Print this Article


කසළ සිතේ කුසල නැතේ

කසළ සිතේ කුසල නැතේ

කලාතුරකින් මේ ලෝකයට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී දෙවියන් සහිත මිනිසුන්ට සංසාර දුකෙන් නිදහස් වීම සඳහා බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් ඇති කර දෙනවා.

බුදුරජාණන් වහන්සේ නමක් හෝ සද්ධර්මය ලෝකයේ නැති කාලයේ අපට සංසාර දුකෙන් නිදහස්වීම පිළිබඳව කතා කරන්න හැකියාවක්, පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ සරණගිය ඔබ අප හැම දෙනාගේම ප්‍රධාන අරමුණ විය යුත්තේ නිවන අවබෝධය කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව ලෙස උන්වහන්සේ වදාළේ අපේ සිත තුළ පැන නඟින ලෝභ, ද්වේෂ, මෝහ ආදි අකුසල් ධර්මයන් යටපත් කරන, අකුසල ධර්මයන් දුරු කරන ප්‍රතිපදාවක්. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ප්‍රතිපදාවන් දියුණු කරන ඒ කුසලයට නැඹුරු වූ ප්‍රතිපදාවක් උන් වහන්සේ හෙළිදරව් කර වදාළා. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අප සැවොම වඩාත් සැලකිලිමත්වීමට වුවමනා කරන්නේ ඒ කුසල ප්‍රතිපදාව අපේ ජීවිතය තුළ දියුණුකර ගැනීමයි.

මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල මූලයන් නිසා අපේ මෙලොව ජීවිතය අසාර්ථකත්වයත්, පරලොව ජීවිතය දුගතිය කරා ගමන් කිරීමත්, සංසාරය තුළ තව බොහෝ කාලයක් ගමන් කිරීමටත් එය හේතු වෙනවා. ශාසනය තුළ උගන්වනු ලබන කුසල ප්‍රතිපදාව අපේ ජීවිතය තුළ දියුණු කරනවිට අපට ලෝභය, ද්වේශ, මෝහය දුරු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වෙනුවට අලෝභ, අද්වේශ, අමෝහය අපේ ජීවිතය තුළ පුරුදු කරගත යුතුයි. ඒ කුසල ප්‍රතිපදාවක් ලෙස දියුණුකර ගන්නට අප වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ සිත, කය, වචනය කියන තුනදොර සංවර කර ගැනිම තුළිනුයි.

සියලු අකුසලයක්ම, සියලු කුසල ධර්මයක්ම අපේ කය, වචනය, සිත මුල් කර ගත් ස්වභාවයක් තුළයි පවතින්නේ. අපේ කායික ක්‍රියා තුළ ඇතිවන චේතනාව මෙන්ම වචන තුළිනුත් සිත තුළිනුත් ඇතිවන චේතනාව අනුව මේ කුසලය සහ අකුසලය බෙදා වෙන්කළ හැකිය. යම් අවස්ථාවක අකුසලයෙන් අපේ සිත කිලුටු වෙලා වැරැදි ක්‍රියාවක් සිදු කරනවාද? යම් වචනයක් කථා කරනවාද? සිතින් යම් දෙයක් සිතනවාද? ඒ තුළ දියුණු වන්නේ අකුසල ප්‍රතිපදාවයි. ඒ නිසා අප අකුසලය දුරු කිරීමට නම් අපේ සිත කිළිටු කරන දේ හඳුනාගන්නට ඕන. සිහිනුවණින් ඒවා දුරු කරන්න ඕන. ඒ වගේම පිරිසුදු සිතින් යම් කායික ක්‍රියාවක් කරනවාද? යම් පිරිසුදු වචනයක් කතා කරනවාද? පිරිසුදු සිතිවිලි සිතනවාද? ඒ තුළින් කුසලයක් රැස් වෙනවා. එය සැපදායක වූ ආනිශංසයකි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මුල් තැන දෙන්නේ සිතටයි. අප වඩාත් සැලකිලිමත් වෙන්න ඕන නිරායාසයෙන්ම අපේ සිත තුළ පැන නඟින චේතනාව තුළින් සිදුවන ක්‍රියාව, කරන කතාව, සිතන සිතිවිලි තුළ අපට බොහෝ දුක් විපාක ඇතිවන දේ ඒ එහි ගැබ් වී තිබෙන්න පුළුවන්. ඒ වගේම චේතනාව පිරිසුදුවීම තුළ සැප විපාක දෙන කුසල ප්‍රතිපදාවන් දියුණු කරන්න පුළුවන්. අපේ සිත තුළ ඇතිවන ඒ චේතනාවන් පිරිසුදු කර ගන්නට අකුසලයක් බැහැර කරන්නට නම් සතිය නැත්නම් සිහිය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.

