Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරිපුරයට වැඩම වූ කල එක්තරා ගෘහපති ,ගෘහපතිනි දෙපළක් බුදුරදුන් දුටු විගස “පුතා ඔබ අප හැර මෙතෙක් දා හැසුරුණේ කොහිදැ’යි හඬන්නට වූහ.” මේ අඹු සැමි යුවළ කවුරුන්ද? අවස්ථාව කුමක්ද?

පිළිතුර –

බුදුරජාණන් වහන්සේට නකුලමාතා සහ නකුලපිතූ පන්සිය වාරයක් දෙමව්පියන් වූහ. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය පහවන තෙක්ම වැඩසිට දහම් දෙසූහ. සදහම් ඇසූ දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

ප්‍රශ්නය-  

සුජාත ජාතක කථාව සුමනා නම් සිටු දියණිය අරඹයා දේශනා කොට වදාළ ජාතක කථාවකි. විවාහය පිළිබඳව පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කථාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර –

භාර්යාවෝ සත් දෙනෙකි.

1. වධක භාර්යාව – (ස්වාමී සේවක අසල්වැසි සියලු

දෙනාට කරදර ගෙන දෙන්නාවූ )

2.චෞර භාර්යාව – (ස්වාමියා උපයන වස්තුව විනාශ

කරයි)

3.ආරීය භාර්යාව – (ස්වාමියා අවමානයට

ලක්කරන භාර්යාව)

4. මාතු භාර්යා - (ආදරණිය බව සියලු දෙනා වෙත

පවත්නා තම එකම පුතු ආරක්ෂා

කරන මවක් මෙන් සිටින භාර්යාව)

5. භගිනී භාර්යාව - (සැමියාට සොහොයුර දයාවෙන්

සලකන භාර්යාවයි)

6.සිඛී භාර්යාව – (ස්වාමියාට මිත්‍රස්නේහයෙන් කටයුතු

කරන භාර්යාවය)

7. දාසි භාර්යාව – (සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට

කීකරු බිරිය දාසි භාර්යාවයි)

මෙයින් මාතු, භගිනී, සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ප්‍රශ්නය-

බුදු සමයට අනුව යුක්තිය , සාධාරණය පිළිබඳ ආධිපතිත්වය ශක්‍රයාට හිමිවෙයි. ගුත්තිල , සඳකිඳුරු ආදී ජාතක කථාවලදී ඒ බව පැහැදිලිව දක්නට ලැබෙයි. ශක්‍ර පදවිය වටා ගෙතී ඇති සද්ගුණයන් පාලි පොත් පත්වල බෙහෙවින් දක්නට ලැබෙයි.” මහාලී ලිච්ඡවී සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයෙහිදී මේ පිළිබඳ තොරතුරු රාශියක් ඒ දේශනයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න

පිළිතුර –  (සං.නි. මහාලී සූත්‍ර) මහාලී, ලිච්ඡවී බුදුරදුන් හමුව ඔබ වහන්සේ ශක්‍රයා දැක තිබේදැ’යි ඇසුවේය. එවිට බුදුරදුන් “දිට්ඨො මෙභන්තෙ සක්කො දෙවානමින්දොති” දිට්ඨො මෙ මහාලී සක්කො දෙවානමින්දොති’ මහාලී , මම ශක්‍රයාද දැක ඇත්තෙමි’යි වදාළහ. එය පිළිනොගත් මහාලී වහන්ස, ඔබ වහන්සේ දැක ඇත්තේ “ සක්ක පතිරූපක” ශක්‍රයාගේ ප්‍රතිරූපකයක් (සමාන රූපයක්) විය යුතුයි. කිසිවිටක ශක්‍රයා (දුද්දසොහි භන්තෙ) දැකීමට දුෂ්කර වූ අය වශයෙන් හඳුන්වයි. මෙම සංවාදයෙහිදී ශක්‍ර පදවිය පිළිබඳ බෞද්ධ අර්ථ කථනය පිළිබඳව විවරණයක් දක්නට ලැබෙයි.

