Print this Article


අට තිසක් මංගල

අට තිසක් මංගල

සැරියුත් මහ රහතන් වහන්සේ, රාහුල පොඩි හාමුදුරුවෝ මේ සෑම උත්තමයෙක්ම බොහොම නිහතමානියි. නිහතමානී ගුණාංගයන්ගෙන් කෙනෙක් සවිමත් විය යුතුයි. මාන්නය, අහංකාරය, කුහකකම් දුරු කිරීම මංගලයි

මෙම ලිපියෙහි තවත් කොටසක් ඉල් අවඅටවක පෝදා(නොවැම්බර් 21) පත්‍රයේ පළවිය.

අඹුදරුවන්ට, තමන්ගේ ස්වාමි දියණියට, අනිවාර්යෙන්ම සැලකිය යුතුයි. ස්වාමි දියණියත් තමන්ගේ ස්වාමියාට සැලකිය යුතුයි. එයත් මංගල කරුණක්. කාටවත් කරදරයක් පීඩාවක් නොවන ධාර්මික කර්මාන්තයෙන් දිවි ගෙවන්න. සත්ත්ව ඝාතනය, සොරකම, කාම මිත්‍යාචාරය අයහපත් කර්මාන්ත අධාර්මිකයි. එය මංගල වචනයට අදාළ නැහැ. මංගල යනු දැහැමිව දිවි ගෙවීමයි.

“දානංච ධම්ම චරියාච ඥාතකානංච සංගහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං” මෙහි අරුත දීම නොහොත් පරිත්‍යාගයයි. එයත් අනුග්‍රාහක බුද්ධියෙන් දීම, පූජා බුද්ධියෙන් දීම ආදියෙන් විවිධාකාරයි. එය කුමන ක්‍රමයකින් හෝ කමක් නැහැ . ආමිස දානය, අභය දානය, ධර්ම දානය පූජාවන් පවත්වන ක්‍රමයි. කෙසේ හෝ තම සිතේ දාන අධ්‍යාසය තිබිය යුතුයි. මසුරුමල දුරු කර පරිත්‍යාග චේතනාවෙන් තම දෑතින් යමක් දීම පරිත්‍යාගයයි. එය පාරමිතා සංඛ්‍යාවටත් වඩා ප්‍රභලයි. දිවි හිමියෙන් දන්දීම දාන පරමත්ත පාරමිතාවයි. එසේනම්, මංගල යනු දන්දීමට වදනක්. මසුරු මල ඇත්තෝ දන් දීමට විරුද්ධයි. ඒ අය මංගල නෙවෙයි අවමංගලයි. එසේනම්, දන්දීම මෙලොව ජීවිතය සැපවත් කරන වාසනාවන්ත බව උදාකරන දහමක්. දන්දීමේ ආනිශංසයෙන් සංසාර ගමන දුකක්, පීඩාවක්, සා පිපාසාවක් නැතිව සැපයෙන් වාසය කරන්න පුළුවන්. එය පාරමිතාවක් ලෙස ප්‍රගුණ කළොත් ශාන්ති ලක්ෂණ අමා මහ නිවනින් සැනසුම ලබන්න පුළුවන්. ධර්මයේ හැසිරෙන්න. සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, කේළම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, දැඩි මසුරුකමෙන් වැළකීම, තරහවෙන් – වෛරයෙන් වැළකීම, මිසදිටු බවෙන් වැළකීම ආදියෙන් කරුණු කාරණාවෝ දහයකි. මේවා හඳුන්වන්නේ දස කුසල කර්ම පථ ලෙසයි. මේ ගැන බුදු දහමේ මනාකොට පැහැදිලියි. කෙනෙකුගේ ජීවිතය සරු සාර කරගන්න, ජීවිතය සැපවත් කරගන්න අවශ්‍යවන්නේ දස කුසල කර්ම පථයි. ඒ මගින් වැරැදි නොකර යහපත්ව ජීවත්වන්න පුළුවන්. ඥාති සංග්‍රහයත් බොහොම වැදගත්. නිවසට පැමිණෙන දන්නා කියන කාටත්, තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්, මව්පිය පස කොයි කාටත් සමසේ සලකන්න. තේ වතුර ටිකකින් හෝ කෑම බීමෙන් හෝ ආශිර්වාදයෙන් හෝ සංග්‍රහ කිරීම මංගලයි. ඥාතියෙක් නිවසට පැමිණියොත් කිසිවිටකත් මග හැර යන්නට එපා . කතා බස් කරලා සංග්‍රහ කරලා තමන්ගේ වැඩ කටයුතු කිරීම දියුණුවේ දොරටුවයි. එය මංගලයි.

නිවැරැදි කර්මාන්ත කළ යුතුයි. වස විස වෙළෙඳාම, මස් පිණිස සත්ත්ව වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම, වහල් වෙළෙඳාම අකැපයි. ගොවිතැන, ගව පාලනය, කෘෂි කර්මාන්තය බුදුරදුන් අනුදැන වදාළා. එය දියුණු කර ගැනීම මංගලයි. “ආරති විරති පාපා මජ්ජිපානාච සංඥමෝ, අප්පමාදේසු ධම්මේසු ඒතං මංගල මුත්තමං තවත් මංගල කරුණු කිහිපයක්. “ආරති විරති පාපා යනු පවින් වැළකීමයි. සිතෙන් , කයෙන්, වදනෙන් පව් කරන්න එපා කිව්වේ ආරති විරති පාපා යි. කොයි කාටත් පව් කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍යයයි. ජාති ආගම් භේදයෙන් තොරව කිසිවෙක් පව් කරන්නට එපා කියමන බොහෝ වැදගත්. එසේනම්, පවින් වැළකී පින් දහම් කළ යුතුයි. ‘විරති පාපා’ පවින් වැළකීමයි. නොඇලිය යුතුයි. මජ්ජපානාච සංඥමෝ මත්වතුරෙන් වැළකිය යුතුයි. ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ ශික්ෂාපදයට අනුව මත් වතුරෙන් වැළකිය යුතුයි. මල්, පිටි, පළතුරු, සීනි , බත් ආදී ඉඳුල් වලින් පෙරාගත් සියලු සුරා පංච සුරායි. කෙසේ හෝ මත්වීමට හේතු සාධක ඇති සුරා යම්කිසි කෙනෙක් පානය කරන්නේ නම් එය සුරාපානයයි. එයින් වැළකීම මංගලයි. ඒ මඟින් ධනයේ දියුණුව, ආර්ථිකයේ දියුණුව, පුද්ගල දියුණුව සලසා ගන්න.

