Print this Article


දරුවන්ට ලබාදිය යුත්තේ සැපද? පහසුකම්ද?

දරුවන්ට ලබාදිය යුත්තේ සැපද? පහසුකම්ද?

සැප සහ පහසුකම් යනු එක කාරණාවක් ලෙස සිතීම බරපතළ මුලාවකි. පහසුකම් තුළින් සැප ලැබුණද,සැප සඳහා පහසුකම් එක්කිරීම අප විසින් කරගන්නාවූ බරපතළ අපරාධයකි.මෙම කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා නම්, සාමාන්‍යයෙන් අප වාහනයක් මිළදී ගනුලබනුයේ ගමනක් යාමේ පහසුව ඇතිකර ගැනීම සඳහායි.එය අපගේ පහසුවයි.

එහෙත් යමෙක් වාහනයක් පාවිච්චි කරනු ලබනුයේ සැප සඳහා නම්,ඔහු එම පහසුකම් වැරැදි භාවිතාවක හෙවත් අවභාවිතාවක යොදවනු ලබයි. කිසියම් පුද්ගලයෙකු පයින් ගමන් කරනවා නම්, එම තැනැත්තාගේ ශරීරය තුළින් දහදිය දමනු ලබයි. දහදිය දැමීම නිසා ඔහුගේ රුධිර ප්‍රමාණය දහනය වී සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු බවට පත්වෙයි. එම නිරෝගී පුද්ගලයා එම නිරෝගීතාවය ලබන්නේම ඔහුගේ ශරීර අභ්‍යන්තරික සීනි ප්‍රමාණය ශාරීරිකව දහනය කිරීෙමි ප්‍රතිඵලය තුළයි. එහිදී එම පුද්ගලයා තමාට දුර ගමනක් යාම උදෙසා මෙයට වඩා පහසුවක් වනවා යැයි සිතා යම්කිසි ආකාරයක වාහනයක් ගැනීම තුළින් ඔහු පහසුවක් ලබාගනී. ඔහු එම පහසුව ලබාගැනීමෙන් පසු එයට ඇබ්බැහි වීම තුළ පයින් ගමන් කිරීම අතහරිනු ලබයි. එහිදී එම පහසුකම සැපයක් බවට පත්කරගන්නා ඔහු එහි වායුසමීකරණ යන්ත්‍රය ද නිරන්තරයෙන් භාවිත කරනු ලබයි මේ තුළින් පහැදිලි වන කාරණාව නම්,පහසුකම් අත්‍යවශ්‍යමුත් සැපය සඳහා පහසුකම් පාවිච්චි කිරීම වැරැදි භාවිතාවක් වන බවයි. ඉතාමත් නිරෝගී ශරීරයකට හිමිකම් කියන ශ්‍රේෂ්ඨයන් හෝ ජන නායකයන් අප දැක ඇත. වර්තමානය තුළ බැරැක් ඔබමා උදාහරණයක් ලෙස ගත හැකිය. බැරැක් ඔබාමා කඩවසම් සිරුරක් සහිත පුද්ගලයෙකි. විශාල සිරුරකට හිමිකම් නොකියන ඔහුගේ ගමන බිමනද තුළ පවා ඉතාම කඩිසර බවක් දක්නට ලැබෙයි. ඔහුට කවර නම් සැපයකින් අඩුවක්ද?ඔහුගේ ගමන් බිමන් සඳහා වාහන පමණක් නොවෙයි, ගුවන් යානා පවා භාවිත කළ හැකිය.එහෙත් ඔහු ඉතාම නිරෝගී ශරීරයක් සඳහා පහසුකම් පරිහරණය කරන පුද්ගලයෙක් මිස සැප පරිහරණය කරන පුද්ගලයෙක් නොවෙයි.

මෙම කාරණාව දෙමව්පියන්ට සහ දරුවන්ට අදාළව සළකා බැලිය යුතුයි.සාමාන්‍යයෙන් දෙමව්පියන් උත්සාහ කරනු ලබන්නේ දරුවන්ට පහසුකම් ලබාදීමටයි. එහෙත් එම ලබාදෙන්නාවූ පහසුකම් ඉතාම නරක භාවිතාවකට යොදවනවා නම්, එම අයහපත් භාවිතයෙහි යෙදවීමෙන් පහසුකම් ලබන්නා යහපතක් කරගනු ලබන්නේ නැහැ. දරුවෙකුට ඉගෙනීම සඳහා පහසුකම් අවශ්‍ය වුවද, දරුවන් සඳහා පහසුකම් ලබාදෙනවා වෙනුවට දරුවන් වෙනුවෙන් සැප ලබාදීම දෙමව්පියන් විසින් කරනු ලබයි. නිවස තුළ සිට පාසල වෙත ගමන් කිරීම සඳහා දරුවාට පහසුකමක් අවශ්‍යයි. නිසි ෙවිලාවට පාසලට ළඟාවීමේ පහසුකම තිබිය යුතුයි. එහෙත් නිවසින් පිටවී වාහනයටද, වාහනයෙන් බැස පන්ති කාමරයටද, යාමට තරම් සැප ලබාදීම පහසුකමක් ලබාදීම නොවන බව දෙමව්පියන් විසින් අවබෝධ කරගත යුතුයි. දරුවන්ට පහසුකම් ලබාදීම තුළ ඉතා වැදගත් කරුණක් ගැබ්ව පවති. උසස් පෙළ විභාගයට පිළිතුරු ලිවීමට සූදානම් වූ එක්තරා දරුවෙකු විසින් විභාගයට මාස හයකට පෙර විභාගය නොලියා සිටීමට ගත්තාවූ තිරණයක් පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.විභාගය සඳහා අවුරුදු දොළහක් පාසල් ගිය දරුවා අවසන් මාස හය තුළ විභාගය නොලියන්න තීරණය කරයි. පෑන් පැන්සල් , පොත්පත් බෑග් උතුරායාමට තරම් ඔහු සතුයි. දරුවා පාසල වෙත රැගෙන යාම සඳහා ඒ වෙනුවෙන් වාහනයක්ද තිබෙනවා නම් දරුවාට කිසිදු අඩුවක්ද තිබුනේ නැහැ.ළමයින් පාඩම් කරනු ලබන්නේ පෑන්, පැන්සල්, බෑග් යාන වාහන තුළින් නොවන බවට එම දරුවාට ප්‍රකාශ කරනු ලබයි. ළමයින්ට පාඩම් මතක සිටින්නේ රියදුරෙකු සමඟ වාහනයක් ලබාදීම තුළින් නොවන බව දරුවා ප්‍රකාශ කරනු ලබයි. ළමයින් පාඩම් ඉගෙන ගනු ලබන්නේ පහසුකම් තුළින් නොවන බවත් , දරුවෙකුට පාඩම් මතක සිටීමට නම්, නිදහස් මනසක් තිබ්ය යුතු බවට දෙමව්පියන් දැනුවත් කළ යුතු බව දරුවා ප්‍රකාශ කරනු ලබයි.දරුවා පාඩම් කරනු ලබන්නේ වාහනයෙන් හෝ මුදල්වලින් නොවන බවත්, දරුවා පාඩම් කරන්නේ නිදහස් මනසින් බවත් දෙමව්පියන්ට පැහැදිළි කරදිය යුතු බවයි.ඒ අනුව දරුවාට පාඩම් මතකයෙහි රැඳෙන්නේ මනසට නිදහස ලබාදීමෙන් බව අවබෝධ කරගත යුතුයි. විභාගය අවසන් වනතුරුවත් අම්මා තාත්තා සමඟත් තාත්තා අම්මා සමඟත්, සමඟියෙන් සිටින ලෙසට දරුවා ඉල්ලා සිටී. පොත් පත්, පෑන් පැන්සල්, බෑග් තුළින් අඩුවක් නොමැති වුවද, කිසිදු පාඩමක් සිත තුළ රඳවා තබාගැනීමට තරම්,මගේ සිත නිදහස්් නැහැ. දරුවාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ පාඩම් කරනු ලබන්නේ පැහැදිලි නිරවුල් මනසින් මිස ශරීරයෙන් නොවන බවයි. දරුවන්ට කන්න දෙනවා නම්, බොන්න දෙනවා නම්.