Print this Article


දේශීය සමාජ - සංස්කෘතික අනන්‍යතාව විචිත්‍රවත් කළ මෙහෙණ සස්න හා මහා බෝධිය

දේශීය සමාජ - සංස්කෘතික අනන්‍යතාව විචිත්‍රවත් කළ මෙහෙණ සස්න හා මහා බෝධිය

සංවිධානාත්මක බවින් තොරව පැවැති ආගමික පදනමක් පැවැති සමාජයට සංවිධිත බවක් ලබාදීමට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලාංකේය ජාතික හා සංස්කෘතික අන්‍යතාවය තවදුරටත් ඔපවත් කරලීමට මෙන්ම වර්ණවත් කරලීමට සංඝමිත්තා තෙරණියගේ ආගමනය හා ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටුවීම වැදගත් පසුබිමක් නිර්මාණය කරලීය.

එබැවින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස, ශ්‍රී ලංකා ආගමික හා ජාතික ඉතිහාසයේ සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන් වන කාලපරිච්ඡේදයක් ලෙසින් වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජන විඤ්ඤාණයට බද්ධ වෙමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබේ. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ලංකාගමනයත් මහබෝධිය වැඩමවීමත් ඒමඟින් දේශීය සංස්කෘතියේ ප්‍රවර්ධනයට ඇති කළ බලපෑමත් මේ සඳහා පාදක වූ බව පැහැදි කරුණකි.

ශ්‍රී ලාංකේය වංසකතා සාහිත්‍ය මෙන්ම අට්ඨකතා සාහිත්‍යයෙන් හෙළි දැක්වෙන තොරතුරු මත ක්‍රි.පූ. තෙවැනි උපදේශකත්වයෙන් දියත් කරනු ලැබූ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ එක් ප්‍රතිඵලයක් ලෙසින් මහින්ද මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කළහ. එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250 – 219) රජු මුණ ගැසීම, රජු ඇතුළු පිරිසට දහම් දෙසීමෙන් අනතුරුව රජු ඇතුළු පිරිස ප්‍රථමයෙන් බුදුදහම වැළඳ ගැනීම හා අනෙකුත් රාජකීය පිරිස් මෙන්ම මහජනතාව ද බෞද්ධාගමේ ගිහි පාර්ශ්වය නියෝජනය කළ උපාසක උපාසිකාවන් බවට පත්වීම හා කෙටි කලක් තුළ බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීමත් නිසා බුදුදහම පදනම් කරගත් බෞද්ධ සංස්කෘතියක් මෙරට ස්ථාපිත වීමට මහත් රුකුලක් විය.

මානුෂිකත්වය පෙර දැරිකරගෙන, රජමැඳුරේ සිට දුගී පැල දක්වා සැමට එක ලෙසින් බෞද්ධාගමේ පණිවිඩය ගෙනයාමත් තවදුරටත් සිය ආගමික කටයුතු වඩාත් හරවත්ව සාධාරණව හා ක්‍රියාශීලිව ජනතාව අතරට ගෙනයාම පිණිසත් මිහිඳු හිමියන්ගේ ආරාධනයෙන් සිය නැඟණිය වූ සංඝමිත්තාවගේ ශ්‍රී ලංකාගමනයද අතිශයින්ම වැදගත් විය. මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට පවත්වනු ලැබූ ධර්මදේශනාවන් නිසා බෞද්ධාගම පිළිබඳ අවබෝධයක් ලත් ඇතැම් ගිහි පිරිස් ශාසනය තුළ පැවිදිවීමට කැමැත්ත පළ කළහ. භික්ෂු ශාසනයක් පැවැති හෙයින් පුරුෂ පක්ෂයට ඒ සඳහා පහසුවක් වූ අතර කාන්තා පක්ෂයට මීට අවස්ථාවක් මුල් අවධියේ නොවූයෙන් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන්සියයක් පමණ පැවිද්ද අපේක්ෂාවෙන් කළ ඉල්ලීමට අනුව භික්ෂුණී ශාසනයක් මෙරට පිහිටුවීමේ අවශ්‍යතාවය මිහිඳු හිමියන් විසින් රජුට පෙන්වා දෙන ලදී. ඒ අනුව මිහිඳු හිමියන්ගේ උපදේශකත්වයෙන් හා දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රාහකත්වය මත සංඝමිත්තා තෙරණිය වැඩමකරවීමේ අභිලාෂයෙන් අරිට්ඨ ඇමැති ප්‍රමුඛ ශ්‍රී ලාංකේය දූත පිරිසක් අශෝක අධිරාජයා වෙත යවන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් සංඝමිත්තා භික්ෂුණිය ප්‍රමුඛ භික්ෂුණීන් පිරිසක් ලංකාවට වැඩම කර ඇත.

