Print this Article


මේ තරම් ඇත්තක් තවත් තිබෙනවාද

මේ තරම් ඇත්තක් තවත් තිබෙනවාද

මෙම ලිපියෙහි තවත් කොටසක් ඉල් අමාවක පෝදා පත්‍රයේ (නොවැම්බර් 28 වනදා ) පළ විය.

පන්සිල් රැකීමෙන් අපට වාසි අත්වන බවට වැරැදි මතයක් අප තුළ පවතී. එය එසේ නොවන බව අවබෝධ කර ගත යුතුයි. මම පන්සිල් ආරක්ෂා කළාට මට වාසියක් අත්වන්නේ නැහැ. වාසියක් නැහැ යනු අවාසියක් වන බවට ප්‍රකාශ නොවෙයි. කිසියම් ස්ථානයක පුද්ගලයන් තිහක් හතළිහක් එකට ජීවත් වනවා යැයි සිතනවා නම්, මම සොරකම් නොකරමී, යන පොරොන්දුව ආරක්ෂා කරනවා නම්, මම සොරකම් නොකරන තරමට භාණ්ඩ ආරක්ෂා වන්නේ සෙසු පිරිසගෙයි.

සැම දෙනාටම ජීවත්වීම සඳහා අයිතියක් ඇති බවට මම පිළිගන්නා නිසා සත්ත්ව ඝාතනයෙන් වැළකෙනවා නම්, සෙසු පිරිසගේ ජීවිත ආරක්ෂාවෙයි. මම බොරු නොකියනවා නම් නොරැවටෙන්නේ සෙසු පිරිසයි. පන්සිල් රැකීමේ වාසිය සෙසු පිරිසටයි. පන්සිල් තුළ ඇති බර තේරුම් ගත යුතුයි. එසේ බලාගෙන ගිය විට බුදුපියාණන් වහන්සේ දේශනා කළ වාක්‍ය කෙටි වුවද, ඉතාම ගැඹුරු ඉතාම අර්ථවත් ඉතාමත්ම තාර්කික ප්‍රකාශන වෙයි.

ස්වභාවය

උප්පාද වයධම්මිනෝ හි ධම්මිනෝ යනු ධර්මී වෙයි. මෙහි සඳහන් ධර්මී යන්නෙහි අර්ථය ස්වභාවයයි. ස්වභාව ධර්මය යනුවෙන් ප්‍රකාශ වන්නේද එයයි. ලෝකයෙහි ස්වභාවයක් පවතිනවා. උදයට ඉර නැගෙනවා සේම සවසට ඉර බැසයාම ස්වභාවයක්.උඩ පැන්නොත් බිම වැටීම ස්වභාවයක්. එවැනි ආකාරයන් ධර්්මී නම් වෙයි.වය යනු නිවැරැදිය යන්නයි. සිංහලෙන් වැය යන වචනය ඔබ අසා ඇති. වැය යනු ටික ටික අඩුවීම හෙවත් ක්ෂය වීමයි.ටික ටික අඩුවීම යනු ටික ටික වැය වීමයි. ධම්මිනෝ යනු ස්වභාවයයි ටික ටික වැය වීමයි. වයධම්මී යනු ටික ටික නැතිවීම හෙවත් ක්ෂය වීමයි. එය එහි හැටි හෙවත් ස්වභාවයයි.ටික ටික නැතිවීමේ හැටිය උත්පාද වෙයි. යමක් උත්පාද නම්, වයධම්මී වෙයි. සැම දෙයක්ම වයධම්මී වෙයි. අනිවාර්යෙන්ම තිබෙනවා යනු අනිවාර්යෙන්ම නැතිවීමයි. එය ඒතරමට ප්‍රබල වෙයි.

එදා සිටි කෝලිත උපතිස්ස දෙපළ වැනි ඥනය ඇති පිරිස් වර්තමානය තුළත් නැතිවා නොවෙයි. ඔබ පැය දෙක තුනක් විෙවිකීව සිටින අවස්ථාවක නැති නොවන යමක් තිබෙනවාදයන්න කල්පනා කර සොයා බලන්න. සොයලා සොයලා හම්බ නොවුණොත් ඔබට යමක් වැටහේවි. සොයා බලන විට ඔබ තේරුම් ගන්නාවූ කරුණු ඉතාම වැදගත් වෙයි.එවැනි ආකාරයට සොයපු පිරිස් බුදුපියාණන් වහන්සේගේ කාලය තුළත් සිටි බව සිහිපත් කළ යුතුයි. කිසා ගෝතමී , සුභා, චුල්ලපන්තක පිළිබඳව මතකයට නගා ගන්න.