තව මොන කෙණ්ගෙඩියද ඕන කියන්නේ යනුවෙන් ඇතැමෙක් ප්‍රකාශ කරනු ලැබුවද, මේ සියල්ලම දෙනවා නම්, දරුවන් තවත් ඉල්ලන්නේ මොනවාද? යනුවෙන් සිතයි. දරුවන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මානසික නිදහස වුවද, දෙමව්පින් විසින් දරුවන්ට ලබාදෙනුයේ සැපයි.අප විසින් ජීවත්වූ කටුමැටි ගෙය දරුවාට ලබා නොදිය යුතුයි.එහෙත් හොඳ නිවසක් දරුවාට ලබාදිය යුතු යැයි සිතා දරුවාට සැප ලබාදෙයි. අවසානයේ දරුවාට ගෙයක් හදාගැනීමේ වුවමනාව නැතිව යයි. අපේක්ෂවන් නැති දරුවෙකු බිහි වෙයි. අපේක්ෂාවෙන් තොරවු දරුවා තමාගේ ප්‍රවෙණියෙන් තමාට ලැබුණ මුදල අවභාවිතාවේ යොදවමින් නාස්ති කර දමයි. මම ඔයාට මාළු අල්වා දෙන ආකාරය කියා දෙන්නමි,මාළු අල්වා දෙන්නේ නැහැ යනුවෙන් එක් අවස්ථාවක ලා ඕට්සේ ප්‍රකාශ කර ඇත. මානසික නිදහසේ වැඩීමට දරුවෙකුට අවශ්‍ය වෙයි. එම මානසික නිදහසේ වැඩෙන විට එම දරුවා යම් යම් කාරණා පිළිබඳව අවබෝධයක් ලබාගනී. ලබාගත් අවබෝධය තුළ විභාග සමත් වෙවි. දරුවාට ජීවත් විමට පහසුකමක් හදා දිය යුතු වුවද, පියා විසින් දරුවාට නිවස සැදීම සඳහා ඉඩමද රැගෙන ගෙයද හදා, ටයිල්ද අල්වා වහළයට සිවිලිමද ගසා, වාහනයක්ද රැගෙන අවසානයේ නිවස තුළ පදිංචි කරවිමට තරම් දරුවාට සැප ලබාදීම තුළ දරුවාට එතනින් එහාට යමක් සිතීමේ හැකියාව නොලැබෙයි. එයට අදාළ වන ආකාරයේ ඉඩමක් සොයා තිබීම හෝ මිල මුදල් සොයා තිබීම වැනි පහසුකම් සපයා තිබීම පමණක් වැදගත් වෙයි. එහෙත් ඔහුට ගෙයක් දොරක් සාදා තිබිය යුතුම යැයි කියා සිතීම වැදගත් නැහැ. පහසුකම් සහ සැප අතර පවතින වෙනස අවබෝධ කරගැනීමට අප අපොහොසත් වී ඇත.

දරුවාට ඉගෙනීම සඳහා ද ජීවත් වීම සඳහා ද පහසුකම් ලබාදිය යුතු වුවත් ඒ වෙනුවට සැප සම්පත් ලබාදී දරුවාට ඒ වෙනුවෙන් ඉඩම් කඩම් ගෙවල් දොරවල් ලබාදෙන ඇතැමි දෙමව්පියන් දරුවාගේ මනසට නිදහස ලබාදෙන්නේ නැහැ. අප දරුවාට ලබාදිය යුත්තේ සැපද, ? නැතහොත් පහසුකම්ද? අප තේරුම් ගත යුත්තේ පහසුකම් යනු සැප නොවන බවයි. පහසුකම් යනු සුඛෝපභෝගීතාව නොවන බවයි. දෙමව්පියන් විසින් පහැදිලි ලෙස දරුවන් සම්බන්ධව මානසික පහසුකම් ලබාදිය යුතුයි. දරුවාට ඉගෙනීම සඳහා ඉඩකඩ ලැබෙන්නේ එකී මානසික පහසුකම් මතයි. සාමාන්‍යයෙන් අට දහය වැනි වසරවල අධ්‍යාපනය ලබන දරුවන් ඇතැමි අවස්ථා තුළ පාසල් හැරයාමේ තත්ත්වයට