Print this Article


පදවියේ තිස්සපුර වැසියන්ට අතහිත

පදවියේ තිස්සපුර වැසියන්ට අතහිත

වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රෝගීන්හට අත්වාරු ලබා දුන් අයුරු.

බෝධි ප්‍රාකාරය ඇතුළු විහාරාංග රැසකට විදුලි ආලෝකය ලබා දි, ගොඩනැගිලි වර්ණවත් කරමින් බෝධි ප්‍රාකාරය අටවිසි බෝධි ප්‍රාකාරයක් කරමින් ඒ සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ 28 නමක්, අටපිරිකර, ගිලන්පස, අෂ්ඨපාන භාජන කට්ටල 28 ක් පාවාඩ දෙකක්, මුතුකුඩ, පූජා කරමින් බෝධි පූජාවක් පවත්වා මහා සංඝරත්නය සඳහා දවල් සාංඝික දානයක් පිරිනැමීම ඇතුළු තවත් විශේෂ පින්කම් රැසක් සිදු කැරිණි.

වසර ගණනක් ත්‍රස්තවාදී කරදර මැද ජීවත් වූ පවුල් 467 ක් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වා ඒ සැමට අවශ්‍ය බෙහෙත් වර්ග නොමිලයේම ලබා දුන්හ. පෙර පාසල් දරුවන් සැමට පාසල් පොත් පත් ලබාදෙමින් වෛද්‍ය සායනය සඳහා සහභාගී වූ සැමට උදේ සහ දවල් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදුන්හ. ඇස් කණ්ණාඩි, රෝද පුටු, කිහිලි කරු, අත් වාරු, රෝගීන් ට බෙදා දුන්හ. එම ගම්මානයේ සෑම පවුලකටම කොස් පැල 05 බැගින් ලබා දුන්හ.

මෙසේ පින්කම් රැසක් තම පුද්ගලික ධනය වැයකර සිදු කළේ ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරන අනෝමා මහීපාල කඹුරුගමුව මහත්මියගේ දායකත්වයෙනි. වකුගඩු රෝගය මැඬීමට මීට වසර තුනකට ප්‍රථම ජල පෙරනයක් ලබා දුන් අනෝමා කඹුරුගමුව මහත්මියට කෘතගුණ සැලකීමක් ලෙස ගමේ ජනතාව එක්ව පදවිය තිස්සපුර රජමහා විහාරස්ථානයේ අටවිසි බෝධි ප්‍රාකාරයක් ඉදිකර වූහ. අනෝමා කඹුරුගමුව මහත්මිය මීට වසර තුනකට ප්‍රථම පදවිය යාය දහය ශ්‍රී තිස්සපුර රජ මහා විහාරාධිපති කීරංගල සිරිවිමල හිමියන් හමු වී වකුගඩු රෝගය යම්තාක් හෝ මැඬලීම සඳහා උන්වහන්සේගේ අනුශාසනා පරිදි එම ගම්මානයේ ජනතාව 467 කගේ ප්‍රයෝජනය සඳහා ජල පෙරනයක් එම විහාරස්ථානයට ලබා දුන්නාය.

අනෝමා මහත්මිය විසින් පැමිණි සැමට කොස් පැළ ලබා දුන් අයුරු.

ඉකුත් දා (19) වසර විසිනවයකට පසු වෛද්‍ය සායනයක් පවත්වා, පෙර පාසල් දරුවන්හට පොත් පත් ආදී ත්‍යාග ලබා දී, වෛද්‍ය සායනයට සහභාගී වූ දහසකට අධික ජනතාවට අංග සම්පූර්ණ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් පිරිනමා ඇස් කණ්ණාඩි, අත් වාරු, රෝද පුටු, කිහිළි කරු ආදිය ගමේ ජනතාව වෙනුවෙන් ලබා දී දර්ශනීය පෙරහරකින් බුද්ධ ප්‍රතිමා වහන්සේ, අටපිරිකර විසිනවය, ගිලන් පස පූජා කටිටල විසිනවය, පාවාඩයක් ආදිය වැඩමවා පූජා කිරීම සිදුවිය. අනෝමා මහත්මියගේ පියා වූ ඒ.ජී. මහීපාල, තම සොහොයුරා වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරු ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන්ද සහභාගි කරවා ගෙන එම පින්කම සිදු කිරීමට ඇය කටයුතු කළා ය.

එම අවස්ථාවන්හට ශ්‍රී තිස්සපුර රජ මහා විහාරාධිපති කීරංගල සිරිවිමල හිමි, යාය දොළහ පුෂ්පාරාමාධිපති තලගල නන්දරතන හිමි, පනාමුරේ තිලකවංශ නාහිමි, ජනරාල් අමල් කරුණාසේකර, මේජර් ජනරාල් බී.එච්.එම්. ඒ. විජේසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල, ආයෝජන මණ්ඩල නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා කඹුරුගමුව, ඒ.ජී. මහීපාල, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර, සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී අම්පාර ලාහුගල, පදවිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මාධව ධර්මදාස, පදවිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය පුබුදු රණවීර, වෛද්‍ය අනූෂා සිල්වා, දායක සභාවේ සභාපති ගාමිණී එදිරිසිංහ යන මහත්ම මහත්මීහු සමඟ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, නීති නිලධාරීන්, යුද හමුදා නිලවල ප්‍රධානීන් ඇතුළු දෙදහසකට අධික ජනතාවක් සහභාගී වූ අතර 62 වන සේනාංකයේ යුද හමුදා මූලස්ථානයේ රණවිරුවන්ගේ නොමසුරු සහයෝගය ඊට ලබා දී තිබුණි.