අභාවය

ක්‍රි.ව. 5ත් ක්‍රි.ව.8ත් අතර කාලය තුළ ලංකාවේ තිරියාය ප්‍රදේශයෙහි සංස්කෘත භාෂාවෙන් ලියා ඇති පල්ලව ග්‍රන්තාක්ෂර වලින් කොටා ඇති සෙල්ලිපියෙහි සඳහන් වන ශ්ලෝක හයෙන් අවසාන වාක්‍ය අපට ඉතාම වැදගත් වෙයි.තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන් කරවූ බවට සැළකෙන චෛත්‍යයෙහි මෙය සඳහන් වෙයි.“අභාවං ස්වභාවාහං සර්ව ධර්මාං” යන එහි සඳහන් ප්‍රකාශය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය කර ඇත.“අභාවං ස්වභාවාහං සර්වධර්මාං” යන්න සර්වධර්මාං යනු සිංහල අර්ථයෙන් සියලු දේවල් යන්නයි. අභාවං ස්වභාවාං යනු අභාවය ස්වභාවයයි. ස්වභාවය අභාවයයි. ස්වභාවය තිබීම නම්, අභාවය යනු නැතිවීමයි. නැති වීම ස්වභාවයයි. ඕනෑම දෙයක ස්වභාවය අභාවයයි. අභාවය ස්වභාවයයි. මෙය නිතර දැකීම සඳහා බ්ත්තියක ලියා තැබිය හැකිය.

බුදුපියාණන්වහන්සේ “උප්පාද වයධම්මිනෝ” යනුවෙන් අනුමත කොට වදාළේ ශක්‍ර දෙව්යන්ගේ වාක්‍යය වෙයි.ඇති වෙනවා යනු නැතිවීමේ ආරම්භයයි.යමක් තිබෙනවා යනු නැතිවෙමින් තිබෙන එක විතරමයි. වෙන දෙයකට නොවෙයි.එය ඔරලෝසුවෙහි වෙලාව පරිදි වෙනස් කළ හැකි වෙයි. පෙරවරු 6 පටන් ගත්ත වෙලාවේ සිට තත්පරෙන් තත්පරය සිදුවන්නේම අවසන් වීමයි. නැති වන එක පමණයි. 6 යි පහ යනු හෝ 6යි විස්ස යනු හය පසුවී විනාඩි පහක් හො විස්සක් අවසන් බවයි.පෙරවරු 6 ආරම්භ වීමත් සමඟ සිදුවන්නේම හය ටික ටික අවසන් වීමයි. දවස පටන් ගන්නවා යනු දවස ඉවර වීමට ආරම්භවීමයි.

වයස කාන්දු වීම

ඉපදෙනවා යනු වයස ටික ටික ඉවරවීමට පටන් ගැනීමයි. ඉපදෙනවා යනු කුඩා සිදුරක් සහිත කළයකට වතුර පුරවා ගෙනත් තබනවා වගෙයි. වතුර කළය තැබූ අවස්ථාවේ පටන් ජල බිංඳු කාන්දු වෙනවා සේම ශරීරයෙන් වයස ද කාන්දු වී යයි. අද උදේ 7 සිට රාත්‍රී 7 වන විට පැය 12ක් කාන්දු වී අවසන් වෙයි.රාත්‍රී නින්දට ගොස් එලිවන විට සැලකිය යුතු කාලය ප්‍රමාණයක් කාන්දු වී අවසන් වෙයි. සැම විටම ශරීරය තුළ තිබෙන්නාවු වයස කාන්දුවෙමින් පවති. එය ක්ෂය ධම්මී වෙයි. තිබෙන වයස කොයි වෙලාවෙත් නැතිවීම ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්දනිවැරැදිව සිතනවා නම් ,ජීවිතයෙන් වයස ඉවර වන විට සතුටක් නොව දුකක් දැනිය යුතුයි.උපන්දින සාද සමරනු ලබන්නේ ඒ දුක සඳහාද මේ වන විට ජීවිත කාලයෙන් 20ක් අවසානයි . ජීවත් වීම සඳහා ඉතිරිව ඇත්තේ තව අවුරුදු 60කි. ජීවත් වීම සඳහා අවුරුදු අසූවක් තිබෙන පුද්ගලයා වයස අවුරුදු 50 සම්පූර්ණ වූ විට තව අවුරුදු 30 ඇති බවට සතුටෙන් සමරනු ලබන්නේ ඉවර වුණ සතුටද

