Print this Article


චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීම සඳහා බලපානු ලබන දුෂ්කරතා කුමක්ද? යන්න පිළිබඳව අවබෝධකර ගත යුතුයි. දුෂ්කරතා හඳුනාගැනීම තුළ එම අවබෝධය කරා ප්‍රමාදයෙන් තොරව ගමන් කිරීමේ හැකියාව ලැබෙයි. සංයුක්ත නිකායෙහි අන්තර්ගතව ඇති ආවරණ නම් සූත්‍රය තුළ අපට අවබෝධය කරා යාමට තිබෙන ගමන ආවරණය කරන කරුණු හයක් පවතින බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

සමහර කර්ම අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අහිමිකර දමයි. උදාහරණයක් ලෙස සංසාරය තුළ ගමන් කරන ගමනේදී කවදා හෝ දවසක ආනන්තරීය පාපකර්මයක් සිදුකොට තිබෙනවා නම්, හෝ සිදුකළ හොත් එම ආනන්තරීය පාපකර්මවල ස්වභාවයට අනුව කිසිඳු ඉඩහසරක් නොමැතිව අඛණ්ඩව විපාක දෙනු ලබයි. අතොරක් නොමැතිව එහි ආදීනවයන් වරින් වර අපට ලැබෙයි.අතොරක් නොමැතිව කර්මයක් ප්‍රතිවිපාක දෙන විට අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අප තුළින් ගිලිහී යාමට තිබෙන අවකාශය වැඩි වෙයි.

පංචානන්තරිය පාපකර්ම

පංචානන්තරිය පාපකර්ම වන බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම,රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම,මව ඝාතනය කිරීම,පියා ඝාතනය කිරීම සහ සංඝයා භේද කිරීම වෙයි. මෙම පාපකර්ම පහ කෙතරම් ප්‍රබල වනවාද නම් මෙම කර්ම සිදුකළ විට අවීචිය ලෝකුඹු නිරය වැනි දුගති තුළ කල්ප ගණන් ගත කිරීමට සිදුවෙයි.දේවදත්ත හිමියන් මෙහි ඇතුළත් පාපකර්ම දෙකක් සිදුකරනු ලැබ ඇති අතර බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි ලේ සෙලවීම,සහ සංඝ බේදයයි. දේවදත්ත පෙරලන ලද ගල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි වැදී ලේ ගලාගෙන යන ස්වභාවයක් විත්‍ර තුළින් ඇඳ පෙන්නුවද,බුදුවරයෙකු හෝ සක්විති රජෙකු යන දෙදෙනාම පුණ්‍ය ශක්තිය බලවත් උත්තමයන් නිසාම ලේ එලියට ගැනීමට කිසිවෙකුටවත් හැකියාවක් නැත.දේවදත්ත හාමුදුරුවන් පෙරලූ ගලෙහි පතුරක් සිරිපතුල තුළ වැදීමෙන් අභ්‍යන්තරික ලේ ගැලීමක් සිදු වූවා පමණක් මිස ලේ පිටතට ගලායාමක් සිදු විී නැත.

පුණ්‍ය ශක්තිය

බුදුරජාණන් වහන්සේට නමස්කාර කර අවසර ලබාගත් ජීවක වෛද්‍යතුමා ප්‍රතිකාර කරනු ලැබුවා. ලේ සෙලෙව්වා යනු ලේ පිටතට ගත්තා නොෙවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ලේ පිටතට ගැනීමේ හැකියාවක් කිසිවෙකුටවත් නැහැ. කිසිදු සතුරෙකුටවත් බුද්ධ ශරීරයට හිරිහැර කිරීමේ හැකියාවක් නැත.සක්විති රජෙකු වුවද ප්‍රබල පින් කර තිබෙන උත්තමයෙකු නිසාම කායික වශයෙන් ලේ පිටතට ගැනීමේ හැකියාවක් නැත.කෙසේ හෝ දේවදත්ත හාමුදුරුවන් එම ආනන්තරීය පාපකර්මය කළ අතර සංඝයා වහන්සේලාද භේද කරනු ලැබු අතර එකට සිටි සංඝයා වහන්සේලා පළමු කොටම දෙකඩ කරනු ලැබුවේද දේවදත්ත ස්වාමීන් වහන්සේයි.බරපතල පාපකර්ම සිදු කළ දේවදත්ත හිමියන් කල්ප සියයකට අවීචිය තුළ ඉපදුන නිසාම මේ වන විටත් අවීචිය තුළ දුක් විඳිමින් සිටී. කල්පයක් යනු දින මාස සති අවුරුදු වශයෙන් ගණනය කළ හැකි කාලපරිච්ඡේදයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳව දේශනා කොට ඇත්තේද උපමා භාවිතය තුළයි. අවුරුදු සියයකට වඩා සිනිඳු රෙදි කඩකින් විශාල ගල් පර්වතයක් පිසිනු ලැබුවද, එය ගෙවී අවසන් නොවන්නා සේ ද, අබඇට තුළින් සාදන ලද විශාල පර්වතයක එකින් එක අබඇට ප්‍රමාණය ඉවත්කර වෙනත් ස්ථානයක ගොඩගසනු ලැබුව ද, කල්පය අවසන් නොවන බවට දේශනා කර ඇත.බුදුරජාණන් වහන්සේ කල්පය පිළිබඳ ව උපමා තුළින් පමණක් දේශනා කරනු ලැබුෙවිද, සාමාන්‍ය මනුෂ්‍යයාගේ ඤාණයට කල්පය සඳහා තිබෙන කාල පරිච්ඡේදය ගණන් කරගැනීම අපහසු නිසයි.එවැනි කර්ම තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට තිිබෙන අවස්ථාව ආවරණය කර ගත හැකි වෙයි. බුදුසසුන තිබුණත් සද්ධර්මය තිබුණත් අවීචියෙහි සිටින සත්ත්වයන්ට සද්ධර්මය අවබෝධවීමක් සිදුවන්නේ නැත.අඛණ්ඩව ප්‍රතිවිපාක දීම තුළ කුඩා කාලයක් හෝ සද්ධර්මය ශ්‍රවනය සඳහා අවකාශයක් නොලැබෙයි. පුණ්‍ය ශක්තිය නොමැති නම්, අවබෝධය කරා යාමට අවස්ථාව නොලැබෙයි. කොසොල් රජු පුද්ගලයෙකු වශයෙන් යහපත් රජෙකු වුවද, බුදුරජාණන් වහන්සේ සමීපව ඇසුරු කරනු ලැබුවත් මාර්ගඵලයක් හෝ ලබාගැනීමට නොහැකි වුවද, නගරය තුළ කැලිකසළ ඉවත් කළ සුනීතට රහත් වීමේ අවස්ථාව උදාවිය.පෙර කරන ලද කර්ම ශක්තිය කුමන ආකාරයෙන් උපකාර කරනවාද? ආවරණය කරනවාද? යන්න සඳහා නිවැරඳි විසඳුම් වෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයට සමීපම ස්ථානයෙහි සිටි චුන්දසූකරට එක බණ පදයක් තේරුම් ගැනීමේ හැකියාව ලැබුණේ නැත. බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා පිළිබඳව සිදුකරනු ලැබූ දේශනා කෙතරම් ප්‍රමාණයක් චුන්දසූකරට ඇසෙන්නට ඇතිද?පෙර කළ පුණ්‍ය ශක්තීන්ගෙන් උපකාරයක් නොලැබුණ නිසාම, ඔහුට පාණාතිපාතා රැකගැනීමට හැකිවුණේ නැත. අජාසත්ත රජු තම පියා මරණයට පත් කළාසේ යමිකිසි පුද්ගලයෙකු පංචානන්තරීය පාපකර්ම සිදුකර අවීචිය වැනි දුගතියක ඉපදී පියා මැරීමේ පාපකර්මය සද්ධර්මය අවබෝධයට බාධාවක් විය.

සමරහර කෙලෙස් නිසා යම් පුද්ගලයෙකුට අවබෝධය ලබාගැනීමට තිබෙන අවස්ථාව ගිලිහී යයි. නියත වශයෙන්ම මිථ්‍යා දෘෂ්ටිය වැළඳගෙන සිටින පුද්ගලයෙකුට මිථ්‍යා දෘෂ්ටිය නැමැති ක්ලේෂය නිසා අවබෝධයට ගමන් කිරීමට හැකිවන්නේ නැහැ.මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස නියත වශයෙන්ම එලඹ සිටින විට කෙතරම් සද්ධර්මය ශ්‍රවණය කළත් , ධර්ම මාර්ගයට ප්‍රවේශ වීමට සිතට ඉඩලබාදීමක් නැහැ. උපතින්ම බෞද්ධ ආගම තුළ ඉපදුන පුද්ගලයන්ටත් එවැනි මිථ්‍යා දෘෂ්ටි තිබිය හැකි අතර ,බෞද්ධ නොවන ආගම් තුළ ඉපදුන පුද්ගලයන්ටත් මිථ්‍යා දෘෂ්ටින් තුළ බැසගෙන සිටිය හැකිය. එවැනි දෘෂ්ටීන් සහිත පුද්ගලයන් ධර්ම මාර්ගය ට පිවිසීම සඳහා සිත හදාගැනීම සඳහා කෙතරම් වෙහෙස වුවද, එය සාර්ථක නොවෙයි. නියත වශයෙන්ම මිථ්‍යා දෘෂ්ටිය තුළ එල්බ ගෙන සිටින පුද්ගලයෙකුට සම්‍යයක් දෘෂ්ටිය පහළ වන්නේ නැත.

මිථ්‍යා දෘෂ්ටිය

බුදුන් නැත. ධර්මය නැත. මහා සංඝ රත්නය නැත. කර්මයෙහි පලවිපාක නැත. සතර අපාය නැත සදෙවි ලෝක නැත යනුවෙන් විවිධාකාරයේ මතවල එලඹී සිටින පුද්ගලයන් මේ ලෝකය තුළ නැතිවා නොවෙයි. එවැනි නියත මිථ්‍යා දෘෂ්ටිකයන්ට සද්ධර්මය අවබෝධ වීමට හැකියාවක් නැත.කෙතරම් ධරමය ශ්‍රවනය කරනු ලැබුවත්, ධර්මය කියවනු ලැබුවත් , ඔවුන්ගේ එම දෘෂ්ටිය විසින්ම එයිට වඩා වෙනත් ඇත්තක් ඇති බවට සිතයි.සියල්ල සදාකාලික බවට තිරණය කරන පුද්ගලයන්ට බුදු දහමේ සඳහන් වන අනිත්‍යතාව නොවැටහෙයි.සදාකාලික ආත්මයක් පිළිබඳ දෘෂ්ටියක් ඔහු තුළ පවතිනවා නම්,නොවෙනස් ආත්මයක් විශ්වාස කරන පුද්ගලයෙකු අනිත්‍යතාව වටහා ගන්නේ කෙසේද? අවබෝධය කරා ගමන් කිරීම අපහසු වෙයි. ආනන්තරිය පාපකර්ම තුළින් වළකිනවා සේම ,මිථ්‍යා දෘෂ්ටියෙන්ද, ඉවත් විමට ඔබට සිදුවෙයි. තුනුරුවන් පිළිබඳ විශ්වාසය ගොඩනඟා ගැනීමට නොහැකි වුවහොත් කර්මඵල විශ්වාසය ගොඩනඟා ගැනීමට නොහැකි වුවහොත් කෙතරම් ධර්මය ශ්‍රවණය කරනු ලැබුවත්, ධර්ම සාකච්ඡා කරනු ලැබුවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ අවස්ථාව නොලැබෙයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය

මිථ්‍යා දෘෂ්ටියකයන් බුදුරජාණන් වහන්සේ සමඟ කෙතරම් වාද විවාද පැවැත්වුද, පැමිණි සියලුදෙනාටම ධර්මාවබෝධය නොලැබුණි. නිවන් අවබෝධ වූයේද නැත. අඩුම වශයෙන් සෝතාපන්න තත්වයට පැමිණීමටවත් බොහෝ පිරිසක් අසමත් විය.ස්වල්ප පිරිසකට පමණක් අවබෝධය කරා ලඟා වීෙමි හැකියාව ලැබුණි. එම කාල වකවානුව තුළ භාරතයෙහි මිථ්‍යා දෘෂ්ටීන් විශාල ප්‍රමාණයක් තිබුණ අතර බුදුරජාණන් වහන්සේ පහළ වන අවධිය වන විට එවැනි මිථ්‍යා දෘෂ්ටීන් හැට දෙකක් පැවැති බව සාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි. ඔවුනට සද්ධර්මය කෙතරම් ශ්‍රවණය කිරීමට ලැබුණත් , ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණත්, ඔවුන් තුළ යහපත් දර්ශනයක් ඇතිකර ගැනීමට නොහැකි විණි. ඔවුන් දුක දුක ලෙස හඳුනාගත්තේ නැත. දුකට හේතුව තණ්හාව ලෙස හඳුනා ගත්තේ නැත.නිවන ශාක්සාත් වීමට නම් ,තණ්හාව ඉවත් කිරීමෙන් පමණක්ම සිදුවිය යුතු බව අවබෝධ වූයේ නැත. ආර්ය අෂ්්ටාංගික මාර්ගය හෙවත් මජ්ජිමා පටිපදා බව ඔවුන්ට අවබෝධ වූයේ නැත.

මෙම ලිපියෙහි තවත් කොටසක් (දෙසැම්බර් 21 වනදා) උඳුවප් අව අටවක පෝදා පත්‍රයේ පළ වේ.