Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන වල්පොළ ගුණරතන නා හිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන

වල්පොළ ගුණරතන නා හිමි

ගාලු පළාතේ වල්පොළ ගම්මානයේ නුවර යුගයට නෑකම් කියන පෞරාණික විහාරස්ථානයක් වනුයේ වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරයයි. එහි වර්තමාන අධිපති ගෞරව ශාස්ත්‍රවේදී ,ත්‍රිපිටකවේදී වල්පොළ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පුදනු ලැබූහ.

මාගොඩ ගමගේ ආරියදාස , හෙට්ටිගොඩ ගමගේ ගුණවතී යන මව්පියන්ට දාව 1977 මැයි මස 10 වන දින උපත ලැබූ පින්වත් කුමරුවන් ගා/හරිඹුරාව කණිෂ්ඨ විද්‍යාලයෙන් හා ගා/බටේමුල්ල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වල්පොළ ශී‍්‍ර ගෞතමාරාම පුරාණ මහා විහාරාධිපති වල්පොළ විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශිෂ්‍යරත්නයක් ලෙස 1989 ජුනි මස 24 වන දින සසුන්කෙතට ඇතුලත් විය.

දික්කුඹුර තිරිවාන කැටිය සුධර්මෝදය පිරිවෙන, අහංගම විද්‍යා චන්ද්‍ර පිරිවෙන, ගාල්ල කුඹල්වැල්ල රේවත විද්‍යායතන පිරිවෙන යන පිරිවෙන්වලින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා තත් විශ්ව විද්‍යාලයේ 2003-2004 ශිෂ්‍ය කණ්ඩායමේ සිංහල විෂයෙහි ප්‍රමුඛයා ලෙස අනුස්මරණ ත්‍යාගයද හිමි කරගන්නට සමත් විය. උගත මනා බණ දහම් ඉගෙන විසි වයස් සම්පූර්ණව 1997 ජුනි 16 වන දින උපසම්පදා විය.

2006 දී උඩුමලගල ආදිච්චවංස පිරිවෙනේ පරිවේනාචාර්ය ධුරයට පත්ව වර්තමානයේ නියෝජ්‍ය පරිවේනාධිපති ලෙසත්, යක්කලමුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ ලෙසත්, යක්කලමුල්ල සමථමූල මණ්ඩලයේ සභික හිමිනමක් ලෙසත් ක්‍රියාකරනු ලබයි.

1990 සිට වල්පොළ ශී‍්‍ර දේවානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස උන්වහන්සේ දහම් පාසලේ අභිවෘද්ධියට අපමණ මෙහෙයක් කරනු ලබති. සිසු දරු දැරියන් 650 දෙනෙකු දහම් අධ්‍යාපනය හදාරන අතර පසුගිය වසර 11 තුළම අඛණ්ඩව බලමණ්ඩල ශූරතාව හිමිකර ගෙන සිසු නිපුණතා තරඟයෙන් ජයග්‍රහණය හිමිකර ගනිමින් දිස්ත්‍රික් සමස්ත ලංකා දක්වා දරුවන් යොමු කරවමින් ළමා කුසලතා සංවර්ධනය පිණිස විශාල මඟ පෙන්වීමක්ද කරනු ලබති.

ගුණරතන නාහිමියෝ මධුර ස්වරභාණී පිරිත් දේශක හිමිනමක් ලෙසත් විචිත්‍ර ධර්ම දේශක හිමිනමක් ලෙසත්, කාව්‍යමය ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසත්, ප්‍රදේශයේ පාසල් අතර මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි මවුපිය ගුණසම්භාවනා වැඩසටහන් පවත්වන සුමිහිරි දේශක හිමිනමක් ලෙසත් ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනාවට ලක්වෙමින් වැඩ සිටිති.

ගාලු දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරි පරිවේනාධිපති සංගමයේ සංවිධානයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මූලික පිරිවෙන් අවසාන, ප්‍රාචීන විභාග සම්මන්ත්‍රණවල සිංහල විෂයය පිළිබද ප්‍රධාන දේශක හිමිනමක් ලෙස ගිහි පැවිදි සිසු දරුවන්ගේ සිත් දිනාගත් දක්ෂ ගුරු හිමි නමකි.

විහාරාධිපති පදවියට පත්වීමෙන් පසු ගෞරව ශාස්ත්‍රවේදි වල්පොළ සිරිරතන හිමියන් ඇතුළු ශිෂ්‍ය හිමිවරු දහනමක් සසුන් කෙතට තිළිණ කර ඇති අතර වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ මහා විහාරස්ථානයේ දර්ශනීය ධාතු මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාසය ,බෝධි ප්‍රාකාරය අටවිසි බුද්ධ මන්දිරය, වාහල්කඩ,පොකුණු, මං මාවත්, ප්‍රාකාර දර්ශනීය රමණීය පින් බිමක් ලෙස ගොඩනැගිණි.

විහාරස්ථ දායක සභාව වල්පොළ සණස සමිතිය, තරුණ බෞද්ධ සංගමය, හැවන, රතුවිල විශ්ව මිතුරු සංසදය, යෞවන සමාජය, ක්‍රීඩා සමාජය, ඉටුමිතුරු පදනම ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානවල අනුශාසක ධුරය දරනු ලබයි.

උන්වහන්සේගේ ලෝක ශාසනික සේවාව අගය කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් "සද්ධර්ම කීර්ති ශ්‍රී විජිත" යන ගෞරව නාමය සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට පසුගියදා පත් කරලන්නට විය.

ඒ වෙනුවෙන් ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය දෙසැම්බර් 17 දින පස්වරු 3.00 ට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේදි සිදුවන අතර දෙසැම්බර් 19 දින පස්වරු 3.00 ට අභිනව නාහිමියන් වෙනුවෙන් පැවැත්වෙන උපහාර උළෙල ඉමදූව, වල්පොළ ශ්‍රී ගෞතමාරාම විහාරස්ථානය තුළදී පැවැත්වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී විජිතාභිධාන වල්පොළ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට ලෝක ශාසනික සේවය සිදුකරලන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා.