Print this Article


නිවැරැදි වීම යනුචෛතසිකයන් හඳුනා ගැනීමයි

නිවැරැදි වීම යනුචෛතසිකයන් හඳුනා ගැනීමයි

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචා යන පාපකර්ම ආදී අකුසල් තළින් මනස නිදහස් කරගත යුතුය.පව් කිරීමට පොළඹවන චෛතසික තුළින් ඔබ නිදහස් විය යුතුයි.චෛතසිකයන්ගෙන් සිත නිදහස් කරගැනීමට හැකි නම්,කය සහ වචනය පවෙන් ඉවත් කරගැනීම පහසු වෙයි.පවට අදාළ වන චෛතසික වටහාගැනීමට උත්සාහ කරනවා වෙනුවට අප සැම විටම උත්සාහ කරනු ලබන්නේ කය සහ වචනය පාලනය කර ගැනීමටයි.

කය සහ වචනය පාලනය කර ගැනීමට හැකි වුවත්,කය සහ වචනය තුළින් සිදුකෙරෙන පාපකර්ම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නම්, පළමුවෙන්ම පවෙහි නොඇලීම යන කාරණාව වටහාගත යුතුයි.අප සියලු දෙනාගේම මනස රාගයට ඉතාම ලැදිව කටයුතු කිරීමට කැමැතියි. ඇලීම මනස සතුවන්නාවූ ප්‍රබල ස්වභාවයක්. කැමැති කාරණා සමඟ ඇලීමත් අකැමැති කාරණා සමඟ ගැටීමත් යන කාරණා අපගේ චෛතසික තුළ පවතින ස්වරූපයක් නිසා පව් කිරීම සඳහා පොළඹවනු ලබන චෛතසිකයන් ඉතා හොඳින් තේරුම් ගෙන ජීවත් වීමට සිදුවෙයි.එම කරුණු වටහා ගත්තාය යනු අප නිවැරැදි වීම තුළ කළ පව් කිරීමට නොහැකි වීමයි.

ප්‍රාණඝාතය

උදාහරණයක් ලෙස ප්‍රාණඝාත නොකර සිටීමට නම්,ප්‍රාණඝාතයක් කිරීම සඳහා මගේ මනස කෙතරම් දුරට රුදුරු කරගත යුතුද? යන කාරණාව පළමු කොට වටහාගත යුතුයි.එක පිට එක ප්‍රාණඝාත කිහිපයක් කිරීමට නම්, එම අයහපත් ස්වභාවය කෙතරම් දුරට පවත්වාගෙන යායුතු වෙනවාද? යන කාරණා පිළිබඳව වටහා නොගැනීමකින් තොරව ප්‍රාණඝාතයෙන් ඉවත් වන බවට සමාදන් වුවද,එසේ කටයුතු කිරීම දුෂ්කර වෙයි. අකුසල චෛතසික තුළ පවතින රුදුරු ස්වභාවය නිවැරැදිව හඳුනාගත යුතුයි. හඳුනාගැනීම තුළ තවදුරටත් පවත්වාගෙන ඉදිරියට ගමන් කිරීම නවතී.උදාහරණයක් වශයෙන් අංඟුලිමාලට නවසිය අනූනව දෙනෙකුන් අඛන්ඩව ඝාතනය කරනු ලැබීමට ඔහුගේ චෛතසිකයන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබුවේ කෙසේද? අංඟුලිමාලට පෙළඹවීම ඇතිකරනු ලැබුවේ කුමන ස්ථානයෙන්ද?නවසිය අනූනව දෙනෙකුන් අඛණ්ඩව මැරිය යුතුය යන සිතිවිල්ල ඔහු තුළ අඛණ්ඩව පැවතුණා.එම සිතිවිලි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෘෂ්ටිය ඔහුට බලපාන්නට ඇතැයි සිතිය හැකිය.බුදුරජාණන් වහන්සේ පහළ වන අවධිය තුළ ආචාර්යවරු සිටියා මිස ශාස්තෘවරුන් හෙවත් ගුරුවරුන් නොසිටීම හේතුවන්නට ඇති.

මිථ්‍යා දෘෂ්ටිය

බුදුපියාණන් වහන්සේ ශාස්තෘවරයෙකු මිස ආචාර්යවරයෙකු නොවෙයි.ගුරුවරයාට ගුරු පූජාව වෙනුවෙන් කළ යුතු ඕනෑම කාරණාවක් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති බවට බමුණු ආචාර්වරු තුළ පැවතුණ දෘෂ්ටියකි. එම මිථ්‍යා දෘෂ්ටිය අංඟුලිමාලට එතරම් ප්‍රාණඝාත ප්‍රමාණයක් කිරීම සඳහා පසුබිම ගොඩනැගෙන්නට ඇත. ප්‍රාණඝාත තුළින් ඔබ ගැලවීමට නම්, ඔබ ඒ සඳහා පොළඹවනු ලබනු මෙවැනි දෘෂ්ටීන්ද යන වග පිළිබඳව විමසිලිමත් විය යුතුයි. එම කාරණා නිවැරැදිව වටහා නොගන්නා පුද්ගලයෙකුට ප්‍රාණඝාතයෙන් තමන්ට ගැලවිය නොහැකී. අංඟුලිමාලට අඛණ්ඩව ක්‍රියාත්මක වීමට ඔහු විසින් දරනු ලැබුවාවු වැරැදි මතයක් සහිත වූ දෘෂ්ටිිය නිසා බව බුදුරජාණන් වහන්සේ ඔහුට පැහැදිලි කරමින් දේශනා කරන්නට ඇතී. මම නැවතුනෙමි, ඔබ නවතින්න. යන දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ නවතිනු ලැබුවේ තණ්හා මාන දිට්ඨි යන කාරණා සහමුළින්ම උන්වහන්සේගේ මනසින් ඉවත් කිරීම හේතුකොට ගෙනයි.අංඟුලිමාල අඛණ්ඩව සසරෙන් සසර ගමන් කරනු ලැබුවේ දෘෂ්ටියක් නිසයි. අංඟුලිමාල එය තේරුම් ගත් පසු අපට ඔහු හමුවන්නේ රහතන් වහන්සේ නමක් ලෙසයි. සියලු පව් නොකරන්නෙක් බවට අංඟුලිමාල පරිවර්තනය විය.

වර්තමානය තුළත් ආශිර්වාද පිණිස අංඟුලිමාල සූත්‍රය සඡ්ඣායනා කරනු ලබයි. නැගනියනි, මම ආර්ය ජාතියෙහි ඉපදුන දා පටන් ප්‍රාණඝාතයක් කළේ නැහැ. එම සත්‍ය බලයෙන් නුඹටත් දරු ගැබටත් සෙත් ෙවිවා යන්නයි. අංඟුලිමාල තෙරුන් තමාගේ මනස පවින් ඉවත් කරගනු ලැබුවා. පව කිරීමට ඔහු පොළඹවනු ලැබු ඔහුගේ මානසික දෘෂ්ටිය වෙනස් කරගනු ලැබුවා. ලෝකයේ බොහෝ පුද්ගලයන් තණ්හාව නිසා ප්‍රාණඝාත කරනු ලබයි.අපේ දරුවන්ට කිසිදු කරදරයක් වීමට ඉඩ නොදිය යුතු බවට අප විශ්වාස කරනු ලබයි. දෙමව්පියන් තුළ දරුවන් පිළිබඳව තිබෙන විශාල ආදරය සහ සෙනෙහස ඇතුළත දරුවන්ට එසේ හිරිහරයක් වීමට ඉඩ නොදිය යුතු බවට තීරණය කරනු ලබයි.

තමාගේ දරුවෙකු මදුරුවෙකු දෂ්ට කරනවා දකින අම්මා මදුරුවා පන්නා ගෙස් මරාදමනු ලබන්නේ ද දාරක තෘෂ්ණාව නිසයි.තණ්හාව ඔබව පවට පොළඹවනු ලබන ප්‍රධාන චෛතසිකයක් බව ඔබ හඳුනාගත හොත් එම චෛතසිකයන් තුළින් ඔබට ඉවත් විය හැකී. ලෝක ඉතිහාසය තුළ විශාල තණ්හාවන් හේතුකොටගෙන වියරු වැටුනු පුද්ගලයන් තමාගේම රටක්, තමාගේම ශුද්ධ වූ දේශයක් නිර්මාණය කරගත යුතුයැයි සිතූ දැඩි තෘෂ්ණාධික මිනිසුන් ලෝකය තුළ විශාල මිනිස් සංහාර කර නැතිවා නොවෙයි

