Print this Article


වස්සානයේ කථාවයි නොබිඳෙන පින්කමයි

වස්සානයේ කථාවයි නොබිඳෙන පින්කමයි

" කඨිනය , ලොවුතුරු සැප උදාකරවන මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන මහා මේරු පර්වතයක් සේ බලවත්ය. චණ්ඩ මාරුතයටවත් නොසෙල්වෙන ඒකඝන වජ්‍ර පර්වතය මෙන් නොබිඳෙන අටමහා කුසල්වලින් බලගතුම පින්කම වන්නේ කඨින මහා පින්කම ය."

(මෙම ලිපියෙහි තෙවන කොටස වප් අමාවක (ඔක්තෝබර් 30) පත්‍රයේ පළ විය. අද පළ වන්නේ එම ලිපියෙහි අවසාන කොටසයි.)

පාවහන් සහ පා ආවරණ පිදීම

බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට පාවහන් පූජාකර ලැබුණු ආනිශංස පහකි.

උපනුපන් ආත්මභවයන්හිදී අශ්ව වාහන, ඇත් වාහන සහ දෝලා සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවැති විවිධ යාන වාහන ලැබීම, පයට සුව පහසු අගනා පාවහන් ලැබීම, කිසිඳු ආත්මභාවයකදී පයේ හා පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම, අහසින් යාම ආදී ඍද්ධිබල ඇතිවීම

සැරයටි, කිහිළිකරු, රෝදපුටු පිදීමේ අනුසස්

සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම, කවර කරුණක් නිසාවත් තැති ගැනීමක් ඇති නොවීම, සතුරන් විසින් සිදුකරනු ලබන විපත්වලින් වුවද තමන්ට හොඳක් වීම, පින විසින්ම තමා ආරක්ෂාවීම, තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම, සිතේ පසුතැවිලි ගති ඇති නොවීම,

පහන් පිදීම

උසස් පවුල්වල උපත ලබා ආලෝකවත් ජීවිත ගත කිරීමට ලැබීම , අතපය – ඇස් – කන් – නාසාදී පාට පෙනුමෙන් යුතු ප්‍රියශීලී සිරුරක් ලැබීම, ප්‍රඥාවෙන් යුතු වහා කරුණු වටහා ගන්නා කෙනෙකු වීම

ධාතු කරඬු පිදීම

මහා සඟරුවනට පූජාගර්භ වස්තු, සර්වඥ ධාතු තැන්පත් කිරීමට කරඬු පූජා කිරීමේ පිනෙන් නාගිත මහ රහතන් වහන්සේ ලැබූ ආනිශංස දහයකි.

සසරේ සෑම ආත්ම භවයකදීම පින විසින්ම ආරක්ෂාව සැලසීම, ලෙඩ දුක් වලින් තොර සැපවත් ජීවිත ලැබීම, අඩු නොවන බලයක් ඇතිවීම, අන් අය උපක්‍රමශීලීව කරනු ලබන වස විස කැවීම් හදි හූනියම් කිරීම වැනි විපත් වලට හසු නොවීම, සුකුමාල සිරුරක් ලැබීම, සතුරු බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය ආදියට සසර දී හසු නොවීම, සකල විධ සැප පහසුකම් ඇති සුඛෝපභෝගී නිවාස ලැබීම, උසස් යාන වාහන ලැබීම, ජලයෙන් භූමි කම්පාවන්ගෙන්, ඉඩෝරයෙන්, ගින්නෙන්, හොරුන්ගෙන් කෘමීන්ගෙන් වස්තුව කවරදාකවත් විනාශ නොවීම, නිර්වාණාවබෝධයට උපකාර වීම,

ඇඳ,පුටු,පැදුරු,කොට්ට ආදිය පිදීම

වැදගත් මවුපියන්ට දාව උපත ලැබීම, වස්තු ලැබීම, අන් අයගේ ගරු සැලකිලි ලබන්නකු වීම, සකල විධ ආසන පහසුකම් ලැබීම, අගනා මෘදු සිනිඳු ඇඳුම් පැළඳුම් ලැබීම, ඇඳ ඇතිරිලි ආදී විවිධ වස්තු නොඅඩුව ලැබීම, පහසුවෙන් ධ්‍යාන සමාපත්ති උපදවා ගැනීම.

