UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කණිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් දරුවා කරුණාතිලක සකලසූරිය නම්විය. සලකසුන්දරාරාම සඟසතු කර පූජා කරන අවස්ථාවේදී සලකසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවාද සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන් ලෙස වැඩ විසූ හිස්සැල්ලේ ඤාණෝදය මහානාහිමියන් වෙතින් 1926 දී හේන්පිටගෙදර ඤාණවාස නමින් එම කුමරු පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අදාළ මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට වැඩම කරවන ලදී. 1940 දී උපසම්පදා දිවියට ඇතුළත් විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධියත්, 1955 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් ලබා ගැනීමට සමත්විය. 1944 දී දර්ශන විශාරද උපාධිය ද ලබා ගත්තේ ය.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන මහා විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේ දී මුල් වී කටයුතු කරමින් බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන, තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙනේ දියුණුව උදෙසාද කටයුතු කළේ ය. විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්වරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයක බුද්ධ ධර්මය පිළිබඳව මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේ ය. නාහිමියෝ විදේශ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් දේශීය මෙන්ම විදේශීය ආගමික සමුළු රාශියකටම සහභාගි විය. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශක මණ්ඩලයේ සාමාජිකත්වය, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිධූරය ද නාහිමියෝ ඉසුලූහ.

රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙන, පාතකඩ භික්ෂු පුහුණු ආයතනය, බලගල්ල සරස්වතී පිරිවෙන, දිවුලපිටිය ධර්මනිකේතනය, දෙමටගොඩ ශී‍්‍ර ඤාණසීහ විහාරස්ථානය ආදී ස්ථානවල අධිපතිධූරය හෙබවූ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බලගල්ල සරස්වතී ආයතනයේ අධිපතීන් වහන්සේ වශයෙන් ඉමහත් සේවාවක් ඉටුකල අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරී වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම සිදු කළ අතර බෞද්ධ කොමිෂන් සභා වාර්තාව හා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී මුල් වී කටයුතු කළහ. ස්ව නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූ නා හිමියෝ නිකායේ දියුණුව උදෙසා ඉමහත් සේවාවක් ඉටු කළේ ය.

1986 නොවැම්බර් 02 දින අපවත්වී වදාළ හේන්පිටගෙදර ඤාණාවාස නා හිමියන් ඉටුකළ ආගමික ශාසනික හා සමාජ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුළුගහපිටියේ සුමංගල හිමියන් හා සමස්ත ඉන්ද්‍රජිත් මහතා ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනේ වාර්ෂික කඨින මහා පින්කමට සමගාමීව ගුණ සමරු පින්කම් මාලාවක් ඔක්තෝබර් 29, 30 දෙදින තුළ එම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


පැල්මඩුල්ලේ ශ්‍රී ධම්මික නා හිමි

රත්නපුර වැලිමළුව ශ්‍රී ඤාණාරාම පුරාණ විහාරය, දළුක්ගල ශ්‍රී මෛත්‍රී බෝධි විහාරය යන උභය විහාරාධිපති, පැල්මඩුල්ල මීගහගොඩ ශ්‍රී රතනපාල පරිවේණාධිපති , සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි පරිවෙණාධිපති සංගමයේ සමලේකම් පැල්මඩුල්ලේ ධම්මික හිමියෝ මෙම මස 30 වන දින සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති.

පැල්මඩුල්ලේ දී මාටින් පතිරණ ගම්පතිතුමාගේ හා උදුලාවතී මැණිකේ මහත්මියගේ කනිටු පුතණුවන් ලෙස 1965.ජුනි 15 දින ජන්ම ලාභය ලද පින්වත් කුමරු මීගහගොඩ පුරාණ විහාරයේදී 1977 දෙසැම්බර් 23 දින පැල්මඩුල්ලේ ධම්මික නමින් සසුන් ගත විය.

එම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ වේහැල්ලේ ශ්‍රී ඤාණානන්ද හිමි සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක වේහැල්ලේ ශ්‍රී ධම්මපාල නාහිමි, කොළඹ දෙමටගොඩ පධානඝර මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පරවාහැර ශ්‍රී පඤ්ඤානන්ද නාහිමි යන සංඝ පීතෘවරයන් වහන්සේලාගේ පැවිදි ශිෂ්‍යයකු වීමේ භාග්‍ය ධම්මික හිමියන්ට ලැබුණි. 1979 දී දෙමටගොඩ පධානඝර මහා විහාරස්ථ ධර්මදූතාශ්‍රම මහ පිරිවෙනට ඇතුළත් විය.

ධර්මදූතාශ්‍රම මහපිරිවෙන මඟින් අධ්‍යාපනය මැනවින් ලබාගත් ධම්මික හිමියෝ 1986. මැයි 15 දින මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදා විය. උසස් අධ්‍යාපනය සඳහා යොමු වූ පැල්මඩුල්ලේ ධම්මික හිමියෝ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මහරගම ජාතික අධ්‍යාපන ආයතනය යන උසස් අධ්‍යාපන ආයතන මගින්ද තම දැනුම වර්ධනය කරගත්හ. 1990 දී ධර්මදූතාශ්‍රම මහා පිරිවෙනෙහි ගුරුවරයෙකු ලෙස පත් වූ ධම්මික හිමියෝ 2000 සැප්තැම්බර් 14 දින සිට 2013 දක්වා එහි පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළේය. සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි පරිවේණාධිපති සංගමයේ සමලේකම් ලෙස 2003 ජූලි 22 වන දින පත් වූ ධම්මික හිමියෝ සමස්ත පිරිවෙන් පද්ධතිය වෙනුවෙන් නොමැකෙන සේවාවන් රැසක් සිදු කළහ. පිරිවෙන් ධජය එළිදැක්වීම,ජාතික පිරිවෙන් දිනයක් ප්‍රකාශයට පත්කිරීම ශ්‍රී ලංකාවේ ඇති සියලුම පිරිවෙන්වල මූළික තොරතුරු ඇතුලත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීම වැනි කටයුතු ඒ අතර සුවිශේෂී වෙයි.

