Print this Article


ශ්‍රී මහා බෝධි පුරාණය -20: ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් නිල්රැස් විහිදුවමින් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේ

ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් නිල්රැස් විහිදුවමින් හටගත් අෂ්ටඵල බෝධීන් වහන්සේ

උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නොයෙකුත් පෙළහර පාමින් අනුරපුරේ උඩමළුවේ පිහිටි ආකාරයත්, සීහ වික්කන්ත සැලැසුම අනුව බෝධිඝරය පිහිටියේ සිංහයා සිංහ සෙයියාවෙන් සැතපී සිටින විට දිග හරින ලද වලිගයේ කෙළවර පිහිටි තැනය යන විස්තරයත් ඔබ ඉගෙන ගත්තේය. බෝධීන් වහන්සේට පමණක් නොව බෝධීන් වහන්සේ වඩමවාගෙන එන ලද නැව පවා කොටස් වශයෙන් ඒ ඒ ආරාමවල තැන්පත් කොට පූජෝපහාර කළ අයුරු ඒ ලිපියේ දී විස්තර වුණි.

අද අප ඉගෙන ගන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේ පිළිබඳවය. බොහෝ දෙනා අෂ්ටඵල බෝධීන් වහන්සේ ගැන නාම මාත්‍රයක් පමණක් කතා කරනු පෙනේ. නමුත් අෂ්ටඵල බෝධීන් වහන්සේ කවරේද? යනවග දන්නේ

අතළොස්සක් පමණි. අපගෙන් පවා බොහෝ අය අෂ්ටඵල බෝධීන් වහන්සේ නො එසේනම්

අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ යනු කුමක්දැයි? විමසන අවස්ථා ඇත. එනිසා ඒ වෙනුවෙන් මේ ලිපිය සාකච්ඡා කළෙමු.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ඔබට මතක ඇති, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර පූජනීය භූමියේ රෝපණය වනවිට රිදී කඳක් හා සමානව ශාඛා කඳක් විය. එහි ශාඛා පහක් තිබුණ අතර, හැම ශාඛාවකම දිග රියන් හතරක් වුණි. ඒ ශාඛා පහෙන් විහිදී ගිය ශාඛා, ප්‍රශාඛා ගණන දාහකි. දහස් ගණන් මුල් කටාරමේ තිබුණි.

අනුරාධපුර පින්බිමේ බෝධීන් වහන්සේ පිහිටන විට කටාරමේ පිටතටත් මුල් ඇදී තිබුණි. ඒ මුල් හොඳින් පොළොවේ පිහිටියේය. බෝධින් වහන්සේ පොළොවේ පිහිටිය සැණින් හිම වළාවකින් වැසී දින හතක් බෝධීන් වහන්සේ නො පෙනී වැඩ සිටි සේක. ඒ අතර බෝධින් වහන්සේ හොඳින් පොළොවට මුල් බැස ගත්තේය. දඹදිවෙන් මැඩම කරන විට ප්‍රධාන ශාඛා පහේම බෝ බීජ එක බැඟින් පහක් විය. දක්ෂිණ බෝධි ශාඛාව රන් කටාරමේ පිහිටි පසු බෝධි පත්‍රයෙන් සහ ඵලයෙන් (බීජ පහෙනුත්) ෂඩ් වර්ණ රැස් විහිදුණි. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන යි.

