Print this Article


සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම මහමෙවුනාව

සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම මහමෙවුනාව

මහමෙව්නා පින්බිම දෙවන පෑතිස් රජතුමා විසින් මායිම් සලකුණු කොට සඟසතු කරන ලදැයි මහා වංශයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහා පදුම සහ කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නගුල් දී සීසාමින් මායිම් ලකුණු කිරීම පටන්ගෙන ඇත්තේ කොලොම් ඔයේ (මල් වතු ඔය) ‘ගංගලතිත්ථ’ නම් වු තොටුපලෙන් බව මහාවංශය කියයි. එතැනින් පටන්ගත් මහමෙව්නාවේ මායිම් ලකුණු කිරීම අවසන් කර ඇත්තේද ගංගලතිත්ථ තොටුපලෙන්මය.

මහාවංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූ කලී මේ කල්පය තුළ පහළ වු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහා පින්බිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයන්ද මහමෙව්නා උයනේ පැවති බව එහි සඳහන්ය.

මිහිඳු මහරහතන් වහන්සේට මහමෙව්නාව පූජා කිරීමෙන් පසු, ඒ පින්බිම තුළ ස්ථාපනය කළ යුතු වූ පුණ්‍යස්ථාන අටක් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇත. එම පුණ්‍යස්ථාන අට මෙසේය.

මහා විහාරය පිහිටි ස්ථානය

සංඝ කර්ම කෙරෙන සඟසතු මාලකය පිහිටවිය යුතු තැන

ස්නානයට උණුපැන් ලබාගත හැකි ගිනිහල් පොකුණ පිහිටවිය යුතු තැන

ශී‍්‍ර මහා බෝධින් වහන්සේ වඩා හිඳුවිය යුතු තැන

සංඝයා වහන්සේ පොහොය කෙරෙන තැන

සඟ සතු දේ සංඝයා අතර බෙදා හරින තැන

චතුස් ශාලාව පිහිටවන තැන හා

ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් පිහිටවිය යුතු තැන වශයෙනි.

මේ අනුව ජයසිරිමා බෝධිය, ලෝවා මහා ප්‍රාසාදය, මිරිසවැටිය යන පුණ්‍ය ස්ථාන මහා විහාර සීමාව තුළ පිහිටි අතර, ථූපාරාමය ජෝතිය වනය තුළ ස්ථාපනය කරනු ලැබීය. “ලක්දිව බුදු සමයේ ඉතිහාසය” නමැති මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ග්‍රන්ථයේ මේ පිළිබඳව විමර්ශනයක් කරමින් සංඝ කර්ම සඳහා මාලකයක්, සංඝයාට උණු දිය නාන පොකුණක්, ශී‍්‍ර මහා බෝධියට ස්ථානයක්, සංඝයාගේ උපෝෂථ ශාලාවක්, ලහබත් ගෙයක්, සංඝයාට බත් හලක්, රුවන්මැලි සෑ පිහිටන තැන, යන ස්ථාන කරා කැටුව යමින් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇති බව සඳහන් කර ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ විසූ මහා මේඝවනාරාමය හෙවත් මහා විහාරය, පසුව ශී‍්‍ර සම්බුද්ධ ශාසනය ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කරමින් ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. සම්බුද්ධ ශාසනය අධ්‍යයනය කරමින් පුළුල් ආගමික ජීවනයක් ඇති කිරීම උදෙසා මහා විහාරය ආශි‍්‍රතව කාල ප්‍රසාද, පිරිවෙණ, සුංහාත පිරිවෙණ, දීඝ වංක පිරිවෙණ, ඵලග්ග පිරිවෙණ, දික්සඳ සෙනෙවි පිරිවෙණ වැනි පිරිවෙන් රැසක් ස්ථාපනය වු අතර මේවායේ අධ්‍යාපනය ගොනුවී තිබුණේ ත්‍රිපිටක ධර්මය මුල්කරගෙනය. මේ යුගයේ ශී‍්‍ර ලංකාවට වැඩම කළ බුද්ධ ඝෝස හිමියන් පාලි ත්‍රිපිටකයට අටුවා සම්පාදනය කර ඇත.

