Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

සංග්‍රාමයෙන් පැරැදී ජීවත්වීමට වඩා මියයාම යහපතැ’යි පිළිගනිමින් සම්, ඇට , නහර පමණක් ශේෂව මස් , ලේ සිඳී යනතුරු සිදුකළ දුෂ්කර චර්යාවන්ගෙන් මිනිසුන් උදෙසා මිනිසකු පෙන්වූ මහා ව්‍යායාමය බෝසත් සිරිතෙන් දිස් විය. සංවේදී සැදැහැවතෙක් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ආරම්භ කරන අයුරුයි මේ. වෙසක් සතිය තුළ බුදු සිරිත පිළිබඳව විවිධ තොරතුරු විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මගින් ඔබට දකින්නට, අසන්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේ යනු කවරෙක්ද? යන මාතෘකාව ඔස්සේ එබඳු සටහනක් ඉදිරිපත් කරන්න.

පිළිතුර

ජන්මයෙන්ම ලැබූ පරම සුකුමාර කුමර දිවිය අතහැර දැමීමෙන්ද ගුරු කුලයට, වන අරණින් වන අරණට, දනව්වෙන් දනව්වට, තපෝ භූමියෙන් තපෝ භූමියට ගමන් කරමින් සාවුරුදු සමයක් කාය ජීවිත නිරපේක්ෂකව (බලාපොරොත්තු නැතිව) පරම සුඛෝපභෝගී කාමසුඛල්ලිකානු යෝගයත්, තියුණු කටුක දුක්වේදනා සහිත අත්තකිලමථානුයෝගයත් ස්වකීය අභිමතාර්ථ සාධනයට හේතු නොවූ හෙයින් එක සිතින් ම ඒ දෙමඟින් ඉවත් වූ බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතින් විමුක්ති මඟට ප්‍රවිෂ්ඨව උරුවෙලාවෙහි ගයාහි නේරංජනා නදී තීරයෙහි ඇසතු බෝරුක් මුල්හි දී අජර, අමර, අනුත්තර, යෝගක්ඛෙම, ශාන්තිවර පදනම් නිර්වාණය සාක්ෂාත් කළහ. සත්‍යාවබෝධය ලත් මෙතැන් පටන් උන්වහන්සේ බුද්ධ, සම්බුද්ධ, අභිසම්බුද්ධ, සම්මා සම්බුද්ධ යන නම්වලින් ලෝ පතළ වූහ.

චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් උන්වහන්සේ බුද්ධ නම් වෙති. සත්ත්ව ප්‍රජාවට සත්‍යාවබෝධය ලබාදෙන හෙයින් බුද්ධ නම් වෙති. සියල්ල දක්නා හෙයින් බුද්ධනම් වෙති. “බුද්ධ” යනු කවරෙක් ද?

”බුද්ධ” යන නාමය මව්පියන් විසින් උන්වහන්සේට තබන ලද්දක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධි මූලයෙහි දී සර්වඥතා ඥානය සාක්ෂාත් කිරීමෙන් ලබන ලද ප්‍රඥප්තියකි . (සම්මතයකි)

බුදුරජාණන් වහන්සේගේ පා සටහන මංගල ලක්ෂණ දුටු ද්‍රෝණ නම් එක් බ්‍රාහ්මණයකු උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

’ඔබ වහන්සේ දෙව් කෙනෙක්ද?

නැත . බ්‍රාහ්මණය – මම දෙවි කෙනෙකු නොවෙමි.

එසේ නම් ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද?

නැත. බ්‍රාහ්මණය – මම ගාන්ධර්වයෙකු නොවෙමි.

එසේ නම් යක්ෂයෙක්ද?

මම යක්ෂයකු ද නොවෙමි.

එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද?

නැත. බ්‍රාහ්මණය මම මනුෂයකු ද නොවෙමි.

දෙවියකු , ගාන්ධර්වයකු, යක්ෂයකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා විසින් සිඳ දැමූ බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ “නෙත් අඳන මනහර පියුමක් දියෙහි පිපුණත් නොගැටී දියෙහි දියමත පියකරුව බබළන මෙන් දිනු මුත් ලෝ තුළ වසන්නෙමි ඉන් නොකෙලෙසී බුදු කෙනෙකි. එහෙයින් බමුණ මා මෙම මනුලොව “ යනුවෙන් වදාළහ.

තමන් වහන්සේ ජාති, ජරා, මරණයෙන් මිදී පරමාර්ථ සත්‍යාධි ගම්‍ය කොට තමන් විමුක්තිය සාධනය කරගත් මාර්ගය හෙළි කිරීම පමණක් බුදු පියාණන් විසින් කරන ලදී. සසර දුකෙන් මිදෙන්නට කැමැති බුද්ධ ශ්‍රාවකයන්ට එම මාර්ගය අනුගමනය කරන්නට අවස්ථාව සැලසී තිබේ.

බුදුරජාණන් වහන්සේ මනුෂයෙකු වූහ. මිනිසෙකු වශයෙන් උපත ලබා බුදුවරයකු වශයෙන් ජීවත්ව බුදුවරයකු ලෙස පිරිනිවන් පෑහ. මිනිසකු වුව ද සිය සුවිශේෂී ගුණාංග හේතුවෙන් උත්තරීතර මනුෂ්‍යයකු බවට පත් වූහ.

ප්‍රශ්නය

සිදුහත් බෝසතාණන්ගේ අභිනිෂ්ක්‍රමණය හෙවත් ගිහි ගෙයින් නික්මීම පිළිබඳව දේශනා පාලියට සමගාමීව දළ සටහනක් කරන්න.

පිළිතුර

සිදුහත් කුමරු මෙසේ කල්පනා කරයි. උපත,ජරාවට පත්වීම, මරණය ආදී දුක් කම්කටොලු උරුම කරගෙන උපන් මම, එබඳුම ස්වභාවය ඇති දේ පසුපස ලුහුබඳින්නේ කුමකටද? එබඳු ස්වාභාවය උරුමකරගත් මා ඒවායේ ආදීනව හඳුනාගෙන මෙතෙක් අත්පත් කර නොගත් අනුත්තර වූ නිවන් සුවය වෙත ළඟාවීම යහපත් නොවේද? ගෘහස්ථ ජීවිතය බාධක සහිතය.

කෙලෙස් දූවිල්ලෙන් පිරුණේය. ගිහිගෙය හැර අනගාරිකත්වයට පත්වීමෙන් ලබන පැවිද්ද අභ්‍යාවකාශය මෙන් නිදහස්ය. ගිහි ජීවිතයට බැඳී වසන්නවුනට පැවිද්දන්ට මෙන් පරම පවිත්‍ර බ්‍රහ්මචාරී ජීවිතය අංග සම්පූර්ණ ලෙස ගත කිරීම පහසු නොවේ.

එක් ප්‍රබෝධ ජනක දිනයක අවට ලෝකයේ තතු දැක ගැන්ම පිණිස සිදුහත් කුමාරයා මාළිගයෙන් පිටත්ව මඟුල් උයන වෙත ගමන් ඇරැඹීය. එදා හෙතෙම ජීවිතයේ සැබෑ තතු පියවි ඇසින් දැකගන්නට සමත් විය. රජ මාළිගයේ සීමා තුළ ඔහු දැක තිබුණේ ජීවිතයේ සුවපහසු චමත්කාර ජනක පැත්ත පමණකි. සුළු, මහත් ප්‍රාණීන්ටම උරුම වූ අඳුරු පැත්ත සිතාමතාම ඔහුගෙන් වසා තිබිණි. ඔහු සිතින් මවාගෙන තිබුණු තත්ත්වය මුල් වතාවට හෙතෙම සියැසින් දැක ගත්තේය. උයනට යන අතරමගදී ඔහුගේ තියුණු ඇසට මෙතෙක් නොදුටු දර්ශනය වූ විරූපි වී ගිය කය මහලු මිනිසකු, රෝගාතුර පුද්ගලයකු, මෘත ශරීරයක් හා පැවිදි උතුමකුද විය. මුල් දර්ශන තුනෙන් ජීවිතයෙහි අනුල්ලංඝනීය ස්වභාවය හා මනුෂ්‍ය වර්ගයාට සාධාරණ විපත් ස්වභාවය මනාව අවබෝධ විය. සිව්වැන්නෙන් ජීවිතයේ දුක් සමූහයෙන් මිදී නිවීම හා සැනසීම අත්පත් කරගන්නා ආකාරය හැඟවිණි. මේ සතර පෙරනිමිති දැක්මෙන් සසර පිළිබඳ කලකිරීම හා අභිනික්මන කෙරේ කැමැත්ත බලවත් ලෙස වැඩී ගියේය.

ලෝකයා විසින් උත්කර්ෂයෙන් අගය කරනු ලබන කාම සුඛාස්වාදයෙහි නිසරු බව හා නුවණැත්තන් සතුටෙන් වැළඳගන්නා නෛෂ්කරණයෙහි අගය අවබෝධ කරගත් හෙතෙම සත්‍ය හා සදාකාලික නිවන් සුවය උදෙසා සියල්ල අතහැර යන්නට තීරණය කළේය,

බොහෝ ගැඹුරින් කල්පනා කර හිතා මතා අවසන් තීරණය ගත් පසු උයනෙන් පිටත්වීමට සැරෙසන අතර පුත් කුමරකු උපන් පුවත ඔහුට දැනුම් දෙන ලදී. මේ පුවතින් ඔහු මහත් ආනන්දයට පත් වෙති’යි අපේක්ෂා කරන ලද්දේ වුව ද ඔහු කල්පනා කළේ සිය ප්‍රථම හා එකම දරුවා බැම්මක් ලෙසය. මෙය සාමාන්‍ය පියකු ප්‍රීතියෙන් ඉපිලයන පුවතක් වුවද විශේෂ ගණයේ පියකු වූ සිද්ධාර්ථ කුමරු කියා සිටියේ රාහු (බාධාවක්) උපන්නේය. බන්ධනයක් ඇති විය යනුවෙනි. සුද්ධෝදන රජතුමා ඒ වචනයට අනුව තම මුනුබුරුට රාහුල යැ’යි නම් කළේය.

