UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත් බව දුලබය

මිනිසත් බව දුලබය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අයං වුච්චති භික්ඛවේ පුග්ගලෝ නේවත්තන්තපෝ නාත්තපරිතාපනානුයෝගමනුයුත්තෝ
න පරන්තපො ත පර පරිතාපනානුයෝගෝ මනුයුපතා යො අනත්තන්තකෝ අපරන්තපො
දිට්ඨෙ ව ධම්මේ නිව්ජාතො තිබ්බුතෝ
සුඛ පටිසංවේදී බ්‍රහ්මභුතේන අත්තනා විහරති
- ම.නි. කන්දාරක සූත්‍රය -

සැදැහැවතුනි,

බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ළඟ වැඩසිටි මොහොතක එතැනට පැමිණි ‘පෙස්ස’ කියන ඇත් ගොව්වෙකුයි, ‘කන්දරක’ කියන පිරිවැජියෙකුයි බුදුරජාණන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහක යෙදුනා. ඉතා නිහඬව සිටිනා භික්ෂූන් වහන්සේලා දුටුව කන්දරක පිරිවැජියා බුදුරජාණන් වහන්සේට මතක් කළා. භවත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ඉතාම සංවරයි ඒක පුදුමයට කාරණාවක්. භවත් ගෞතමයෙනි, ඔබගේ ශ්‍රාවකයන් දැන් වගේම අතීතයේ දීත් සංවර වුණා. අනාගතයේත් ඒක එහෙම වේවි. කන්දරක ඒකේ වෙනසක් නෑ අද වගේ ම අතීත බුදුරජාණන් වහන්සේලාත් තමන්ගේ ශ්‍රාවකයන් මනා ලෙස සංවර කළා. අද වගේම අනාගත බුදුරජාණන් වහන්සේලාත් තම ශ්‍රාවකයන් මැනවින් හික්මවනවා. කන්දරක මේ භික්ෂූන් වහන්සේලා අතර සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලාත් වැඩ සිටිනවා. ඒ වගේම කය ගැන මෙනෙහි කරන වේදනාව ගැන මෙනෙහි කරන සිත හා ධර්මය ගැන මෙනෙහි කරන මෙම සතර සතිපට්ඨානයෙන් යුතුව කල් ගෙවන භික්ෂූන් වහන්සේලාත් මෙතන වැඩ සිටිනවා කියාදේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන කියන්නේ කුමක්දැයි කෙටියෙන් නමුත් දැන ගන්න එක හොඳයි.

සතිපට්ඨානය කියන්නේ සතිය මැනවින් පිහිටුවා ගැනීමයි. සතර සතිපට්ඨානය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවටයි.

කායානුපස්සනාව කියන්නේ කය අනුව බලා භාවනා කිරීමයි.

වේදනානුපස්සනාව යන්නෙන් අදහස් කරන්නේ වේදනාව අනුව බැලීමයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මෙම වේදනා ස්ථිර වූවක් නොවේ. එය හේතූන්ගේ එකතුවෙන් සිදුවන්නක්, ඇස කන, නාසය, දිව, ශරීරය, මනස නිසා හටගන්නා වින්දනයත් වේදනා ලෙස හඳුන්වනවා. මේ එක් එක් ආකාරයෙන් ලබන වින්දනයක් සැප සහගත දුක් සහගත, උපේක්ෂා සහගත වශයෙන් හඳුන්වනවා. සාමිස වේදනා වශයෙනුත් නිරාමිස වේදනා වශයෙනුත්, වේදනාව කොටස් දෙකක් දක්වා තිබෙනවා. මෙම වේදනා ත්‍රිවිධ වේදනා සමඟ සම්බන්ධයි. චිත්තානුපස්සනාව කියන්නේ සිත අනුව බැලීම යන්නයි. සිත පුදුම සගගත වස්තුවක් බුදුරජාණන් වහන්සේ සිත දියුණු කිරීමෙන් සමාධිය ඇති වන බව දේශනා කළා. සමාධියට පත් වූ සිත පහසුවෙන් ලෝකෝත්තර ප්‍රඥාව දෙසට නැඹුරු කරන්න පුළුවන්. දෛනික ජීවිතයේ දී පාප සිතිවිලිවලට වසඟව නොමඟ යවමින් වැළකී ජීවිතය උසස් තත්ත්වයට පත්කර ගන්නටත් සෑම කටයුත්තක්ම නිරවුල්ව කර ගන්නටත් චිත්තානුපස්සනාව හේතු වෙනවා.

