Print this Article


සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ

සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ

සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩමවීම 12 වනදා

ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන්පොහෝ දිනය යෙදෙන දෙසැම්බර් 13 දින ආරම්භවී 2017 වෙසක් පුන් පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතය.

පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත්කර තිබෙන සධාතුක කරඬුව , දේව ආභරණ හා සුමන සමන් දේව ප්‍රතිමාව 12 දින රාත්‍රියේ ශ්‍රී පාද මළුව වෙත පෙරහරින් වැඩම කිරීමට නියමිතය.

ගල්පොත්තාවල රජමහා විහාරයේ සිට පෙරහර තුනකින් දේව ආභරණ රන්මුවා පිළිම හා සධාතුක කරඬුව මළුව වෙත වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේදී 11 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා 12 දින රත්නපුර මහ සමන්දේවාලයට පෙරහරින් පැමිණ පූජා පවත්වා සධාතුක කරඬුව ,දේව ආරභණ හා සමන්දේව ප්‍රතිමාව රැගත් පෙරහර ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, යටියන්තොට , කිතුල්ගල, ගිනිගත්හේන, හැටන්, නෝර්වුඩ්, මස්කෙළිය හරහා නල්ලතන්නියට පැමිණීමට නියමිතය. තවත් පෙරහරක් බලංගොඩ හරහා බගවන්තලාව, නෝර්වුඩ්, මස්කෙළිය ඔස්සේ නල්ලතන්නියට පැමිණෙයි.

කුරුවිට රත්නපුර රජමාවත ඔස්සේ තවත් පෙරහරක් ගමන් ගන්නා අතර මෙම පෙරහර 12 වැනිදා රාත්‍රියේ සිරිපා මළුවට පැමිණීමට නියමිතය.

පුන් පොහෝ දින අලුයම් කාලයේ සමන් දේව ප්‍රතිමාව සුවඳ පැනින් දෝවනය කැර දේව ප්‍රතිමාව හා ආභරණ උඩමළුවේ පිහිටි සමන්දේවාලයේ සුබ නැකතට තැන්පත් කෙරෙයි.අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදු කිරීමෙන් පසු මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ වෙයි.