මේ සිත ක්‍රියාත්මක වන විට කයත්, වචනයත් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවා. සිතට යටත් වූ ජීවිතයක් ගත කරන කෙනෙකුට සිත, වචනය, කය පාලනය කරනවා කියන දේ අපහසු විය හැකිය. ඒ සඳහා සිත තුළ පහළ වන චේතනා හඳුනා ගන්න අප නිරන්තරයෙන්ම සතිය පුරුදු කළ යුතුයි. නිරන්තරයෙන් අප කරන කියන හැම දෙයක්ම මනා සිහියෙන් දැනගෙන සිදුකිරීම ඒ සඳහා අවශ්‍ය කරන මූලිකම කාරණාවක් වෙනවා.

සියලු කායික ක්‍රියාවට පළමුව පහළ වන්නේ චේතනාවයි. සෑම වචනයකට පෙර පහළ වෙන්නේ චේතනාවයි. සියලු සිතිවිල්ලට පෙර පහළ වෙන්නේ වේතනාවයි. ඒ නිසා පහළ වන චේතනාව ලෝභය, ද්වේශයෙන්, මෝහයෙන් කිලිටු වුවොත් ඒ තුළ සිදුවන ක්‍රියාව, කතාව, සිතිවිල්ල අකුසල සහගතවෙනවා. ඒ ආකාරයට මනා සිහිකල්පනාවෙන් යුතුව වාසය කළොත් ඒ තුළ පහළ වන සිත හොඳින් හඳුනා ගත්තොත් අපට හැකියාව ලැබෙනවා කිලිටු අපවිත්‍ර වූ සිත බැහැර කර ඒ වෙනුවෙන් අලෝභ, අද්වේෂය, අමෝහය දියුණු කර ගන්නට ඒ සිත තුළින් එය මහත් සැප ගෙනදෙන ප්‍රතිපදාවක් වෙනවා.

ඒ වගේම පංචසීලය හෝ ඊට වඩා උසස් සීලයක් සමාදන් වීම තුළිනුත් සිත පිරිසුදු වෙනවා. පන්සිල් තුළ නොහික්මෙන්නාගේ සිත නිරන්තරයෙන් අපිරිසුදුයි. එවිට සිත අපිරිසුදුවීම තුළින් සිත තව තවත් අකුසලයට බර වෙනවා. දාන, සීල, භාවනා තුළින් සිත පිරිසුදු කර ගන්නට හැකියාව තිබෙනවා.

ඒ නිසා මේ ශාසනය තුළ යම් ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනම් ඒ සියලු ප්‍රතිපදාවන් මේ සීලයට නතුවන ප්‍රතිපදාවක් බවට පත්කර ගන්නට වඩාත් උත්සාහ වෙන්න ඕන. දන් දීමෙන්, සිල් රැකීමෙන් භාවනාවෙන් වේවා ඒ සෑම අවස්ථාවකදීම අප වඩාත් සැලකිලිමත් විය යුත්තේ අපේ සිත කිලුටු කර නොගෙන සිත පිරිසුදු කර ගැනීමයි. දාන, සීල, භාවනා තුළින් මෙන්ම සීල, සමාධි, ප්‍රඥා තුළිනුත් සිත දියුණුකර ගැනීම, දමනය කර ගැනීම, සංවර කර ගැනීම අවශ්‍ය කරන කාරණාවක් වෙනවා. මේ ආකාරයට අප කරන, කියන, සිතන හැම දෙයක්ම නැවත නැවත විමසා බලන්නට අපට හැකියාව ලැබෙනවා නම් අකුසල් දුරුකර කුසලයට නැඹුරුවීමට හැකියාව තිබෙනවා.