මහින්දාගමනයෙන් විවර වූ ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික සම්බන්ධතාවය තවදුරටත් ඔපවත්වීම කෙරෙහි මෙන්ම දෙරට අතර සමාජමය හා දේශපාලන සම්බන්ධතා ගොඩනැගීමෙහි ලා ද දුමින්දාගමනයෙන් ඇති වූ සම්බන්ධතාවය අනෙක් අතින් වැදගත් වූ බව ද කිව යුතු ය. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා ප්‍රජාව අතර ගොඩනැඟුණු මෙම ආගමික සම්බන්ධතාවය දෙරට අතර ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික සම්බන්ධතාවන් දීර්ඝකාලයක් මුළුල්ලේ අඛණ්ඩව ගෙනයාමට පැහැදිලි පදනමක් සැකසිනි.

ශ්‍රී ලාංකේය කාන්තාවගේ විමුක්තිය පතා ලක්දිවට වැඩම කළ සංඝමිත්තාවගේ ලංකාගමනය ශ්‍රී ලංකේය ඉතිහාසයේ එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරන්නක් වේ. සංඝමිත්තාවගේ ලංකාගමන වනාහී ශ්‍රී ලාංකේය කාන්තාවනට නිවන් දොර විවර කරදීමට මං හෙළි කළා පමණක් නොව ඔවුනගේ සමාජ හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට හා තහවුරු කරලීමටත් ඉවහල් වූ කරුණක් ලෙසින් ද ඉතිහාසගතය. මෙහි සෘජු ප්‍රතිඵලය වූයේ පුරුෂ පක්ෂය හා සමානත්වයකින් සමාජයේ ඉදිරියට ඒමට හා සමාජ කාර්යයන් සඳහා සිය දායකත්වය ලබාදීමට ඇයට අවස්ථාව හා ඉඩකඩ විවරවීමය. අධ්‍යාත්මික, අධ්‍යාපන හා ආත්ම විශ්වාසයෙන් පිරිපුන් කාන්තා සමාජයක් මෙරටේ ඇතිවීම කෙරෙහි සංඝමිත්තා මෙහෙණිය ඇතුළු භික්ෂුණින්ගේ නායකත්වයෙන් දියත් කළ ශාසනික ක්‍රියාදාමයෝ සුවිශේෂිතව වැදගත් විය. මේ නිසා පුරාතන ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ වීරෝදාර කාන්තාවන් ලෙසින් සිහිපත් කෙරෙන විහාරමහාදේවි, සෝමාදේවි හා සීවලි වැනි ජාතිමාමාකත්වයෙන් හා ආගමිකත්වයෙන් පිරිපුන් කාන්තාවන් දේශයට බිහිවීමට මං පෑදිනි.

සංඝමිත්තා මෙහෙණිය සමඟ ගයාවෙන් ලබාගත් මහාබෝධියේ දක්ෂිණ ශාඛාවද ඒ හා සබැඳි අභිචාරවිධි පැවැත්වීම පිණිස දහඅටකුළීන පිරිසක් ද සමඟ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවනු ලැබීම දේශීය සමාජය බෞද්ධ සංස්කෘතියක් මත තවදුරටත් තහවුරු කරලීමට මහත් රුකුලක් විය. දඹකොළපටුනේ සිට අනුරාධපුරයට මහත් පෙළහරකින් වැඩම කරවනු ලැබූ මහාබෝධි ශාඛාව අනුරාධපුරයේ මහාමේඝ වනෝද්‍යානයේ රෝපණය කළ අතර එම මහා උත්සවය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ පිරිස් කාජරගාමයේ හා චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීය පිරිස් වැනි උතුරු දකුණු ප්‍රදේශ වැසි ප්‍රභු කණ්ඩායම් රැසකගෙන් හා දිවයින් වැසි බොහෝ ජනයාගේ සහභාගීත්වයෙන් සිදු කොට ඇත. මෙම අවස්ථාව වසර දෙදහස් තුන්සිය ගණනක් පැරැණි මහාබෝධි සංස්කෘතියේ ආරම්භක අවධිය ලෙසින් හා ජාතියේ සමගියට මෙන්ම දේශීය අනන්‍යතාවය ආගමික පදනමක් මත ඉස්මතු කළ අවස්ථාව සේ දැක්විය හැකිය.