ශ්‍රී මහා බෝධින් වහන්සේ මහමෙව්නාවේ වඩා හිඳුවීමෙන් මහමෙව්නාව මහා පුණ්‍ය භුමියක් බවට පත්විය. ඒ උතුම් ශාසනික සංසිද්ධිය සිදුවූයේ ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 උඳුවප් මස (දෙසැම්බර්) පුර තුදුස්වක දා සන්ධ්‍යා සමයේ රෙහෙන නැකත යෙදී තිබූ ශුභ මොහොතේදීය.

මේ අවස්ථාවට මහාවංශයේ ග්‍රන්ථ ගත කළ මහානාම හිමියෝ සතියක් මුළුල්ලේ ජයසිරිමා බෝ සමිඳුන් රෝපණය කළ තැනින් අතුරුදහන් වී සවණක් රැස් පමණක් විහිදුවද්දී මිහිකත සැලෙමින් මහ වැස්සක් ඇති වූ බව විවරණය කරති. මහාවංශයේ 15 පරිච්ඡේදයේ 32,33,78,154 ගාථාවලින්ද, බෝධිවංශයේ 326 හා 327 පිටුවලින්ද මේ අති උතුම් මොහොත සවිස්තරව දක්වා ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීමට මුල්වූයේ අනුලා දේවිය පැවිදි වීමට පෙරුම් පිරීමයි. එසේම ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම වීමට මුල්වූයේද අනුලා දේවියගේ ප්‍රාර්ථනාවයි.ඇයගේ සසුන් ගතවීමේ ආශාව ගැන මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ අන්දමට දේවානම්පියතිස්ස රජුට කරුණු දැක්වු බව සිංහල බෝධිවංශයේ මෙසේ දක්වා තිබේ.

“මහරජ්ජුරුවෙනි..... ස්ත්‍රීන් මහණ කරන්න අපට කැප නොවන්නේය. පැලලුප් නුවර මගේම නංගී වූ සංඝමිත්තා නම් වූ බහුශ්‍රැත භික්ෂුණියක් ඇත්තීය. මහ රජ්ජුරුවෙනි...මේ ශී‍්‍ර ලංකා ද්වීපයේ පූර්ව සර්වඥයන් තිදෙනා වහන්සේගේ බෝධීන් පිහිටියේය. ඒ අනුව අපගේ බුදු පියාණන්ගේ බෝධින් වහන්සේද මෙහි පිහිටුවා ලිය යුතුය. එසේ හෙයින් මේ කරුණු සැලකිල්ලට ගෙන තොපගේ සබඳ වු ධර්මාශෝක රජ්ජුරුවන්ට යම්සේ සංඝමිත්තා නම් ස්ථවිරී තොමෝ ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙහි ගෙන එන ලෙසට හසුන් යවා ඕ තොමෝ මෙහි පැමිණි පසුව මෙම අනුලා දේවීන් මහණ කරවන්නීය.”

සිංහල බෝධි වංශයේ මෙම සංසිද්ධිය විවරණය කරන අන්දමට අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදි බිමට ඇතුළත් කිරීම සඳහා සංඝමිත්තා මෙහෙණිය වැඩමවීමත් සමඟ ශී‍්‍ර මහා බෝධියේ දක්ෂිණ ශාඛාවද මෙහි වැඩම කරවීමට පියවර ගෙන ඇති බව පෙනේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙම අනුශාසනාවට අවනත වු දෙවන පෑතිස් රජතුමා තමන්ගේ ඇවැස්ස බැණනුවන් වූ අරිට්ඨ කුමරු පෙරමුණේ රාළ ලෙස දූත මෙහෙවරෙහි යෙදවූ බව මහාවංශය විස්තර කරයි. තවදුරටත් මේ දූත මෙහෙවර විස්තර කරන සිංහල බෝධිවංශය. ධර්මාශෝක රජු වෙත ගෙන ගිය පයිංඩය මෙසේ සඳහන් කර තිබේ.