තෘෂ්ණාව

යුරෝපා ජාතීන් ආසියාව සොයාගෙන එනු ලැබුෙවිද, විශාල තණ්හාවක් තුළයි. තණ්හාව නිසා සොරකම් කළ හැකිය. තණ්හාෙවි උපරිමය තුළ කාමමිත්‍යාචාරයට ගමන් කළ හැකිය.සැමියා සිටියදීම ඔහු ඉක්මවමින් කාමමිථ්‍යාචාරයට ගමන් කළ හැක්කේද උපරිම තෘෂ්ණාව නිසයි. බිරිඳ සිටියදීම බිරිඳ ඉක්මවමින් වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමට ස්වාමිපුරුෂයෙකුට හැකියාව ලැබෙන්නේම කාමයෙහි උපරිමයට යාම තුළයි. තණ්හාෙවි උපරිමය හෙවත් විෂම ලෝභය අභිජ්ඡාව නම් වෙයි. එම අවස්ථාව තුළ මිනිසුන්ට සොරකම් කළ හැකිය. තමා විසින් යහපත් ආකාරයෙන් නීත්‍යානුකූලව උපයන දේ පමණක් නොව වෙනත් පුද්ගලයන්ට අයිතිව පවතින දේටත් අප තණ්හා කරනු ලබයි. කාමමිථ්‍යාචාරයට යන්න එපා යනුවෙන් ඔබට කෙතරම් අවවාද කරනු ලැබුවද, ඔබ විසින් චෛතසිකයන් හඳුනාගනු නොලැබුව හොත් අඛණ්ව ක්‍රියාත්මක වීමට පෙළඹෙයි. මම අයහපත් කාර්යයක් කරනවා නම්, එම අයහපත් කාරණාව ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මනෝභාවයන් මොනවාද? යන්න පිළිබඳව හඳුනා නොගත හොත් එයින් ඉවත් වීමට කාටවත් හැකියාවක් නොලැබෙයි.

මානය

මානය විශාල වශයෙන් අප පව් කිරීමට පොළබඹවනු ලබන චෛතසිකයකි. දඹදිව වන්දනාවෙහි යන පිරිස් බොහොම ආකර්ෂණීය ස්ථානයක් ලෙස සාජහාන් රජු විසින් ඉදිකළ ටජ්මහල් නැරඹීමට විශාල උනන්දුවක් දක්වයි. එම නිර්මාණය ඒ තරමට ලස්සන වුවත්, එම නිර්මාණය තුළ පවතින කතාන්තරය ඉතාම අවලස්නයි. ලස්සනට මැණික් ඔබ්බවමින් කර ඇති යෝධ නිර්මාණය බොහෝ මිනිසුන් ගේ දෑස් වගේම අතපය ද අහිමි කළා.ඇතැම් මිනිසුන්ට ජීවිතයම අහිමි කළා.මෙවැනි නිර්මාණයක් ලෝකය තුළ කොතැනකවත් නිර්මාණය නොවිය යුතු බවට සාජහාන් රජු කල්පනා කළා.එම නිර්මාණය අවසන් විමත් සමඟ නිර්මාණකරුවා සමූල ඝාතනය කිරීමක් සිදු විය. ඔහුට එතරම් විශාල ප්‍රාණඝාත ප්‍රමාණයක් කිරීමට හා මිනිසුන්ට එතරම් වද ප්‍රමාණයක් දීමට ඔහුට හැකියාව ලැබුණේ ඔහු තුළ පැවැති මාන්නයයි. මිනිසුන් අඛණ්ඩව පව් කිරීම තුළ පවත්වාගෙන යාමට මාන්නය ප්‍රබල බලපෑමක් කරන චෛතසිකයකි.

තණ්හාවට නොඇලි, මාන්නයට නොඇලීම , දෘෂ්ටිවල නොඇලීම හෙවත් තණ්හා මාන දිට්ඨි ප්‍රාණඝාතයට යොමු කරවන ඒ සඳහා අප මෙහෙයවන ප්‍රබල චෛතසිකයන් බව හඳුනාගත යුතුයි . එම නිසා යම් කාරණාවක් කිරීමට පෙර මෙවැනි දේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙයි.මෙම කාරණාවන් අවබෝධ කරගත හොත් ඔබ කරනු ලබන්නේ කුමක්ද? යන්න පිළිබඳව විමසා බැලීමට ඔබ පසුපස කවුරුන් හෝ සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.බෞද්ධ පිරිස මෙවැනි කරණා සිදුකරනවාද? යන්න පරීක්ෂා කිරීමට පොලීසිය අවශ්‍ය නැහැ.මිනිසුන් තමන්ගේ චෛතසිකයන් හඳුනා නොගැනීම නිසා පොලීසියක අවශ්‍යතාව ඇති වෙයි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස උඳුවප් පුර අටවක පොහෝ දින (දෙසැම්බර් 07 වනදා ) පත්‍රයේ පළ වේ.