බෙහෙත් තෙල් වර්ග පිදීම (හිස ගල්වන ඖෂධිය තෙල් පූජා කිරීමෙන් ලැබෙන අනුසස්)

නිරෝගී බව ලැබීම, රූප සම්පන්න බව ලැබීම, වහා කරුණු වටහා ගැනීමේ නුවණ ලැබීම, ප්‍රණීත ආහාර පාන ලැබීම, දීර්ඝායු සම්පත් ලැබීම, කිසිදාක හිසේ රෝග උමතු රෝගාදිය නොවැළඳීම

පිරිසුදු ප්‍රණීත ආහාර පිදීම

ආයු සම්පත්තිය ලැබීම, බලවත් කෙනෙක් ව ජීවිතාන්තය දක්වා ජීවත්වීමට ලැබීම, සෑම ආත්මයකදී ම ධෛර්ය සම්පන්න පුද්ගලයකුවීම, ප්‍රතාපවත් දර්ශනයකින් යුත් වර්ණවත් පුද්ගලයෙක් වීම, පිරිස් බලය වැඩිවීම, කායික මානසික පීඩා ඇති නොවීම, ප්‍රණීත ගුණදායී ආහාර පාන නිතිපතා ලැබීම, තමා නිසා බොහෝ දෙනාට ආහාර පාන ලැබීම, සැඟවුණු අර්ථ තේරුම් ගැනීමේ සහජ බුද්ධිය ලැබීම, නිවන් දකින තුරා වාසනාවන්ත උපතක් ලැබීම.

විෂබීජ නාසක වාතය පිරිසුදු කරන දෑ පිදීම

සුවඳ හමන සිරුරක් ලැබීම, පැහැපත් දරුවන් ලැබීම, සුවඳවත් පුෂ්ප වර්ග සහ සුවඳවත් ආලේප වර්ග ලැබීම, කීර්තිය ලැබීම, ගැඹුරු ප්‍රඥාව ලැබීම, විමර්ෂණ බුද්ධිය නිසිලෙස ලැබීම, ක්ෂණිකව යමක් තේරුම් ගැනීමට හැකිවීම, කෙනෙකුගේ දර්ශනයෙන්, බැල්මෙන්, ඉඟියෙන්, සිනහවෙන් සහ ඉරියව්වලින් ඔහුගේ අභ්‍යන්තර අදහස් , ගතිගුණ දැනගැනීමේ නුවණ ලැබීම, නිවන් අවබෝධ කරගැනීමට ලැබීම.

උගුර කට දත් පිරිසුදු කරන දෑ පිදීම

කතා කිරීමේදී සෙම පැටළිලි ආදී ආබාධ නැති කටහඬක් ලැබීම, මුඛයේ උගුරේ රෝගාබාධ ඇති නොවීම, කට දුගඳ නොගැසීම, සෙම්ගෙඩි , දන්ත රෝග ඇති නොවීම සහ දර්ශනීය දත් දෙපළක් ලැබීම

අභය දානය හෙවත් මරණ භයක් ඇති නොකිරීම

බොහෝ ආත්ම භාවයන්හිදී මරණයට කැපවූ, භයින් තැතිගත් සතුන්ට කරුණාවෙන් යුතුව අභය දානය ලබාදීම. එහි කුසල විපාක වශයෙන් සසරේ අවසන් ආත්ම භාවය දක්වාම ආනිශංස දහයක් ලැබීම.