අප්පමාදෝච – අප්‍රමාදීව කටයුතු කරන්න. සිහි කල්පනාවෙන් වැඩ කිරීම අප්‍රමාදයයි. යම් කිසිවෙක් අප්‍රමාදීව දිවි ගෙව්වොත් කිසිම පිරිහීමක් නැහැ. ඒ නිසා එය මංගල යි. අප්‍රමාදීබව කෙනකු තුළ නොතිබුණොත් දියුණුවක් ලබන්න කිසිවිටකත් බැහැ. එහෙම අයෙක් කරන පින්කමෙන් උසස් ඵල ප්‍රයෝජනයක් ලබන්න බැහැ. එයට හේතුව, සිහි කල්පනාව නැතිකමයි. මෙය හොඳට දැන කියාගෙන කටයුතු කළ යුතුයි.

ගාරවොච නිවාතොච – සන්තුට්ඨිච කතඥුතා
කාලේන ධම්ම සවණං – ඒතං මංගල මුත්තමං

තමාට වඩා දවසකින් හෝ වැඩිමහල් වූ වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන්න. බුදුන් වහන්සේ අන්‍යයන්ට ගරු කිරීම අගැයුවා. අසුනක් පැනවීම, අසුනෙන් නැගී සිටීමේ ගුණාංගයන් ගැන දීර්ඝ දේශනාවන් වදාළා. පැවිදි භික්ෂූන් වහන්සේ ගෞරව දක්වන්නේ උපසම්පදාවට අනුවයි. දවසකින් හෝ උපසම්පදාවෙන් වැඩිමහල් නම් ඒ තැනැත්තාට වඳින්න. අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක් වුවද අද උපසම්පදා වුණොත් ඊයේ උපසම්පදා වූ අවුරුදු 20ක උත්තමයාට අවුරුදු 50ක වයසැති පුද්ගලයා වැඳිය යුතුයි. එය ගාරවොච’යි. වැඩිහිටියන්ට ගරු බුහුමන් නොදක්වන්නාට ඇත්තේ පිරිහීමයි. ජාතක දේශනා ඇසුරෙන් පවා වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාළා. ‘නිවාතොච’ යටහත් පැවතුම් තිබිය යුතුයි.

සැරියුත් මහ රහතන් වහන්සේ, රාහුල පොඩි හාමුදුරුවෝ මේ සෑම උත්තමයෙක්ම බොහොම නිහතමානියි. නිහතමානී ගුණාංගයන්ගෙන් කෙනෙක් සවිමත් විය යුතුයි. මාන්නය, අහංකාරය, කුහකකම් දුරු කිරීම මංගලයි.

‘සන්තුට්ඨිච’ ලද දෙයින් සතුටුවීවමයි. තමාට යම් පමණ දෙයක් ලැබේද එයින් සතුටුවිය යුතුයි. ,ඊට වඩා යමක් ලැබීමේ අපේක්ෂාවෙන් අකැප වෙළෙදාම් නොකළ යුතුයි. අකැප වෙළෙඳාම බුදුදහමේ ප්‍රතික්ෂේපිතයි.

තමා ලද දෙයින් සතුටු විය යුතුයි. තමාගේ පිනේ හැටියට යමක් ලැබෙනවා නම් ඒ ගැන සතුටුවීම අගේ බව බුදු දහමෙන් පෙන්වා දෙනවා.

‘කතඥුතා’ කළ ගුණ සලකන බවයි. තමාට යම් උපකාරයක් ලැබුණානම් එයට ප්‍රතිඋපකාර කළ යුතුයි. කෘතවේදී යනුවෙන් බුද දහමේ පද දෙකයි. කළගුණ දත් බව , කළ ගුණ සැලකීම දෙආකාරයි. යම්කිසි කෙනෙක් තමන්ට උදව්වක් කළොත් තමනුත් එයට කළගුණ සැළකිය යුතුයි. එයයි, කෘතඥ. එය කෘතවේදී යනුවෙන් දේශනා කළා. එසේනම්, කළගුණ සැලකීමෙන් තමන්ගේ දියුණුව හොඳින් සලසා ගැනීම මංගලයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ් අභියස දවස් හතළිස් නවයක් ගෞරව බහුමානයෙන් කළගුණ සැලකුවා. එය සත්සතියයි. සත්සතියේදී විවිධ ස්ථානයන්හි වැඩ සිටිමින් බෝධීන් වහන්සේට ගරු බුහුමන් කළා. සත් දිනක්ම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවෙන් පිදුම් දුන්නා. ඒ තමන් වහන්සේගේ පාරමිතා මුදුන්පත් වීමෙන් බෝධීන් වහන්සේට කරන ලද ගෞරවයයි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස ඉල් පුර අටවක පෝදා(දෙසැම්බර් 07) පත්‍රයේ පළවේ.