අෂ්ටඵල බෝධීන් වහන්සේ පැන නැඟීම

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැඟෙනහිර ශාඛාවේ තිබු හොඳින් මෝරාගිය බීජය (බෝ ඵලය) ඒ අවස්ථාවේ ගිලිහුණි. මිහිඳු මහරහතන් වහන්සේ එය දුටු අතර, උන්වහන්සේ ඒ බෝ බීජය සියතින් රැගෙන දේවානම්පියතිස්ස රජුට ලබා දෙන්නේ එය රෝපණය කරනු සඳහායි. රැගෙන ආ කටාරමක සුවඳ පස් පුරවා රහතන් වහන්සේ මධ්‍යයේ අපගේ දේවානම්පියතිස්ස රජු ඒ බෝ බීජය රෝපණය කළේය. ඒ මොහොතේම සියලු දෙනා බලා සිටියදීම ඒ බෝ බිජයෙන් අංකුර අටක් පැන නැංඟේය. රියන් හතරක් උසට වැඩී නිල් රැස් විහිදුවමින් වැඩ සිටි සේක. බොහෝ දෙව් මිනිස්සු සාදුකාර පැවැත්වූහ. පුදුමයෙන් පුදුමයට පත් අපගේ දේවානම්පියතිස්ස රජු නෙත් විදහා බලමින් කඳුළු සලමින් සාදුකාර දුන්නේය. ලංකා රාජ්‍යයෙන් ඒ උතුම් බෝධීන් වහන්සේට පූජා පැවැත්වුණි. ඒ අනුව අෂ්ටඵල බෝධීන් වහන්සේ උදෙසාත් ලංකා රාජ්‍යය පූජා කර ඇත. රන් ආභරණ පළඳවා ඒ බෝධීන් වහන්සේට අනේක උපහාර පූජා පැවැත්වුණි. ඒ ආකාරයට ප්‍රාතිහාර්යය පාමින් එක බෝ බීජයකින් ඒ මොහොතේ රියන් හතරක් උසට පැන නැඟුණ බෝධීන් වහන්සේ අට නමයි අප අෂ්ටඵල බෝධීන් වහන්සේ ලෙස හඳුන්වනු ලබන්නේ.

අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේ බෙදාහැරීම

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවාගෙන එන පින්කමට බෝහෝ ජනපද ප්‍රධානීන් පැමිණියේය. රුහුණු ආදී දුර ප්‍රදේශවල පවා ප්‍රදේශ නායකයන් පැමිණ සිටියේය. ඒ අතර තිවක්ක ගමේ බ්‍රාහ්මණයා, සඳුන්ගම රජදරුවන්, කතරගම රජ දරුවන් ආදී පිරිස ඒ අතර ප්‍රධාන වුණි. අපගේ දේවානම්පියතිස්ස රජු ඒ බෝධීන් වහන්සේ අට නම ජන ප්‍රධානීන් අට කෙනෙකුට ලබා දුණි. ලක්දිව විශේෂ ස්ථානවල රෝපණය කිරීම පිණිසයි එසේ සිදුකළේ. ඒ ස්ථාන අට මෙසේය.

01 දඹකොළ පටුන – උතුම් විජය ශ්‍රී ජය සිරිමහා බෝධීන් වහන්සේ ලක්දිවට පළමුව වැඩම කළ අවස්ථාවේදී වඩා හිඳවූයේ දඹකොළ පටුනේය. පුරාණ දඹකොළ පටුන අද “සම්බිලිතුරෙයි” නමින් හඳුන්වන බව විමර්ශන පොත්පත්වල සඳහන්ව ඇත. ඒ ජන ප්‍රධානීන් මහත් හරසරින් වඩම්වා රෝපණය කොට වසර දහස් ගණනක් වන්දනමාන කළ බෝධීන් වහන්සේ අද දක්නට නැති නමුත් අලුතින් රෝපණය කළ බෝධීන් වහන්සේ වැඩ සිටිති. මේ අනුව දඹකොළ පටුනේ එක් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය වුණි.

02. තිවක්ක බමුණුගම – උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුරයට වඩමවන විට තිවක්ක බ්‍රහ්මණයාගේ ගමේ වඩා හිඳුවා නොයෙක් පූජෝපහාර පැවැත්වූ බව පෙර සඳහන් කළෙමි. අපගේ දේවානම්පියතිස්ස රජු ඒ කරුණු සලකා බලා තිවක්ක ගමටත් එක් බෝධීන් වහන්සේ නමක් ලබා දුන් අතර ඔවුහු මහත් හරසරින් ඒ බෝධීන් වහන්සේ රෝපණය කළහ. නමුත් මේ තිවක්කගම කුමක්දැයි අප්‍රකටව පවතින අතර, ස්ථිර තොරතුරක් හමු නොවේ.

03. ථූපාරාමයේ බෝධීන් වහන්සේ - අනුරාධපුර උතුම් ථූපාරාමය පිහිටි බිමේ එක් ඵලරූහ බෝධීන් වහන්සේ නමක් රෝපණය වූ බව සඳහන්ව ඇත. අදත් ථූපාරාමයේ ඒ විස්තර සහිත බෝධි මණ්ඩපයක් තිබේ. සිල්මාතා ආරාමයේ ඇති බෝධීන් වහන්සේ හතරනමක් සහිත බෝධි මණ්ඩපයයි ඒ ආකාරයට සැලකෙන්නේ. නමුත් දැන් වැඩ සිටින්නේ ඒ අතීතයේ වැඩ සිටි මහා බෝධීන් වහන්සේ නොව පසු කාලීනව පැන නැඟුණු බෝධීන් වහන්සේ නමක් බව පෙනේ. ථූපාරාම සෑය වන්දනාවට යන කා හටත් බෝධීන් වහන්සේ වන්දනා කළ හැකිය.