“නුඹ වහන්සේගේ සබඳ වු දෙවන පෑතිස් රජ්ජුරුවන් වහන්සේගේ මලනුවන්ගේ බිසව්වන අනුලා දේවිය මහණ වනු රිසිව, ගනු ලබන ව්‍රත සමාදාන ඇතිව වෙසෙති.ඒ බිසව් මහණ කරවනු සඳහා ආර්ය වු සංඝමිත්‍රා නම් ස්ථවිරාවන් යැව්ව මැනවි. උන් හා කැටුවම දක්ෂිණ බෝධි ශාඛාවද යැවුව මැනවයි” කීයේය. මේ අයුරින් ම සංඝමිත්තා තෙරණිය වෙත ගොස් මේ කරුණු සියල්ල සැලකර සිටියහ.

ශ්‍රී ලංකාවේ දඹකොළ පටුනට ශී‍්‍ර මහා බෝධි ශාඛාව රැගත් නෞකාව සේන්දු වීමෙන් පසු එතැන ඉදිකර තිබූ “සමුද්රාසන ශාලාව“ වෙත ශී‍්‍ර මහා බෝධිය වැඩමවා, වඩා හිඳුවා පසුදා තිවංක නම් වූ බමුණු ගමට හෙවත් තන්තිරිමලේට වැඩමවා ගිමන් හැර ඊළඟ දිනයේදි අනුරපුර මහමෙව්නා උයනට ශී‍්‍ර මහා බෝධි ශාඛාව මහ පෙරහැරින් වැඩම කරවා ඇත. යට කී පරිදි බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුස්වක දා සැන්දෑ සමයේ රෙහෙණ නැකත යෙදී තිබු මොහොතේ රජවාසල දකුණු පසින් පිහිටි භුමියේ ශී‍්‍ර මහා බෝධි දක්ෂිණ ශාඛාව දෙවන පෑතිස් රජුගේ අතින් රෝපණය කර ඇත. මේ මොහොතේ ශ්‍රී මහා බෝධි ශාඛාවේ හටගෙන තිබූ ඵල පහෙන් එකක් මිහිඳු මාහිමියන්ගේ සුරතට වැටී ඇති අතර එයින් බෝධි අංකුර අටක් පහළ වී ඇත. මේවා අෂ්ටඵල බෝධි රුක් ලෙස නම් කර තිබේ. මේ අෂ්ටඵල බෝධි රුක් දඹකොළ පටුන, තන්තිරිමලේ, ථූපාරාමය , කසුන්ගිරි වෙහෙර, පඨමක චෛත්‍ය භූමිය, සෑගිරිය බිම, කතරගම, රුහුණේ සඳුන්ගම, යන ස්ථානවල රෝපණය කර ඇත. බෝධින් වහන්සේගේ ඉතිරි ඵල හතරෙන් පැළ තිස් දෙකක් මතුවී ඒවා දෙතිස්ඵල රුක් බෝධි ලෙස මෙරට විවිධ ස්ථානවල රෝපණය කර තිබේ.

මේ අන්දමට සංඝරත්නයේ කැපවීමෙන් සම්බුද්ධ ශාසනය රට පුරා පැතිරී ගිය අතර ශී‍්‍ර මහා බෝධියේ පැළ 40 ක් රට පුරා විසිරී රෝපණය වීමෙන් සම්බුද්ධ ශාසනයේ සජීවි සංකේතය මගින් සම්බුද්ධ ශාසනය ස්ථාවරව රට පුරා පැල පදියන් වී ඇත.

මේ සියලු ශාසනික මෙහෙවරයන්ට මුල් වූයේ උඳුවප් මස පුන් පෝදා අනුරපුර අගනුවර මහමෙව්නාවේ සිද්ධ වූ සම්බුද්ධ ශාසනික අහිංසාවාදි විප්ලවයයි. බුද්ධාගමක්, බෞද්ධ ශිෂ්ඨාචාරයක්, ආගමික සංස්කෘතියක් ශී‍්‍ර ලංකා ජනතාව තුළ පැලපදියන් වන්නට මුල්වූ අනුරපුර මහමෙව්නාවේදී උඳුවප් පුර පෝදා සිදුවූ අසිරිමත් සිදුවීම ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සදාචාරයෙන් යුතුව දැහැමියා දහමින් සුවපත් කරන්නට පහළවූ උතුම් ශාසනික මෙහෙවරක් හැටියට අවධාරණය කළ යුතු වේ.