UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇයි මෙතරම් වෙනස්කම්

ඇයි මෙතරම් වෙනස්කම්

මේ ඉපදීම් ස්වභාවයේදී කෙනෙකු ලස්සනයි. තවත් අයෙක් අවලස්සනයි. අයෙක් දිළිඳුයි. තවත් අයෙක් ඉතාමත් ධනවත්. අයෙක් උගත්. අනෙකා නූගත්. එකම මිනිස් ජීවිතයක් ලැබූ අපට මෙසේ වෙනස්කම් සිදුවන්නේ ඇයි? යන්න අප සාකච්ඡා කළා.

චූලකම්ම විභංග සූත්‍රයට අනුව මේ ලෝකයේ ඉපදුන සෑම සත්ත්වයෙක්ම තුළම විවිධ වෙනස්කම් මෙන්ම ප්‍රභේදත් කර්මය මත සිදුවන බව තථාගතයන් වහන්සේ මෙසේ වදාළා සේක.

1. ඇතැම් මිනිසුන් දීර්ඝායුෂ විඳියි. ඇතැමෙක් අල්පායුෂවෙයි, 2. ඇතැමෙක් රෝගපීඩා අඩුවූවන්ය. ඇතැමෙක් බොහෝ ලෙඩදුක් ඇත්තෝය, 3. ඇතැමෙක් බොහෝ රෝග සහිතය. ඇතැමෙක් නිරෝගි සම්පන්නය, 4. ඇතැමෙක් දුර්වර්ණය. ඇතැමෙක් ශරීර ශෝභා ඇත්තේය, 5. ඇතැමෙක් අල්පේශාක්‍යය. ඇතැමෙක් මහේශාක්‍යයෝය, 6. ඇතැමෙක් මහභෝග ඇති ධනවතුන්ය. ඇතැමෙක් ඉතා දුප්පත්ය, 7.ඇතැමෙක් පහත් යැයි සම්මත කුලයේ ඉපදේ. ඇතැමෙක් උසස් යැයි සම්මත කුලයේ ඉපදේ, 8. ඇතැමෙක් නුවණ නැත්තෝය. ඇතැමෙක් ප්‍රඥාවන්තයෝ ය.

මෙසේ මිනිසා කොටස් දහසයකට බෙදිය හැක.මෙසේ වෙනස් බව ගෙනදෙන කුසල අකුසල් නම් පින සහ පවය. පිරිසුදු සහ අපිරිසුදු චේතනාවෝය. අපිරිසුදු සිතින් යමක් කීවත්,කළත්, සිතුවත් ඒ සියල්ල අකුසල්ය.

1. අල්පායුෂ්ක වීමට හේතුව - යමෙක් දයාවක්, අනුකම්පාවක් නැතිව සතුන් මැරීමෙහි යෙදුණේ වේද? ඔහු මරණින් මතු අපායෙහි උපදී. මිනිස් ලොව ආ කල මඳ වූ ආයුෂ ඇත්තෙක් වෙයි.

2. දීර්ඝායුෂ වීමට හේතු – යමෙක් සතුන් කෙරෙහි කරුණා මෛත්‍රී උපදවාගෙන සතෙකු මැරීමට කිසිදු උපක්‍රමයක් හෝ නො කරයිද ඔහු මරණින් මතු දෙව්ලොව ඉපදේ. මිනිස් ලොව ආ විට සියලු සැපත් ලැබ නිදුක් නිරෝගි සුවපත්ව බොහෝ කල් ජීවත් වෙයි.

3. බොහෝ රෝග වැළඳීම – යමෙක් රෞද්‍රව කඩු, දුනු, කැට කැබලි දඬු මුගුරු ආදියෙන් සතුන්ට පීඩා කරයිද, සුව කැමැති සතුනට හිංසා කරයිද ඒ අකුසලයෙන් මරණින් මතු අපායේ ඉපදේ.

4. අල්පාබාධ වීම – යම් කිසිවෙක් අතින් පයින් හෝ කැට කැබැලි ආදියෙන් හෝ සතුනට හිංසා කිරීමෙන් වැළකී කිසිවෙකුට කිසිදු බලහත්කාරකමක් නො කොට හිංසා නොකරමි යන සිතිවිලි මාත්‍රයකුදු නූපදවා සව්සතුනට දයා මෛත්‍රි පතුරුවා කරුණා හදින් වෙසේනම් ඔහු මරණින් මතු දෙව් ලොව ඉපදී අපමණ සුව ලබයි. මිනිස් ලොව උපන් කල්හි කාය චිත්ත පීඩා නොමැති නිරෝගිි ව ලෙඩ රෝග නොමැතිව සුවසේ වෙසේ.

5. දුර්වර්ණ වීමට හේතු – යම් කිසිවෙක් නිතර කිපේද? මෙත් සිතින් සුළු අවවාදයක් කළ කල්හිද සිත නරක් කර ගත්තේ සිත වෙයිද, ක්‍රෝධ ගින්නේ පිළිස්සේද, ක්‍රෝධ බහුල හෙතෙම මරණින් මතු අපායේ ඉපදී අපමණ දුක්පීඩා විඳ මරණින් මතු මිනිස් ලොව උපන් කල්හි දුර්වර්ණව බෙහෙවින් විරූප වේ. ශරීර ශෝභාව අහිමියි.

