Print this Article


පූජාච පූජනීයානං

දොරවක විපුලසිරි නා හිමි

අලව්ව වෙන්නොරුව සිරි සාරානන්ද විහාරස්ථානය ඇතුලු විහාරස්ථාන 10 ක නායකත්වය දරණ රාජකීය පණ්ඩිත දොරවක විපුලසිරි මහෝපාධ්‍යාය නායක ස්වාමීන් වහන්සේ මෙම නොවැම්බර් 17 වනදා ජීවන ගමන් මගේ 88 වැනි වියට සැපත් වෙති.

සබරගමු පළාතේ බෙලිගල කෝරළේ දොරවක දී සහෝදරයින් තිදෙනෙක් හා නැගණියකගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙස 1929 නොවැම්බර් 17 දින ගුණරත්න වික්‍රමසිංහ නමින් නා හිමියෝ උපත ලදහ.

උගතමනා බණ දහම් ප්‍රගුණ කොට දොරවක ශ්‍රී විශුද්ධාරාමයේ දී උඩුනුවර ශ්‍රී ජිනවංශාභිධාන නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පැලපිටිගම වජිරඤාණ, වෙන්නෙරුවේ සීලවිමල ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් දොරවක විපුලසිරි නමින් ප්‍රවජ්‍යා භූමියට පත් වූහ.

පල්ලෙවෙල ගණේගොඩ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන සහ අලව්ව ශ්‍රී රාහුල පිරිවෙනේ මූලික අධ්‍යාපනයද, කඩුගන්නාව ශ්‍රී නිවාස පිරිවෙන ඇසුරෙන් උසස් අධ්‍යාපනය ද ලබා 1956 සිට 1991 දක්වා ශ්‍රී නිවාස පිරිවෙන හා නාරම්මල ශ්‍රී සීලවතී පිරිවෙන යන ආයතන වල ආචාර්යවරයෙකු හා පරිවේණාධිපති වශයෙන් උදාර ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළහ.

1951 උපසම්පදාව ලැබූ නාහිමිපාණෝ තම පැවිදි සහෝදර වෙන්නොරුවේ විජය ශ්‍රී සරණංකර නාහිමිපාණන් වහන්සේ සමඟ මෙරට විවිධ ප්‍රදේශවල සමාජ හා ආගමික කටයුතුවල නායකත්වය දරමින් විහාරස්ථාන ගණනාවක් ඇති කළහ. නුවරගල පිහිටි වැව සිරි සාරානන්ද පිරිවෙන එම සේවයේ අග්‍රගණ්‍ය ඵලයකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් විශාල පැවිදි ගිහි භික්ෂු පරපුරක් බිහිකළ නාහිමියෝ නිකායික කාරක සභික දිසාපාලක ‘කර්මවාගාචාරිය’ තනතුරු ලබා තම වගකීම් මැනවින් ඉටු කළහ. දැනට අලව්ව නැගෙනහිර ප්‍රාදේශීය ශාසනාරක්ෂ බල මණ්ඩලයේ සභාපති පදවිය උසුලන අතර සාම විනිසුරු පදවියද හොබවති.

2015 නිකායේ ‘උත්තරීතර යාච ජීව ගරු පදවියක්’ ද ‘මහෝපාධ්‍යය’ පදවියෙන් ද පිදුම් ලබන්නේ ශ්‍රී සාරානන්ද ‘වජිරඤාණ වංසාලංකාර සාසනකේතු ශ්‍රී’ යන ගෞරවණීය සම්මාන උපාධියක් සමගිනි. මහෝපාධ්‍යය දොරවක විපුලසිරි නාහිමිපාණන් වහන්සේට තව දුරටත් ලෝක ශාසනික සේවාවන්හි නිරත වී යෙහෙන් වැජඹීමට නිදුක් නීරෝගී චිර ජීවනය අත් වේවා.


වල්පොල ගුණරතන හිමි

ගාලු පළාතේ වල්පොල ගම්මානයේ නුවර යුගයට නෑකම් කියන පෞරාණික විහාරස්ථානයක් වනුයේ වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරයයි. එහි වර්තමාන අධිපති ගෞරව ශාස්ත්‍රවේදී ත්‍රිපිටකවේදී වල්පොල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනුනායක සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් පසු ගියදා ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පුදනු ලැබූහ.

මාගොඩ ගමගේ ආරියදාස, හෙට්ටිගොඩ ගමගේ ගුණවතී යන මව්පියන්ට දාව 1977 මැයි මස 10 වන දින උපත ලැබූ පින්වත් කුමරුවන් ගා /හිරිඹුරාව කණිෂ්ට විද්‍යාලයෙන් හා ගා/ බටේමුල්ල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වල්පොළ ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති වල්පොළ විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස සසුන් කෙතට ඇතුළත් විය.

දික්කුඹුර තිරුවානකැටිය සුධර්මෝදය පිරිවෙන, අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන, කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙන යන පිරිවෙන්වලින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා තත් විශ්වවිද්‍යාලයේ 2003 / 2004 ශිෂ්‍ය කණ්ඩායමේ සිංහල විෂයෙහි ප්‍රමුඛයා ලෙස ත්‍යගයද හිමි කර ගන්නට සමත් විය. උගත මනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණව 1997 ජූනි 16 වන දින උපසම්පදා විය.

2006 දී උඩුමලගල ීආදිච්චවංස පිරිවනේ පරිවේනාචාර්ය ධූරයට පත්ව වර්තමානයේ නියෝජ්‍ය පරිවේනාධිපති ලෙසත් යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේ ලෙසත් යක්කලමුල්ල සමථ මූල මණ්ඩලයේ සභික හිමි නමක් ලෙසත් ක්‍රියා කරනු ලබයි.

1990 සිට වල්පොල ශ්‍රී දේවානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය වරයාණන් ලෙස දහම් පාසලේ අභිවෘද්ධියට අපමණ මෙහෙයක් කරනු ලබයි. පසුගිය වසර 11 තුළ එක දිගටම මණ්ඩලයේ සිසු නිපුණතා තරගයෙන් ජයග්‍රහණයද හිමි කර ගනිමින් දිස්ත්‍රික්, සමස්ත ලංකා දක්වා දරුවන් යොමු කරවමින් ළමා කුසලතා සංවර්ධනය සඳහා විශාල මඟ පෙන්වීමක්ද කරනු ලබයි.

ගුණරතන නා හිමියන් මධුර ස්වරභාණී පිරිත් දේශක හිමි නමක් ලෙසත් විචිත්‍ර ධර්ම දේශක හිමි නමක් ලෙසත් කාව්‍යමය ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසත් ප්‍රදේශයේ පාසල් තුළ මව්පිය ගුණ සම්භාවනා වැඩසටහන් පවත් වන සුමිහිරි දේශක හිමි නමක් ලෙසත් ගුවන් විදුලි රූපවාහිනි ධර්ම දේශක හිමි නමක් ලෙසත් ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක්වෙමින් වැඩ සිටියි.

ගාලු දිස්ත්‍රික්කයේ කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමයේ සංවිධානයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මූලික පිරිවෙන් අවසාන, ප්‍රාචීන විභාග සම්මන්ත්‍රණවල සිංහල විෂය පිළිබඳ ප්‍රධාන දේශක හිමි නමක් ලෙස ගිහි පැවිදි සිසු දරුවන්ගේ සිත් දින ගත් දක්ෂ ගුරු හිමි නමකි.

විහාරාධිපති පදවියට පත් වීමෙන් පසු ගෞරව ශාස්ත්‍රවේදී වල්පොල සිරිරතන හිමියන් ඇතුළු ශිෂ්‍ය හිමිවරු දහ නමක් සසුන් කෙතට තිළිණ කර ඇති අතර වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරස්ථානයේ දර්ශනීය ධාතු මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාසය, බෝධි ප්‍රකාරය, පොකුණු, මං මාවත් ප්‍රකාර දර්ශනීය රමණීය පින් බිමක් ලෙස ගොඩනැංවිණි.

වල්පොල සණස සමිතිය, අන්‍යෝධාර සමිතිය, තරුණ බෞද්ධ සංගමය, නැවන රතුවිල මිත්‍රත්ව සංගමය, යෞවන සමාජය, ඉටු මිතුරු පදනම ඇතුළු ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානවල අනුශාසක ධූරය දරනු ලබයි.

ලෝක ශාසනික සේවය අගය කළ කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් සද්ධර්ම කීර්ති ශ්‍රී විජිත යන ගෞරව නාමය සහිතව ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියට පසු ගියදා පත් කර ලන්නට විය.

ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී විජිතාභිධාන වල්පොල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලෝක ශාසනික සේවය සිදු කර ලන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා.


මොලිගමුවේ ධම්මවිමල හිමි

අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරාධිපති මොලිගමුවේ ධම්මවිමල හිමියෝ සසුනඹරේ දිදුලන හිමිනමකි.

1931.09.22 දින මොලිගමුව ගම්පියසේ උපත ලද පින්වත් දරුවා සිය පින් මහිමයෙන් 1947 දී අම්බලන්ගොඩ ,පෝරඹ සුගතබිම්බාරාමයට පැමිණි අතර1948.05.07 දින තත් විහාරාධිපති පණ්ඩිතාචාර්ය විලේගොඩ ශී‍්‍ර ධම්මානන්ද මාහිමියන් වෙතින් ‘මොලිගමුවේ ධම්මවිමල’ නමින් ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්හ.

සාමණේර බණදහම් වත් පිළිවෙත් ගුරුහිමි ඇසුරෙන් ලබමින්, ගුරුහිමි පිරිවෙන්පතිත්වය හොබවන විද්‍යාලෝක පිරිවෙන්හි ඉගෙනුම කළහ. නිසි කල අම්බලන්ගොඩ මාදම්පා නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පත්තිය ලදහ.

ප්‍රාචීන මධ්‍යම, ජ්‍යෙෂ්ඨ, ගුරු අවසාන සහතික පත්‍ර ආදී විවිධ විභාග සාමර්ථ ලද ධම්මවිමල හිමියෝ 1966 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලදහ.

1966 සිට දිගු කලක් විද්‍යාලෝක පිරිවෙන්හි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ 1976.11.01 සිට මොනරාගල ගැඩවිල කණිටු විදුහලේ සේවයට පත් කැරිණි. 1983.07.01 සිට කරන්දෙණිය දකුණු මාගල කණිටු විදුහලට මාරුවීම් ලැබ 1990 දක්වාම එහි සේවය කළ උන්වහන්සේ විද්‍යා සමාධි පිරිවෙන්පති වශයෙන් ද කටයුතු කරමින් 1991 දී විශ්‍රාම ලදහ.

දළුක්කන්ද කාලගිරි විහාරය, උණගස්වෙල සිරි නිවේසාරාමය, දකුණු මාගල සිරිවිජයාරාමය, ඇඹිලකන්ද අභිනවාරාමය, කළුවලගොඩ ශ්‍රී ශෝභනාරාමය ආදි නොයෙක් ආරාමයන්හි වසමින් එම ප්‍රදේශයෙහි ශාසනික මෙහෙවර යෙදුණු අතර 1991 සිට 2003 දක්වා ශ්‍රී ශෝභනාරාම විහාරාධිපතිත්වයේ උදාර කර්තව්‍යයන් ඉටු කළහ.

අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරය චිර ප්‍රසිද්ධය. අමරපුර නිකායේ (පසු කල ශී‍්‍ර සුමංගල කාරක සංඝ සභාව) මූලස්ථානයයි. කාගේත් මහ පන්සල වු එහි ආරම්භක නායකයාණෝ විලේගොඩ පුඤ්ඤසාර නාහිමියෝය. ධම්මකුසල නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වය පිළිබඳ විවිධ මත විය. වැරැල්ලානේ විමලතිස්ස නාහිමියන්ගේ අපවත්වීමෙන් එනම් 2005 දෙසැම්බර් සිට විහාරාධිපතිත්වය ධම්මවිමල හිමියන් වෙත සංඝ සභාවෙන් පිරිනැමිණි. ගුරු හිමි සිසු පරපුරේ ජීවමාන අවසන් පුරුක වූ ධම්මවිමල හිමියෝ විහාරාධිපති ධුරය භාරගන්නා ලද්දේ පවත්නා වූ අභියෝගයනට මුහුණ දෙමින්, තනතුරේ ගෞරවයද රකිමින් සුනන්දාරාමය නව ප්‍රබෝධයකින් මහත් අභිවෘද්ධිය කරා ගෙන යාමේ දෘඪතර අදිටනෙන් යුතුවය.

විහාරාධිපතිත්වයට පත්ව සුළු කලෙකනින් දියුණුව කළහ. දේවාලය,අටවිසි බුදු කුටි, රන්වැට ආදි නව ඉදිකිරීම්, ධර්මශාලාව, බිතුසිතුවම් , ඝණ්ඨාර කුළුණ ආදිය ප්‍රතිසංස්කරණ, ඇතුළු වැදගත් කාර්ය රැසක් සිදුකළ අතර සීල භාවනා සංඛ්‍යාත පිළිවෙත් මගෙහි ජනතාව යොමු කිරීමේ කටයුත්තේද නිරත වූහ. සැප්තැම්බර් 22 දා තමන්ගේ අසූහය විය සැපිරීම නිමිත්තෙන් ගුරු හිමි උදෙසා පින්කම් පැවැත්වීමට ධම්මවිමල හිමියෝ අදහස් කළහ.

තමන් සසුනට ඇතුළත් කරගත් ලෝ සසුනට මහත් සේවාවක් කොට 1975.06.24 දා අපවත් වී වදාළ පෝරඹ සුගතබිම්බාරාමය අම්බලන්ගොඩ සුනන්දාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර සම්මාන මහානායක පණ්ඩිතාචාර්ය විලේගොඩ ධර්මකීර්ති ශ්‍රී ධර්මානන්දාභිධාන ගුරු දේවෝත්තම මහා ස්වාමීන් වහන්සේ අනුස්මරණය කරමින් සඟ සතු දානමය පින්කම් ආදිය අසූහය වන ජන්ම දිනය නිමිත්තෙන් සැප්තැම්බර් 22 දා පෝරඹ සුගතබිම්බාරාමය විහාරස්ථානයේදි උන්වහන්සේ විසින් සිදුකරනු ලැබිණි.

අසූහය විය සපුරන මොලිගමුවේ ධම්මවිමල මාහිමියනට නිදුක් නිරෝගි චිර ජීවනය පතම්හ.