මහාලී සක්දෙවිඳු පෙර මිනිස් වූයේම මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් “මඝවන්තු” යැයි කියනු ලැබේ. මහාලී සක්දෙවිඳු පෙර මිනිස් වූයේම, (පුරෙ පුරෙ දානං අදාසීති) පළමුවෙන්ම දන් දෙමින් දායක විය. එනිසාම “පුරින්දද” නම් විය. එසේම ආවාස දානයෙන් “වාසව“ යන නමින් ප්‍රසිද්ධ විය. මොහොතකින් සිතිවිලි දහසක් සිතන හැකියාව නිසා “සහස්සක්ඛ” යැයි කියනු ලැබේ. සක් දෙවිඳුහට “සුජා” නම් අසුර කන්‍යාව ප්‍රජාපති බිරිඳ වූවාය. එහෙයින් “සුජම්පති” යැයි කියනු ලැබේ. තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරුබව අධිපතිවබව ඇතිව රජය කරයි. එහෙයින්ම “දේවානමින්ද’යි කියනු ලැබේ. (සංනි. මහාලි සූත්‍ර)

ප්‍රශ්නය-

මිනිසා තුළ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සද්ගුණයන් අතර අජ්ජව මජ්ජව සොවචස්සතා – කල්‍යාණ මිත්තතා ප්‍රධාන වෙයි. මෙම සද්ගුණයන් පැහැදිලි කරන්න

පිළිතුර –

අජ්ජව හෙවත් ඍජුකම නම් නොපැකිලි තීරණ ගැනීමේ ශක්තිය’යි මජ්ජව හෙවත් මෘදුකම නම් යමක යථාර්ථය අවබෝධ වූ විට එය පිළිගෙන කාරුණික වීමේ මහාත්ම ගුණයයි. පුද්ගල ජීවිතය විනාශ කරන එක් කරුණක් නම් අකීකරුකමයි. එහි යහපත් පැවැත්ම සුසික්ඛිත බවයි. පාප මිත්‍ර සේවනයෙන් වෙන්වීමත් යහගුණයෙන් පිරි “පණ්ඩිතානංච සේවනා” උගතුන්, බුද්ධිමතුන් ඇසුර කල්‍යාණ මිත්‍ර සේවනයයි.

ප්‍රශ්නය-

බුදු දහමෙහි “සෙය්‍යා යනුවෙන් සඳහන් වන්නේ “යහන්ගතවීමයි” හෙවත් නිදා ගැනිමයි යහන්ගත වීම පිළිබඳව එක්තරා ක්‍රම වේදයක බෞද්ධ ආචාර ධර්ම ඇතුළත් වෙයි. ඒ ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර –

1. පෙතසෙය්‍යා – පිශාචයෙක් සේ නිරුවතින්

යහන්ගත වීම

2. කාමසොගී සෙය්‍යා – කාමාශක්ත තැනැත්තෙකු

සයනය

3.සීහ යෙය්‍යා – සිංහයකු සේ යහන්ගතවීම

4.තථාගත සෙය්‍යා – තථාගතයන් වහන්සේ සැතපෙන

ආකාරයට සැතපීම

මේවා අතුරෙන් සිංහ සෙය්‍යාව සහ තථාගත සෙය්‍යාව විශේෂ වෙයි. සිංහයා දකුණු ඇලයට බරව සයනය කරයි. හේ අවදිව උඩුකය ඍජුව තබාගෙන (කටකය) සියලු ශරීර අවයවයන් විමසා බලයි.

ප්‍රශ්නය -

නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම , බෞද්ධයන්ගේ සචාතනික ප්‍රතිපත්තියයි. බුද්ධ චරිතයෙහි සිදුවීම් පසුබිම් කොට ගෙන මෙම බෞද්ධ පිළිවෙත අගය කරන්න.

පිළිතුර –

සුනක්ඛත්ත නම් ලිච්ඡවී – භික්ෂු නම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත්, ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත්, නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශය කළහ. ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ සුනක්ඛත්ත කැඳවා මෙසේ පැවසූහ. “සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න කියා මම ඔබට කීවෙම්ද?

නැත. ස්වාමීනි,

සුනක්ඛත්ත– මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි කියා ඔබ මට කීයෙහිද? නැත, ස්වාමිනි,

සුනක්ඛත්ත , මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමි’යි කීම කොතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?

මෙයින් පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිඥා දීමෙන් ධර්ම සමාදානයට පුද්ගලයන් පොළඹවා ගැනීමක් බුදු දහමෙහි නොමැති බවයි. මිනිසාගේ (උපසමාය) ව්‍යපසමය – (අභිඥය) අවබෝධය (සම්බෝධාය) සම්බුද්ධත්වය (නිබ්බාණය) නිර්වාණය සඳහා (අක්ඛාතාරෝ තථාගතා) මඟ දැක්වීම, තථාගතයන්ගේ කාර්යයි. එම නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම ප්‍රචාරය කිරීම බෞද්ධයන්ගේ සාදාතනික පිළිවෙත වී තිබේ.