුගලන් මහරහතන් වහන්සේ සොරුන් කණ්ඩායමක් අතින් මෙලෙස පහර කෑමට ලක්ව මේ ආකාරයට පිරිනිවන් පෑවේ උන්වහන්සේ සසරේදී පෙර කළ අකුසල කර්මයක් එනම් පූර්ව කර්මයක ඵල විපාකයක් ලෙසින් බවයි.

පෙර ආත්ම භවයක දී තම මවුපියන්ට හිංසා පීඩාදිය කොට ඔවුන් මරා දැමීම නිසා අනන්ත සසර භවය තුළ දුක්විඳ උතුම් රහත් භාවයට පත්වූව ද තමා කළ පාප කර්මයෙන් මිදීමට හැකියාවක් නොමැති විය. මුගලන් මහ රහතන් වහන්සේට පවා තථාගතයන් වහන්සේ දේශනා කළ එම දසදුක්වලින් එක් දස දුකකට මුහුණ පෑමට සිදු වූ බවයි. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දස වැදෑරුම් වූ දුක්ඛයන් එනම් දහදුක් නම්,

වෙදනං ඵරුසං ජානිං
සරීරස්ස ච භෙදනං
ගරුකං වාපි ආබාධං
චිත්තක්ඛෙපං ච පාපුණෙ
රාජතො වා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං
භොගානං ව පභඬගුරං
අථ වස්ස අගාරානි
අග්ගී ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤො
නිරයං සො පපජ්ජති

වෙදනං ඵරුසං - දැඩි වද වේදනාවන්වලට මුහුණ දීමට සිදුවේ. එනම්, තදබල හිසේ, දණහිස්, කොන්දෙ අමාරුකම් හා අත් පාවල ඉවසිය නොහැකි ලෙස කැක්කුම් දීම ආදිය වේදනාවන්ට ලක්වේ. කෙතරම් ප්‍රතිකාර ගත්ත ද සුවයක් නොවේ. නිතරම වේදනාවෙන්, හැඬීමෙන්, කඳුළු සැලීමෙන් ජීවත්වීමට සිදුවීම පෙර කළ අකුසලයක ප්‍රතිඵලයකි.

ජානිං - හානිය, විනාශය යනු මෙහි අරුතයි. සතුරු උවදුරු, ස්වභාවික විපත් එනම් නායයෑම්, ගංවතුර ආදියෙන් බොහෝ දෙනෙකුගේ ගෙවල් - දොරවල්, යානවාහන, ඉඩකඩම්, දූ දරුවෝ පවා විනාශයට පත් වී යනවා අප දැක ඇත.

සරීස්ස ච භේදනං - එදිනෙදා සමාජයේ දී ඇතිවන ගැටුම්, කෝලාහල, අඬදබර, හදිසි අනතුරු, ආදියෙන් සදාකාලික කිසිවක් කර ගැනීමට නොහැකි ලෙස එක්තැන් වීම, අබ්බගාත වීම, අත්පා වෙන්වීම, කොඳුුඇට, හිස්කබල ආදියට අනතුරු සිදුවීම තුළ විවිධ දුක්ඛයන්වලට පත් වේ. මෙසේ කිසිඳු පිළිසරණක් නොමැතිව ඉතාම දුක්ඛිත ජීවිත ගත කරනුයේ පෙර කරන ලද අකුසලයක ප්‍රතිඵලයකිනි.

ගරුකං වාපි ආබාධං - සුව කළ නොහැකි අසනීපවලට භාජනය වීම එනම් දද, කුෂ්ඨ, පිළිකා ආදිය පුද්ගලයන්ට වැළදීම නිසා පුදුමාකාර දුක්වලට පත්වේ. එමෙන් ම වත්මන් ඒඩ්ස්, ලියුකේමියා, තැලසීමියා ආදී රෝගයන්ට භාජනය වීම තුළ කෙතරම් නම් දුකකට වේදනාවකට අපහසුතාවයකට පත් වන්නේ ද මෙලෙස සුව කළ නොහැකි දරුණු ලෙඩ රෝග වැළඳීමෙන් ඔවුන්ට ඔවුන්ගේ මූලික කටයුතු පවා කරගෙන යාමට නොහැකිවීම. දුර්ලභ මිනිසත් බවක් ලැබූව ද නීරෝගී සුවයක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ පෙර කරන ලද අකුසල කර්ම නිසාවෙනි.

චිත්තක් කේඛපං ච පාපුණෙ – රූපයෙන්, ධනයෙන්, බලයෙන් විරාජමානව ජීවත්වන ඇතැම් අය මානසික රෝග සිහි විකල් ගතිය, උමතු ගතිය, ආදියට පත්වේ. ඒ හේතුවෙන් විවිධාකාර ගැරහුම්වලට මෙන් ම පීඩාවන්ට පත්වේ. ඒ පෙර සසරේ කරන ලද අකුසලයක ප්‍රතිඵලයකි.

රාජතෝවා උපස්සග්ගං - රජවරු, මැති ඇමතිවරු, සේනාධිනායකයින් රටක සමාජයක ඇතැම් ඉහළ තනතුරු දරන උදවිය එම තනතුරුවලින් නොසිතූ ලෙසින් පහ කිරීම, ඇතැම් අයට රැකියා ස්ථාන අහිමි වී යාම, තමාට හිමිකම් ඇති දෑ අහිමි වී යාම ඉවසිය නොහැකි දුකකි. තථාගතයන් වහන්සේ මෙය දේශනා කළේ පෙර කළ අකුසලයක ප්‍රතිඵලයක් ලෙසිනි.