උපනුපන් ආත්මභාවයන්හි දී මාරක බන්ධනයකට අසු නොවීම, නිරෝගී සම්පත්තිය ලැබීම, දීර්ඝායු සම්පත්තිය ලැබීම, රාජ රාජ මහාමාත්‍ය සහ සිටු පවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම, දිව්‍ය ලෝක – බ්‍රහ්ම ලෝක ආදියෙහි උපත ලැබීම, කීකරු පුණ්‍යවන්ත ප්‍රියශීලී අඹු දරුවන් ලැබීම, තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම, සෑම තැනකදිම උසස් පුද්ගලයෙකු සේ කැපී පෙනෙන ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත වීම, උගත්, නූගත්, දුප්පත්, පොහොසත්, බලවත්, දුබලවත් එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම, ඒ අභය දානමය පිනෙහිම විශේෂ ආනිශංස වශයෙන් පංච අභිඥා , අෂ්ට සමාපත්තිලාභීව මහරහතන් වහන්සේ නමක් වීමට හැකිවීමි යැ’යි නාගිත මහ රහතන් වහන්සේ වදාළ සේක.

ඉතා බලසම්පන්න වූ කඨින පින්කමේ ආනිශංස මෙසේ යැයි සිතමින් තිදොර පහදා ගනිමින් කඨින පෙරහරේ ගමන් කිරීමද (පදවීථිහාරය) අති විශාල වූ පින්කමකි.

වස් කාලය අවසන් වීමෙන් පසු කඨින චීවරය සඳහා දොළොස් රියනක රෙද්දක් පිළියෙළ කරවා අළුයම ගම්වාසීන්ගේ සාධුකාර මධ්‍යයේ අසිරිමත් පෙරහරකින් උඩුවියන් සහිතව හිස මතුපිටින් විහාරස්ථානයට පමුණුවා මහ තෙරුන් වහන්සේ ප්‍රධාන මහ සඟනට පූජා කිරීම මහත්ඵල මහානිසංස වූ පින්කමකි. උපසම්පදාවෙන් අඩුවූ අනෙකුත් භික්ෂූන් වහන්සේද සිවුර සහ අඳනය බැගින් පූජා කළ යුතු යැ’යි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

පරම්පරාවෙන් පරම්පරාවට සිදු කළ එදා මෙම මහ පින්කම අදත් සිහි ගන්වා පින්වත් සැමගේම සාධුකාර මධ්‍යයේ කඨින චීවරය සඟසතු කර පූජා කරති.

එදා අතින් ගෙත්තම් කර පඬු පොවා නිසිලෙස සැකසූ සිවුර එදින රාත්‍රියේ ප්‍රථම යාමය ඉක්මවන්නට කලින් එනම් රාත්‍රී දහය වීමට පෙර අද වේලාවෙන් නම් රාත්‍රී අටට පමණ කඨින චීවරයෙන් සැරැසුණු මහ තෙරුන් වහන්සේ පින්වතුන් සැමටම “කඨිනානිශංස දේශනාව වදාරා පින්කම අවසන් කෙරේ.

දියමන්තියක් කපා ඔප දැමීමට එවැනිම දැඩි සේ සවිමත් දියමන්තියක් අවශ්‍ය සේම බලගතු ආනිශංස සහිත කුසල කර්මයක් යටපත් කිරීමට හැකි වන්නේ එවැනිම බලගතු වූ ආනන්තරීය පාප කර්මයකට පමණය. එසේනම්, සුළු පාප කර්මයක් වැළැකීමට අවශ්‍ය බලගතුම එකම පින්කම වන්නේ ද කඨින මහා පින්කමය.

කඨිනය , ලොවුතුරු සැප උදාකරවන මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන මහා මේරු පර්වතයක් සේ බලවත්ය. චණ්ඩ මාරුතයටවත් නොසෙල්වෙන ඒකඝන වජ්‍ර පර්වතය මෙන් නොබිඳෙන අටමහා කුසල්වලින් බලගතුම පින්කම වන්නේ කඨින මහා පින්කම බව පින්වත් සැවොම සිතෙහි තබාගත යුතුය.