මහාබෝධිය වැඩමවීමත් සමඟ එතෙක් පැවැති වෘක්ෂ වන්දනයට නව අරුතක් දෙමින් බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙසින් නවාංග රැසක් දේශීය සංස්කෘතියට එක්වීම ද බෞද්ධ කටයුතුවලට හා එහි ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම ආශිර්වාදයක් ද විය. මහා බෝධි ශාඛාවෙන් හටගත් ප්‍රථම බෝධි අංකුර ලංකාවේ උතුරු දකුණ ඇතුළු අනෙක් ප්‍රදේශවල රෝපණය කිරීම පිණිස කටයුතු යෙදීම බෞද්ධ සංස්කෘතියක් යටතේ එක්සේසත් වූ ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැඟීම පිණිස තැබූ මුල් පියවරක් ලෙසින් දැක්වීම නිවැරැදිය.

එවැනි ප්‍රභූ පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව අනුරාධපුර පාලකයා විසින් මහාබෝධිය මහාමෙවුනාවේ රෝපණය කිරීමත් ඉන් හටගත් අෂ්ටඵලයන් ඒ ඒ ප්‍රදේශ වෙත රෝපණය කිරීම පිණිස ලබාදීමත් නිසා එම ප්‍රදේශ අතර සංස්කෘතිකමය හා දේශපාලන සම්බන්ධතා වර්ධනයවීම කෙරෙහි සෘජුව හා වක්‍රාකාරයෙන් බලපා ඇත. එමෙන්ම පසුව හටගත් දෙතිස් ඵලයන්ද අනෙකුත් ප්‍රදේශ අතර බෙදා හැරීම පිණිස කටයුතු කිරීම මඟින් බෝධිය වනාහි සාමයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙසින් එක්සත් ජාතියක් හා එක්සේසත් වූ දේශයක් බවට පත්කරලීමට පදනම සකස් කළ බවක් පෙනේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී දේශපාලනික වශයෙන් එක්සත් බවක් ඇති කිරීමෙහිලා කටයුතු කළ දුට්ඨගාමිණිගේ ක්‍රියාදාමය සාර්ථකවීම කෙරෙහි දේවානම්පියතිස්ස රජු විසින් ඇති කළ මෙම සංස්කෘතික හා දේශපාලන පසුබිම මහත් ශක්තියක් වූ බව පැහැදිලිය.

බෝධි සංස්කෘතියේ ඇති කළ බලපෑම් සංස්කෘතික පාර්ශ්වයට සම්බන්ධ වන සමාජ ආකල්ප, සිරිත් විරිත් හා උත්සව සම්ප්‍රදායන්හි වෙනස්වීම් රැසක් ඇතිවීම කෙරෙහි සෘජුව බලපා තිබේ. ඓතිහාසික වංසකතා දක්වන ආකාරයට ප්‍රාග් මහින්ද යුගයේ දී කම්මාරදේව ව්‍යාධදේව වැනි දේව ගණයා වෙනුවෙන් වෘක්ෂ වන්දනාවේ යෙදුණු ජනතාවට අර්ථාන්විතව බෝධිය මුල්කොට ගෙන ආගමික වතාවත්වල යෙදීමට හා විවිධ පුද පූජාවන් රැසකට ද සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුණි. මහාබෝධිය වඩාත් ජන ජීවිතයට සමීපවීමත් සමඟ එය සමෘද්ධියේ සංකේතයක් ලෙසින් ද සැලකිණි.