පත්වෙයි. පහ වසර ශිෂ්‍යත්වය ලියන දරුවාගේ වයස අවුරුදු දහයක් පමණ වෙයි. එම වයස් මට්ම්මවල සිටින දරුවන්ට අම්මාගේ තාත්තාගේ අර්බුදය පෙනෙන්නේ නැහැ වගේම තේරෙන්නේ ද නැත. එම වයසේ සිටින දරුවාට හෝ දැරියට විෂය කරුණු පිළිබඳව කල්පනා කිරීමට සිතෙයි. සළබයාගේ ජීවන චක්‍රය සමනලයාගේ ජීවන චක්‍රය එම දරුවාට ඉගැන්විය හැකියි. එම දරුවාට ඉර හඳ තරු ලෝක ගෝලය පිළිබඳව, ලංකාවේ ගංඟා ඇළ දොළ පිළිබඳව ඉගැන්විය හැකියි. එහෙත් අම්මාගේ සහ තාත්තාගේ අර්බුද පිළිබඳව හෝ ගෙදර තිබෙන ආර්ථික අර්බුදය ඔහුට නොවැටහෙන නිසයි. එහෙත් අවුරුදු 14, 15 යන වයස් කාණ්ඩවල සිටින දරුවන් තාත්තා විඳින දුක හඳුනයි. අම්මා විඳින දුක දකී. දෛනික පොළී මත ගෙවීමේ ක්‍රමයට ණය ලබාගත් පියාගේ සහ මවගේ අර්බුදය වටහා ගනී.එයට අමතරව පියා මව හැර අන් - කතක් සමඟ පවත්වනු ලබන්නාවූ සබඳතාවද, මව පියා හැර අන්පිරිමියකු සමඟ පවත්වනු ලබන්නාවූ සබඳතාව පිළිබඳව ඔහු සවිඤ්ඤාණික වෙයි. අම්මාගේ සහ තාත්තාගේ අර්බුදය වටහා ගනී. එම දරුවාට කෙතරම් පහසුකම් තිබුණද, එම දරුවා වයස අවුරුදු දහහතරෙහිදී පහළොවෙහිදී මනසින් වැටෙයි. අම්මාට සහ තාත්තාට එක නිදියහනක් එපා නම්, මට ගණිතය එපා යනුවෙන් දරුවා තීන්දු කරයි. අම්මාට තාත්තාට එක මේසය තුළ කෑම කන්න නොහැකි නම්, මට විද්‍යාව එපා යන්න දරුවා තීරණය කරයි. අම්මාට තාත්තාට එක පවුල් ජීවිතයක් එපා නම්, මට දහය වසර එපා. අම්මාට තාත්තාට සමඟිව ජීවත් වීමට නොහැකි නමි, මට ජීවිතය එපා බවට දරුවා තීන්දු කරයි. එබඳු දරුවන් සඳහා සැප ලබාදුන්නාට වැඩක් නැත.එබඳු දරුවන්ට මානසික නිදහසක් නොමැති නම්,ඉගෙනීම සඳහා කවර පහසුකම්ද? එම දරුවන්ට මානසික නිදහසක් ලබාදිය යුතුයි.පහසුකම් ලබාදීම යනු සැප ලබාදීම නොවෙයි. අප උත්සාහ කරනු ලබන්නේ පෑන් පැන්සල් බෑග් යාන වාහන දුරකතන අන්තර්ජාල පහසුකම් වැනි සැප ලබාදීමටයි. එහෙත් අවශ්‍ය වන්නේ පහසුකම් ලබාදීමයි. මක් නිසාද, යත් අධ්‍යාපනයෙන් ඉහළ ගොස් ඇති බොහෝ පිරිස් ඉතාම ඉහළ තැනක ජීවත් වුවද, ඔවුන් පහසුකම් තුළින් ජයග්‍රහණය කළ පිරිසක් මිස සැප භුක්ති වින්ඳ පිරිසක් නොවෙයි. පාඩම් කිරීම සඳහා වුවමනා කරනු ලබන්නේ සද්ධර්මරත්නාවලිය නම්, දරුවාට පුස්තකාලයක් ගෙනත් දීමෙන් ඇති ඵලය කුමක්ද?. පුස්තකාලය කොහේදැයි දැනගන්නවාට වඩා සද්ධර්මරත්නාවලිය දැනගැනීම ප්‍රමාණවත් වෙයි. පුස්තකාලයක් ගෙදර හදා දීම සැප ලබාදීමයි. සැප සහ පහසුකම් අතර අති වෙනස ඉතා සියුම්ව අවබෝධකර ගත යුතුයි.