6. රූප සම්පන්න වීමට හේතු – යමෙක් ඉතා බොහෝ කොට අවවාද කරනු ලැබුවත් නො කිපේ. අවවාද ඉතා සොම්නසින් පිළිගනී. අවවාද කරන්නේ නම් වඩාත් පි‍්‍රති වේ. කිසිසේත් කුපිත නොවන ඔහු සතුට ද පළ කරයි. ඉවසන සුළු වූ යහපත් සිතැති ඒ සත්පුරුෂ තෙමෙ මරණින් මතු දෙව් ලොව ඉපිද අපමණ වූ දිව්‍ය සම්පත් විඳී. මිනිස් ලොව ආ කල්හි යහපත් වූ ශරීර වර්ණ ඇතිවෙයි. දුටුවන් පහදයි. ලෝකයාගේ ආදරය ලබයි. ඉතා සුරූපි වෙයි.

7. අල්පේශාක්‍ය වීමට හේතු – යමෙක් අනුන්ගේ සැපත නො ඉවසා ද ඊර්ෂ්‍යා කෙරේ. අනුන් ලාභ සත්කාර ආදිය ලබනු දැක නො සතුටු වේද? ඔහු මරණින් මතු අපායේ ඉපදේ. මිනිස් ලොව ආ කල්හිද අල්පේශාක්‍ය වෙයි. ධනවත් වැදගත් නෑ මිතුරන් නො ලැබේ. දිළිඳු පිරිසක් ඇසුරට ලැබේ.

8. මහේශාක්‍ය වීමට හේතු – අනුන්ගේ සැපතෙහිත් දියුණුවෙහිත් ඉතා සතුටු වන සද්පුරුෂ ඔහු මරණින් මතු දිව්‍ය සම්පත් විඳී. යම් හෙයකින් මිනිස් ලොව ආ විට මහ පිනැති පවුලක උපත ලබා මහා පිරිවර සමඟ යසස් කීර්තියෙන් ජීවත් වේ.

9. දිළිඳු වීමට හේතුව- දන් නොදෙන තැනැත්තා කිසිදු සැපත් නො ලබා මරණින් මතු අපායේ උපදී. එසේ නොමැතිව මිනිස් ලොව ආ විට දිළිඳු පවුලක උපත ලබයි. ආහාරපාන ඇඳුම් පැළඳුම් නො ලබයි. ඉතා දුකසේ ජීවත් වේ.

10. ධනවත් වීමට හේතු- යමෙක් මීළඟ ජීවිතය්දී සුවපත් භාවය පිණිස පින් කරයි. සිල්වත් උතුමන්ට පූජා බුද්ධියෙන් අසරණයනට අනුකම්පා බුද්ධියෙන් දන් දෙයිද, ඔහු මරණින් මතු සියලු සැප ලබයි. මිනිස් ලොව ආ විට ම පිනැති ඉතා ධනවත් පවුලක උපදී. ආහාරපානාදි සියල්ල ඉතා බොහෝ සේ ලබයි. සා පිපාසයෙන් පීඩා නොවිඳ සුවසේ වෙසෙයි.

11. පහත් පවුලක ඉපදීමට හේතු – යමෙක් බලවත් වූ මාන ඇත්තේ වේද, ගරු කටයුතු උතුමන්ට වැඳීම්, හුන්නස්නෙන් නැගිටීම් ආදියෙන් ගෞරව නොකරයි ද, හෙතෙම අපායෙහි උපදී. නැවත මිනිස් ලොව ආ කල්හි පහත් පවුලක ඉපදේ.

12. උසස් පවුලක ඉපදීමට හේතු- යම් පුරුෂයෙක් තුණුරුවනට ගෞරව කරයිද, ගුණවතුට සිල්වතුනට ගෞරව කරයිද, වැඩිමහත් අයට ආදරය කරයි. නිහතමානි හෙවත් උඩඟු නැතිව වැඳුම් පිදුම් කරයිද, සැලකිය යුතු සියල්ලට සැලකුම් ලබා දේද ඔහු මරණින් මතු දෙව්ලොව ඉපදී. මිනිස් ලොව ඉපදුන විට ඉතා උසස් පවුලක ඉපදී ලෝකයාගේ ආදරය ලබයි. වන්දනාමානයට පත්වේ.

13. නුවණ නැති වීමට හේතු – යමෙක් ගුණවත්, නැණවත්, උතුමන් වෙත ගොස් “ස්වාමිනි කුසල් නම් කුමක්ද? අකුසල් කුමක්ද?, කවර ධර්මයක් සේවනය කළ යුතුද, කවර ධර්මයක් සේවනය නො කළයුතුද? කවරක් කිරීමෙන් බොහෝ කල් සුව විඳින්න වේද? ආදී දේ නොඅසා නම් පින්, පව් නොදන්නේ නම් කුසල් බැහැර කොට අකුසල් කරන්නේ නම් මරණින් මතු අපායේ ඉපදේ. මිනිස් ලොව උපන් කල්හි නුවණ නැති ඉතා බාල තැනැත්තෙකු වේ.

14. නුවණ ලැබීමට හේතු – යමෙක් බුදු, පසේබුදු, මහරහතුන් වෙත ගොස් හෝ සිල්වත්, ධර්මධර සංඝයා වෙත ගොස් ධර්මය අසා සියලු වරදින් වළකී. සිතින්, කයින්, වචනයෙන් සුචරිත වෙයි. නොදන්නා දේ දැනගනී. ඔහු මරණින් මතු සුගතියේ ඉපදේ. මිනිස් ලොව උපන්විට උතුම් නුවණ ඇත්තෙක් වෙයි. මහා ප්‍රඥාවන්තයෙකි.

 

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]