අබ්භක්ඛානංව දාරුණං - අභූත චෝදනාවලට ලක්වීම, අප නොකළ. නොදුටු දේවලට අපට වැරදිකාරයන්වීමට සිදුවේ. චෝදනා විඳීමට හිරේ විලංගුවේ වැටීමට වන්දි ගෙවීමට එමෙන්ම දූෂණ චෝදනා, මූල්‍ය අක්‍රමිකතා ආදිය තමා නොකළ වැරදිවලට චෝදනා විඳීමට සිදුවනවා පමණක් නොව එයින් තම පවුලට, ගමට, රටට මුහුණදීමට නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත් වේ.

පරික්ඛයං ව ඤාතිනං - අපට මේ සමාජයේ දී දක්නට ලැබෙන අනුවේදනීය අවස්ථාවක් ලෙස ඇතැම් උදවියට මේ මගේ අම්මා, තාත්තා, අයියා, ඥාතියා යන ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීමට පවා කිසිවකු නොමැති විට, එනම් පුද්ගලයෙකුට දෙමවුපියන්, ඥාතීන් නැතිව ජීවත්වීම වනාහි දුකකි. සමහර අයට කොපමණ ඥාතීන් හිටිය ද, තම නිවසක විශේෂිත අවස්ථාවක දී කිසිම ඥාතියෙකු පැමිණෙන්නේ නැත. හුදකලා වී ජීවත්වීමට සිදුවේ. මෙලෙස දෙමවුපියන්, ඥාතී හිත මිත්‍රාදීන්, ගෙන් කිසිඳු පිහිටක් නොමැතිව හුදකලාවේ ජීවත්වීමට සිදුවීම ද අප පෙර කල අකුසලයක ඵල විපාකයකි.

භොගානංව පභංගුරුං - දුක් මහන්සියෙක් දිවා රාත්‍රී නොබලා, රටට ණය වී කරන විවිධ කර්මාන්ත, කෙත්වතු, භෝග ආදිය ඇස් ඉදිරිපිට විනාශ වී යාම, එම අස්වැන්න විකුණා ගත නොහැකි පුද්ගලයෙකු වීම, කෙතරම් නම් මානසික පීඩාවක් ගෙන දේද. කෘමි, සිව්පා යන සතුන්ගෙන් ආරක්ෂා කොට ගෙන අධික මිලට එම බීජ ලබාගෙන එම භෝගයන් විනාශවීම මෙන් ම එය විකුණා ගත නොහැකි වීමෙන් කොපමණ නම් බෝග විනාශ කරන්නේ ද එම නිසා සමහර වේලාවට එම ගොවියෝ වස පවා පානය කරයි. මෙලෙස තම බෝගයන් විනාශ වීම මෙන් ම විකුණාගත නොහැකිවීම තථාගතයන් වහන්සේ දේශනා කළ අනෙක් දහදුකයි.

අථවස්ස අගාරානි අග්ගීඩහති පාවකො - ඇතැම් අවස්ථාවල ගින්දර, යුධ උපකරණ, රථ වාහන, අකුණු, විදුලි දෝෂ, ගුවන් ලැව්ගිනි, ගිනිකඳු පිපිරීම් යන අනතුරු ආදිය නිසාවෙන් ලෝකය තුළ සිදුවන මිනිස් ජීවිත හානිය මෙන් ම භෞතික වශයෙන් වන හානිය, විනාශය පිළිබඳව සිතා ගැනීමටවත් නොහැකිය. මෙවැනි අනතුරු නිසා නැතිවන මිනිස් ජීවිත, භෞතික සම්පත් සෑම දෙයක් ම අපට අහිමි වන්නේ අප පෙර කරනා ලද අකුසල් කර්මයක ප්‍රතිඵලයක් ලෙසයි තථාගතයන් වහන්සේ වදාළේ. ඇතැම් විට ඇතැම් අයට තම ඇඳිවත පමණක් ඉතිරිවේ. මෙය ද දහදුක් අතර එකකි.

මේ ආකාරයට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දහදුක් විඳීම පිළිබඳව දේශනා කොට ඇත. මේ අනුව පසුකාලීනව අපේ ජන ව්‍යාහාරයට හුදෙක් දුක් විඳිනා යන අර්ථයෙන් පමණක් දහදුක් පිළිබඳව භාවිතා කළ ද දසදුක් මොනවාදැයි දැන සිටියේ නැත. එබැවින් දසදුක් එදිනෙදා ජීවත් වන අපට පවා මුහුණදීමට සිදු වේ. එබැවින් අප කල්පනා කළ යුතු වන්නේ තම තමා පෙර සංසාරයේ කරගත් අකුසලයක ප්‍රතිවිපාකය බව දැන උපරිම උත්සාහයෙන් යුක්තව අටලෝ දහමට මුහුණ දී, නැවත නැවත අකුසල් සිදු නොකොට, තමා පමණක් නොව අන් අය ද යහපත් මාර්ගයේ යෑමට යහපත අවබෝධ කොට දී මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.