අවසන් වූ සතුට

වැය වුණ සතුට හෙවත් මරණයට ලංවීම අප කෙතරම් සතුටෙන් සමරනු ලබනවාද ආසාවෙන් සමරනවා පමණක් නොවෙයි තමා සමීපව සිටින අවට පිරිසටද එය සැමරීම සඳහා බොහොම සතුටෙන් ආරාධනා කරනු ලබන්නේ දැන් මගේ වයස ඉවර වීමට යන බවත් එම නිසා අද අපි හොඳට කාල බීලා නටලා සන්තෝෂ වෙමු. මේ වන විට මගේ වයස සෑහෙන දුරට අවසානයි. ඉතිරිව ඇත්තේ බොහොම ටික කලයි. උපන්දින සාද සැමරිය යුත්තේ උපන්දිනට සාදන කේක් එකට හෝ පිසින ලද කිරිබත් සඳහා උප්පාද වයධම්මිනෝ යනුවෙන් අයිසින් අකුරු ලියා තැබීමෙනි. එම කේක් එක එයට පසුව කැපිය හැකියි. එයටත් වඩා නිවැරැදි විය යුත්තේ අනිච්චාවත සංඛාරා යනුවෙන් කේක් ගෙඩිය සැදීමයි. ඒ තරම් වටිනා වාක්‍යයක් පිළිබඳව අප සිතා සිටිනුයේ මළ ගෙදරකදී පමණක් සුදු පැහැ බැනරයක කළු අකුරෙන් ලියා තබන වාක්‍යයක් පමණක් බවයි.එසේ නොවිය යුතුයි. එය සත්‍යයි. මේ තරම් ඇත්තක් තවත් තිබෙයිද කැමැති වුවත් , අකැමැති වුවත් මුහුණ දිය යුත්තේ එකම එක දෙයකට පමණයි. ඒ නම් ඇත්තයි . කැමැත්තෙන් හෝ අකැමැත්තේන් මුහුණ දෙන්නේත් ඇත්තටයි. ඇතිවෙලා නැතිවීම වරදක්දවරදක් නම් දඬුවම් දිය හැකියි. ලෙඩක් නම්, බෙහෙත් දිය හැකියි. වරදක් නොවන, ලෙඩකුත් නොවන එය හැටියක් වෙයි. එසේ නම් අප කළ යුත්තේ එම හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගැනීම මිස අන්කිසිවක් නොවෙයි.

නිවන් දැකීම

බුදුපියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අප සියලු දෙනාටම වදාළේ එම හැටි හෙවත් ස්වභාවයයි. අන් කිසිවක් දේශනා කොට නැත. දේශනා කළ සැම දෙයක්ම ලෝකය තුළත්, සංසාරය තුළත් මනුෂ්‍යයා තුළත්, සත්ත්වයා තුළත් යන සියලු දෙයකම හැටි හෙවත් ස්වභාවය දේශනා කළා මිස අන්කිසිවක් දේශනා කළේද නැත.විග්‍රහ කර තිබෙන තරම් ප්‍රමාණයක් විග්‍රහ කර තිබෙන්නේම එකම දෙයක් ලෙස හැටි විතරයි. එම හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගැනීම නිවනයි. එම හැටිය තේරුම් ගැනීම සඳහා අපගේ රැකියාව හෝ විරැකියාව, තනතුරු, යාන වාහන, මිල මුදල් බාධාවක්ද හැටිය තේරුම් ගැනීමට බෞද්ධ විය යුතුමද හැටිය තේරුම් ගැනීමට පැවිදි විය යුතුමද එය තේරුම් ගැනිමට ගිහි ඇඳුමකට බැරිද හැටිය තේරුම් ගැනීමට වයසට යා යුතුමද හැටිය හෙවත් ස්වභාවය තේරුම් ගන්නවා යනු නිවන් දැකීමයි. එම හැටිය තේරුම් ගැනීමට ඔබට හැකියාව ලැෙබිවා .