ධර්මයට අනුව බැලීම ධම්මානුපස්සනාවයි. නීවරණ පරිග්‍රහ ස්කන්ධ පරිග්‍රහ, ආයතන පරිග්‍රහ, බොජ්ඣංග පරිග්‍රහ, සච්ච පරිග්‍රහ වශයෙන් ධම්මානුපස්සනාව කොටස් පහකින් යුක්තයි. බුදුහාමුදුරුවෝ එතැන වැඩ සිටි භික්ෂූන් වහන්සේලා පිළිබඳව හඳුන්වා දුන්නාට පසුව පෙස්ස කියනවා ස්වාමිනි, පුදුම සහගතයි. මේ සතර සතිපට්ඨානය සත්ත්වයාගේ විමුක්තිය, දුක්, දොම්නස් දුරු කිරීම පිණිස පවතින්නක් කියා ගිහියන් වන අපත් නිවාඩුවක් තියෙන වෙලාවක මේ සතර සතිපට්ඨාන මෙනෙහි කරනවා. ස්වාමිනි ඔබ වහන්සේ මිනිසුන්ගේ වැසුනු කිළිටි, කෛරාටික අදහස් මෙන්ම මිනිසුන්ට හිතවත් අහිතවත් පිළිවෙත් දන්නවා. ස්වාමිනි, මිනිසුන්ගේ අදහස් හරි ගුප්තයි. සිව්පා සතුන්ගේ වගේ ප්‍රකට නැහැ. ඔවුන්ගේ අදහස් කියා පෙස්ස ප්‍රකාශ කළා. එවිට බුදුරජාණන් වහන්සේ පෙස්ස ඔබ ප්‍රකාශ කළා වගේ මිනිසුන්ගේ අදහස් ප්‍රකට නැහැ. සිව්පාවුන්ගේ අදහස් ප්‍රකටයි.

පෙස්ස, මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් තමාගේ ශරීරයට අධික ලෙස දුක් දෙමින් තමාව පීඩනයට පත් කරනවා. තවත් කෙනෙක් ඉන්නවා අනුන්ට දුක් දෙමින්, අනුන් පීඩනයට පත් කරනවා. තුන්වැන්න, තමාත් අනුන්වත් පීඩාවට පත් කර ගන්නවා. හතර වැන්නා මේ ආත්මයේ දීම තණ්හාව දුරු කරලා විමුක්ති සුවය විඳින්නෙක් වෙනවා. පෙස්ස, මේ පුද්ගලයන් සතර දෙනාගෙන් ඔබ වඩාත් කැමැති කාටද කියා බුදුරජාණන් වහන්සේ පෙස්සගෙන් විමසුවා. ස්වාමීනී, තමා සහ අනුනුත් පීඩාවට පත් නොකරන්නා උසස් කියලයි මට හිතෙන්නේ පෙස්ස ප්‍රකාශ කළා. හොඳයි පෙස්ස, ඔබ සතර වැන්නාට පි‍්‍රය කරන්නේ කුමක් නිසා දැයි බුදු හාමුදුරුවෝ නැවතත් පෙස්සගෙන් ප්‍රශ්න කළා. පෙස්ස කියනවා ස්වාමීනි, තමන් තවන පුද්ගලයා තමන්ට දුක් දෙනවා. අනුන් තවන පුද්ගලයා අනුන්ට දුක් දනෙවා. තමන් තවන, අනුන් තවන පුද්ගලයා දෙදෙනාම තවනවා. ඒ නිසයි මේ තුන්දෙනාටම මම අකැමැති, ස්වාමීනි, අපට බොහොම වැඩ තියෙනවා කියලා පෙස්ස බුදුහාමුදුරුවන්ට වැඳලා එතැනින් පිටත් වෙලා යන්න ගියා.

පෙස්ස, එතැනින් පිටවුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළා. මහණෙනි, පෙස්ස නුවණැත්තෙක්, පණ්ඩිතයෙක්. මා සඳහන් කළ පුද්ගලයන් සතර දෙනා ගැන විස්තර ඇසුවානම් පෙස්සට සෝවාන් වෙන්න තරම් වාසනාව තිබුණා. එය ඇසූ භික්ෂූන් වහන්සේලා ඒ පුද්ගලයන් සතර දෙනාගේ විස්තර දේශනා කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

මහණෙනි, තමන් තවන පුද්ගලයා යහපත් ගති පැවතුම් ඇත්තේ නැහැ. එන්නැයි කී විට එන්නේ නැහැ යන්නයි කී විට යන්නේ නැහැ. කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ගැබිනියක්, කිරි මවක්, විවාහක කාන්තාවක් දුන් දෙයක් ගන්නෙ නැහැ. බල්ලෙක්, මැස්සෙක් සිටි තැනින් ආහාර ගන්නේ නැහැ. පිඬු එකක්, පිඬු දෙකක්, පිඬු හතක් පමණයි කෑමට ගන්නේ. දවසක් හැර දවසක්, දවස් දෙකක් හැර දවසක්, සත් දවසකට දවසක් අඩ මසකට වරක් ආහාර ගන්නවා.

හෙතෙම කනවැහැර, මිශ්‍රකවැහැරි, පාංසුකූල, ගස්සුඹුලු, අඳුන් දිවිසම් කුසතණ, කෙඳි, පතුරු, හිසකෙස්, අශ්වයන්ගේ ලොම් වලින් කළ වස්ත්‍ර තමයි අඳින්නේ, පෙරවන්නේ, හිසකෙස් රැවුල්ගස් උදුරනවා. ආසනවල වාඩි වෙන්නේ නෑ. උඩබලාගෙන ඉන්නවා. උක්කුටුකයෙන් ඉන්නවා. කටු යහනක, කටු ඇතිරිල්ලක නිදනව. දවසට තුන් වරක් දියේ බැස ගෙන සිටිනවා. මෙසේ නොයෙක් ආකාරයෙන් තමාගේ ශරීරයට දුක් දී තවනවා.