හැඟුම්බරව සිටි සිද්ධාර්ථ කුමාරයාට මාළිගය තවදුරටත් ප්‍රියමනාප තැනක් නොවීය. සියල්ල හැරදමා අභින්ෂ්ක්‍රමණය කිරීමට ඔහුගත් තීරණය රූ සිරින් අගතැන් පත් තරුණ දේවිය නිසා හෝ අලුත උපන් සුරතල් පුත් කුමරා නිසා හෝ නොසැලෙයි. සැමියෙකු පියකු හෝ සක්විති රජකු වශයෙන් ඉටු කරන්නට ඇති යුතුකම් සමුදායට බොහෝ වැඩි අර්ථ සම්පන්න මහා යුතුකමක් ඉටු කරන්නට ඔහුට නියමව තිබෙන සේය. මාළිගයේ ඇති ආකර්ශනීය කිසිවක් තවදුරටත් ඔහුගේ මන බඳනා ප්‍රියජනක දේ නොවේ. සියල්ල හැරයාමට කාලය එළඹ තිබේ. තමා වඩාත් කැමැති රථාචාර්යයකු වූ ඡන්න අමතා කන්ථක අසු සූදානම් කරන සේ උපදෙස් දුන් කුමරු දේවිය සැතපෙන යහන් ගැබ වෙත පිය මැන්නේය. එළිපත නැවැතී තද නින්දේ පසුවන දේවිය හා බිළිඳා දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. මේ සමුගන්නා මොහොතේ සිය ආදරණීය දේවිය හා බිළිඳු කුමරාවෙත ඔහුගේ සිතෙහි වූ කරුණාව මෙතෙකැ’යි කිව නොහේ. එහෙත්, දුක් වේදනා විඳිනා සියලු සත කෙරේ වූ කරුණාව ඒ අභිබවා සිටී. සිය දේවියගේ හා දරුවාගේ අනාගතය ගැන දුක්වන්නට ඔහුට හේතුවක් නොවීය. ඔවුන්ට සියලු යස ඉසුරු සහ ආරක්ෂාව වුවමනාවටත් වඩා ඇති බව ඔහු දනී. මේ නික්මෙන්නේ ඔවුනට ඇති සෙනෙහසේ අඩුවක් නිසා නොව ඔහු ලෝකයේ සියලු සත්ත්වයාටම බෙහෙවින් ආදරය කරන නිසාය. සියල්ලම සිතින් ඉවත් කර හද සැහැල්ලු කරගත් හෙතෙම හිතවත් රියැදුරා පමණක් සමඟ මැදියම් රැයේ මාළිගයෙන් නික්මී අඳුරෙහිම ගමන් ඇරැඹීය. අතේ කහවනුවක්වත් නැතිව හුදෙකලාව සත්‍යය සොයා යන්නට හෙතෙම පිටත් විය. මේ ඔහු අභින්ෂ්ක්‍රමණය කළ ආකාරයයි. මේ වූ කලී ලෞකික සැප විඳ නිමකළ මහල්ලකු තවුස් දම් රකින්නට ගිය ගමනක් නොවේ. එමෙන්ම අත්හරින්නට කියා කිසිවක් නොතිබූ දුගී දුප්පත් තැනැත්තකුගේ පැවිදිවීමක් ද නොවේ. සෞභාග්‍යයෙන් සශ්‍රීක වූ පැහැබර යෞවන වයසේ විසූ රාජකුමාරයකු කළ අභින්ෂ්ක්‍රමණයකි. මෙබඳු” අභිනික්මන” මානව ඉතිහාසයේ තවත් නොවීය. සිද්ධාර්ථ කුමාරයා මේ ඓතිහාසික ගමන ගියේ වයස විසි නවයේදීය. බොහෝ දුර ගමන්කර අනෝමා නදිය තරණය කළ කුමාරයා එහි ඉවුරෙහි ගිමන් හළේය. එහිදී කෙස් , රවුල් කපා සිය රජ ඇඳුම් හා ආභරණ පිය රජතුමාට බාර දෙන්නැ’යි ඡන්න අතට පත්කළ සිද්ධාර්ථ කුමරු තවුසන් පොරවන කහවතක් පොරවා අපිස් ජීවිතයක් ආරම්භ කළේය.

සියලු සුව සම්පත් මැද වැජඹුණු සිද්ධාර්ථ තරුණ කුමරු දැන් කිසිත් නැති පරිත්‍යාගශීලීන් විසින් දෙනු ලබන ලද යමකින් යැපෙන දුගී තවුසකු බවට සිය කැමැත්තෙන්ම පත් විය. සිදුහත් තාපසතුමාට ස්ථීර නවාතැනක් නොවීය. තුරු සෙවණක් හෝ පාලුවට ගිය ගල්ගුහාවක් වැනි තැනක් දිවා කල මෙන්ම රාත්‍රියෙහි එතුමා ගේ නවාතැන විය.

හිස් වැසුමකින් හෝ පාවහනකින් තොරව ගිනි අව්වේ මෙන්ම දැඩි සීතලයේද එතුමෝ සංචාරය කළහ. එසේම තමා සතු කිසිවකින් තොරව තම සත්‍ය ගවේෂණ කාර්යය කරගෙන ගියේය.