04. ඉසුරුමුනිය හෙවත් කසුන්ගිරි විහාරය – ඉසුරුමත් පවුල්වල පැවිදි වූ කුල පුත්‍රයන්හට දේවානම්පියතිස්ස රජු පසුකාලීනව සාදා දුන් ආරාමය නමින් “ඉස්සරසමනාරාමය යි”. දැන් එය ඉසුරුමුනිය ලෙස හඳුන්වයි. මේ ඉසුරුමුනි වෙහෙරේ එක් ඵලරූහබෝධීන් වහන්සේ නමක් රෝපණය වුණි. එය සිදුකරනු ලැබුවේ දේවානම්පියතිස්ස රජු විසිනි. අදත් මහ සුවිසල් බෝධීන් වහන්සේ නමක් ඒ ස්ථානයේ වැඩ සිටින නමුත් ඒ පැරැණි බෝධින් වහන්සේ නොවන බව කියැවේ. කෙසේ නමුත් අනුරාධපුරයට යන ඔබට පහසුවෙන් ඉසුරුමුණියේ අෂ්ටඵල බෝධින් වහන්සේ වන්දනා කළ හැකිය.

05. පඨම චෛත්‍ය ස්ථානය – මිහිඳු මහරහතන් වහන්සේ, රහතන් වහන්සේ සමඟ අහසින් වැඩම කොට නැඟෙනහිර යම් ස්ථානයකට ගොඩ බැස වැඩම කළද ඒ ස්ථානයට “පඨමකචේතිය” යැයි කියනු ලැබේ. ඒ භූමියේද ඵලරූහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරනු ලැබුවේදේවානම්පියතිස්ස රජු විසිනි. නමුත් ඒ ස්ථානය අද අප්‍රකට බැවින් නිවැරැදි තොරතුරු නැත.

06. මිහින්තලේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ - එදා දේවානම්පියතිස්ස රජු හරසරින් රෝපණය කළ උතුම් සුවිසල් බෝධීන් වහන්සේ හොඳින් දැක ගන්නට ඇත්තේ මිහින්තලාවේය. සෑගිරිය, චේතිය, පබ්බත යන පැරණි මිහින්තලයට නම්ය. ඒ උතුම් බෝධීන් වහන්සේ වන්දනා කොට ශ්‍රද්ධාව පෙරදැරිව පින්කර ගැනීමේ අවස්ථාව ඇත.

07. කතරගම බෝධීන් වහන්සේ - රුහුණේ කාඡරගාමයේ පිහිටු වූ බෝධීන් වහන්සේ ය. එදා මහා හරසරින් රෝපණය කළ බෝධින් වහන්සේගෙන් අද පුංචි ශාඛාවක් පමණක් නිරුපද්‍රිතව තිබේ. පරිවාර බෝධීන් වහන්සේගෙන් වට වී රන් වැට අතරින් ඒ උතුම් බෝධීන් වහන්සේ දකින්නට පුළුවන. කතරගම යන ඔබ කිරිවෙහෙරේ වැඩසිටින බෝධීන් වහන්සේ වන්දනා මාන කළයුතු වන්නේ අෂ්ටඵල බෝධින්බවහන්සේ නමක් නිසාවෙනි.

08. සඳගිරිය රාජමහා විහාරය – රුහුණේ වන්දනගාම හෙවත් සඳුන්ගම එක් ඵලරූහ බෝධීන් වහන්සේ නමක් රෝහණය කළේය. ඒ පින්බිම සඳගිරිය බව කාගෙත් පිළි ගැනීමයි. නමුත් එදා රෝපණය කළ බෝධීන් වහන්සේ අද දකින්නට නැත.

මේ අනුව මිහින්තලේ බෝධින් වහන්සේ, කතරගම උතුම් බෝධින් වහන්සේ එදා ප්‍රාතිහාර්යය පාමින් පැන නැඟුණ අෂ්ටඵල බෝධීන් වහන්සේම බැවින් වන්දනා කොට අපට කෙතරම් පින් කර ගත හැකිද?


පසුගිය සතියෙන්: ශ්‍රී මහා බෝධි පුරාණය-19: පිනැති හෙළ දූ පුතුන්ගේ අර්හත්වය