“මහෙණෙනි අනුන් තවන පුද්ගලයා ඌරන්, එළුවන්, ලිහිණියන්, මුවන් ආදී සතුන් මරනවා. මසුන් මරණාව, සොරකම් කරනවා, සොරුන් මරනවා, අනුන් හිරගෙවල්වල සිර කරනවා. වෙනත් දරුණු ක්‍රියාවල යොදවනවා. මෙසේ නොයෙක් ආකාරයෙන් අනුන්ට දුක් දී තවනවා.

“මහණෙනි, තමන්වත් අනුන්වත් තවන පුද්ගලයා යාගශාලා තනවා. හිස් රැවුල් බාවා, අඳුන් දිවිසට හැඳගෙන ගිතෙල් තලතෙල්වලින් ශරීර නහවා මුව අගින් සිට කසමින් පැදුරුවල ගොම පිරිබඩ කළ බිම වැතිර යාගය පිමිණ මෙපමණ ගොනුන්, වස්සන්, වැස්සියන්, එළුවන්, බැටළුවන්, මරවයි. විධාන දෙමින්, දර කපව්, කුසතණ ගෙනෙව් කියා දාසියන්ට, කම්කරුවන්ට අණ කරමින් ඔවුන්ට දහසක් දඬුවම් දෙමින් තමන්ටත්, අනුන්ටත් දුක් දෙනවා.” මහණෙනි, තමන්වත් අනුන්වත් නොතවන පුද්ගලයා මේ ආත්මයේදීම ආශාව නැති කෙලෙසුන්ගෙන් නිවුන, අතිශයින් නිවුන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ව වාසය කරනවා. මහණෙනි, මේ ලෝකයෙහි නවඅරහාදී ගුණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ පහළ වෙනවා. උන් වහන්සේ සියල්ල දන්නා නුවණින් ලෝක සත්ත්වයා ගැන දැන ගෙන මුල මැද අග යහපත් පිරිසුදු බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. කිසියම් කෙනෙක් ඒ ධර්මය අසා, පැහැදී ගිහිගෙයි වාසය කිරීම ගැන කලකිරී සැප සම්පත් හැර දමා මේ සසුනෙහි පැවිදි වෙනවා.

මෙසේ පැවිදි වන හෙතෙම චුළසීල, මජ්ක්‍ධිම සීල, මහාසීල කියන උතුම් සීලයන් ආරක්ෂා කෙරෙමින් කාමච්ඡන්ද ආදී පංචනීවරණ ධර්ම දුරුකොට පිළිවෙළින් පළමුවන, දෙවන, තුන්වන හා සිව්වන ධ්‍යාන ලබාගන්නවා. අනතුරුව මෙසේ සිත එකළස් කොට පිරිසුදුව කෙලෙසුන් පහව ගොස් සිත ස්ථිරව පිහිටුවාගෙන පෙරජාති සිහිකරන නුවණත් චුතවන මෙන්ම උපත ලබන සතුන් දකින නුවණත් අවසානයෙහි සියලු කෙලෙසුන් පහකරන නුවණත් ලබා මේ ආත්මයේ දීම රහත් බවට පත්වන බව දේශනා කළා.

දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයට අනුව සතුන් මැරවීමෙන් තොර වීම, සොරකම් කිරීමෙන් තොර වීම, බඹසර රැකීම, බොරු කේලාම්, පරුෂ වචන, හිස් වචන කීමෙන් වැළකීම ගස්වැල් හා බීජ නැති කිරීමෙන් වැළකීම ආදී වශයෙන් දැක්වෙන්නේ චුල ශීලයයි. ගස්වැල් හා ඒ බීජ විනාශ කිරීමෙන් තොරවීම ධනය එකතු කර තබාගෙන ජීවත්වීමෙන් තොර වීම විනෝදාත්මක දරශනයෙන් තොරවීම සූදුවෙන් තොරවීම ආදියෙන් වැළකීම මජ්ක්‍ධිම ශීලයයි. අංග ශාස්ත්‍ර නිමිති කීම, සිහින තේරීම, ගිනි දෙවි පිදීම, ආවාහ විවාහ සඳහා නැකැත් සෑදීම ගුරුකම් කිරීම දෙවියන්ට භාරදීම, එම භාර ඔප්පු කිරීම ආදී වශයෙන් දක්වන ලද වැරදි ජීවිකාවෙන් වැළකීම මහා ශීලයයි. ශීලාදි ගුණ ධර්ම රැක ගනිමින් සතිපට්ඨාන සූත්‍රයට අනුව ක්‍රියා කිරීමෙන් ඔබ සැමට උතුම් රහත් බෝධිය පසක් වෙත්වා.

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]