Print this Article


බුදුපිළිමයේ උපත - 44: ගන්ධාර බුදුපිළිම කලාව

බුදුපිළිමයේ උපත - 45:

ගන්ධාර බුදුපිළිම කලාව

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර භාරතීය මූර්ති ශිල්පීන් විසින් සංකේත භාවිතා කළ බවට සාක්ෂි භාරුත්, සාංචි (අමරාවතී මුල්කාලයේ) දැක්වෙන මූර්ති කැටයම්වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් භාරුත් සාංචි බුද්ධගයා සහ අමරාවති ආදී ස්ථානවල දක්නට ලැබේ.

පුරාණ භාරතයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොවීමට හේතු වූයේ එවක පැවැති සම්ප්‍රදායික චාරිත්‍රය වූ ප්‍රතිමා වන්දනය සිදු නොකිරීම බව පෙනේ. ඒ වෙනුවට සංකේත වන්දනාමාන කළ යුගයක් පුරාණ භාරතයේ තිබුණි. අසෝක රජ යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඒ යුගයේදී බෞද්ධ ප්‍රතිමා ක්‍රමය වෙනුවට බුදුදහමේ යම් යම් අවස්ථා සංකේත ක්‍රමයක් යොදාගෙන තිබුණූ බවට සාධක ඇත. එනම් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාත්හි අසෝක ස්තම්භය මත දක්නට ලැබෙන සිංහ රූප සතරත් ධර්ම චක්‍රයත්, පද්ම පීඨයත් සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේ සමස්ත විශ්වය පුරාම බුදුදහම ව්‍යාප්ත කිරීමේ අටියෙන් ධර්ම දේශනා කළ ආකාරයයි.(ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රූකම්– මහාචාර්ය යමුනා හේරත් පි. 7 (2003) අසෝක රාජ යුගයේ වු එම ස්තම්භය (සාරානාත්හි කෞතුකාගාරයෙහි දැනට තැන්පත් කර ඇති) නූතන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය බවද ඉතා ප්‍රකට කරුණකි.

එහෙත් අසෝක රජුගේ කාලයේදී බුදු පිළිම නිර්මාණය කර තිබුණූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වුවද එය සනාථ කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ප්‍රථම බුදුපිළිමය නිර්මාණය වූ පුරාණ භාරතයේ පසුබිම් වූ ඉතිහාසයද ඉතා වැදගත් වන්නේය. කුශාන රාජ වංශිකයන් වයඹ දිග ඉන්දියාවේ තම දේශපාලන බලය තහවුරු කරගන්නා කාලය ගන්ධාර ප්‍රදේශය මෙකල පකිස්ථානයට අයත් විවිධ විදේශීය ආක්‍රමණවලට සහ බලපෑම්වලට ගොදුරු වී තිබුණූ යුගයකි. මෞර්ය අධිරාජ්‍යයට අවසාන පහර එල්ල කළේ පුශ්‍යමිත්‍ර ශූංගය ක්‍රිස්තුපූර්ව 185 දී සිය බලය තහවුරු කරගත්තේය. මේ අතරේ වයඹ දිග භාරතයට තවත් විදේශ ආක්‍රමණ කීපයක්ම සිදුවිය.අසෝක රජතුමා රජවීමට පෙර එතුමාගේ මුත්තා එනම් චන්ද්‍රගුප්ත රජුට පූර්වකාලයේ දී මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ සළකා බලන විට පර්සියානු හා ඉන්දු, ගී‍්‍රකවරු එම ප්‍රදේශය පාලනය කළහ. මීට අමතරව චීනයේ සිට තවත් ගෝත්‍ර හතරක්ම වයඹ දිග ආක්‍රමණය කළහ.

ඔවුන් යූඑචිවරුන් ලෙස සඳහන් වේ. එම ආක්‍රමණිකයන් අතරේ කුෂාණ නමින් යුත් රාජවංශයක් වයඹ දිග භාරතයේ සිය පාලන බලය පිහිටුවා ගත්තේ ය. වයඹ දිග භාරතය මෙකල අයත් වන්නේ පකිස්ථානයටය. එහි පේෂවාර් හෙවත් එකල පුරුෂ පුරය ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ ය. කනිෂ්ක රජතුමා මෙම කුශාන රජවරුන් අතරේ ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙසින් සැළකේ. කනිෂ්ක රජුට පෙර කැඩ්පයිසිස් ආදී එම කුශාන රාජ වංශයේ රජවරුන් සිටි නමුදු කනිෂ්ක රජු විශේෂීය රටකින් පැමිණ වයඹ දිග භාරතයේ ප්‍රථමවරට අධිරාජ්‍යයක් ගොඩනැගීමට සමත් වූවා පමණක් නොව බුද්ධාගමට අසෝක රජුගෙන් පසු ඉතා විශාල අනුග්‍රහයක් ලබා දුන්නේ ය. ඒ බුදුසමය මහායානික බුද්ධාගමය. ඒ අනුව කනිෂ්ක රාජ යුගයේ දී ක්‍රි.ව. 120 දී පමණ බුදුරජාණන් වහන්සේ මානවරූපීව නිර්මාණය කරනු දක්නට ලැබේ.

කනිෂ්ක රජතුමාගේ රන් කාසියක බුදුරජාණන් වහන්සේගේ රූපය ප්‍රථමවරට නිරූපණය කරන ලදී. ඒ කාසියේ අනෙක් පැත්තේ කනිෂ්ක රජුගේ රූපය නිර්මාණය කර තිබේ. කනිෂ්ක රජුගේ කාලයේ දී මහායාන බුදුසමය ඉතා දියුණුවට පත් වූ අතර ඒ පිළිබඳ සතරවන සංගායනාව ද පවත්වන ලද්දේ ඒ රජුගේ අනුග්‍රහයෙනි. කනිෂ්ක රජයේ කාලයේ දී නිර්මාණය කනිෂ්ක රජුගේ අනුග්‍රහයෙන් පවත්වන ලද එම මහා සංගායනාවේදී (කුණ්ඩලවනයේ) මහාවිනාෂ නම් ග්‍රන්ථයක්ද සැකසුණි. එහි භාෂා මාධ්‍යය සංස්කෘතය.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 44 : ජේතවනාරාමය