අභාවයට යමින් තිබු වැලිමළුව ශ්‍රී ඥානාරාම දර්ශනීය පින් බිමක් බවට පත් කළහ. එහි පවත්වාගෙන යනු ලබන සිරි තිබස් පෙර පාසලේ නිර්මාතෘවරයා වන්නේද ධම්මික හිමියන්ය.

මීගහගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ වේහැල්ලේ ධම්මපාල නා හිමියන්ගේ හා හුණුවල සීලරතන හිමියන්ගේද සහයෝගයෙන් 2013 දී මීගහගොඩ පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල පිරිවෙන ආරම්භ කළ අතර එදා සිට අද දක්වා එහි පරිවේණාධිපතින් වහන්සේ වශයෙන්ද අපමණ සේවාවක් සිදු කරති.

උන් වහන්සේගෙන් සිදුවන ලෝක ශාසනික සේවාවන්ට උපහාරයක් ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක සංඝ සභාව මඟින් “විනය කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ධම්මපාලාභිධාන ගෞරව නාමය සහිතව සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී. ඒ පිළිබඳ සන්නස් පත්‍රය ලබා ගැනීමේ ශාසනික උත්සවය 2016 ඔක්තෝබර් 30 දින සවස 03.00 ට මහනුවර මල්වතු මහා විහාරයේදී සිදුවන අතර අභිනව නා හිමිපාණන් වහන්සේට ගෞරව උපහාර දැක්වීමේ උත්සවය 31 දින සවස 03.00 ට වැලිමළුව ශ්‍රී ඥානාරාම පුරාණ විහාරස්ථානයේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිත සිරි මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සහ කථානායක කරූ ජයසූරිය මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.


යටියන ඤාණාවාස අනු නා හිමි

ශාස්ත්‍රපති යටියන ඤාණාවාස නාහිමියන්ගේ 65 වන ජන්ම දිනය පසුගිය බිනර මස 16 වැනිදාට යෙදී තිබුණි.

යටියන විසූ ඇම්.කේ ජේමිස් අප්පුහාමි මහතාට හා වී.කේ. රොසලින් යුවලට දාව 1951 බිනර මස 16 වැනිදා පින්වත් කුමරකු මෙලොව එලිය ලැබීය.

මිනුවන්ගොඩ යටියන මිශ්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා යටියන ශ්‍රී සුධර්මාරාමය හා වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාම යන විහාරස්ථානයේ ඇසුර ලබා 1966 ජනවාරි මස 06 වන දින ශ්‍රී කල්‍යාණිවංශිකාරාමයට පැමිණ 1970 වෙසක් මස 01 වන දින පැවිදි බිමට එක් විය. 1972-78 දක්වා විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලබා 1978-80 දක්වා හුණුපිටිය ගංගාරාම පිරිවෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ’ උන්වහන්සේ ශ්‍රී කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා සීලයෙහි පිහිටුවා වදාරන්නේ 1970 වෙසක් මස 20 වන දිනය.

1980 ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කාරක සභාවට වැඩම කරන උන්වහන්සේ 1989 වන විට උපාධිධාරි හිමි නමක් වූ අතර 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලැබූ අතර එම වසරේදීම කර්මාවාගාචාර්ය ධුරයද දැරූ සේක. මුන් වහන්සේගේ ගුරු හිමියන් වහන්සේ වන මුල්ලේරියාවේ පඤ්ඤාවාස අනුනාහිමියන් අපවත් වී වදාළ පසු 1997 මුල්ලේරියා පාර්ශ්වයේ සංඝ නායක පදවියද 1999 සංඝ සභාවේ අනුනායක පදවියෙන්ද පුදනු ලැබීය.

උසස් අධ්‍යාපනයෙන් පසු ශාස්ත්‍රපති උපාධියද ලබා කොළඹ ප්‍රදේශයේ පාසල් ගණනාවක සේවය කොට 2008 ගුරු සේවයෙන් විශ්‍රාම ගත් උන්වහන්සේ මේ වන විට තමන් වහන්සේගේ විවිධ වූ සේවා මෙහෙවර සිදු කරගෙන යන අතර, මනසට නැගුණු ධර්මය හා සමීප වූ යම් යම් මාතෘකා ඔස්සේ ග්‍රන්ථකරණයෙහි යෙදෙමින් සාහිත්‍යයට විශාල මෙහෙවරක් කරමින් වැඩ සිටී.

2007 දී ග්‍රන්ථකරණයට පිවිසෙන උන්වහන්සේ මැකී යන ගැමි සුවඳ හා ගමේ කථා, අතීතයෙන් ගත් බිඳක්, කෙළෙස් විපත් යනාදී ග්‍රන්ථ ගණනාවක් සාහිත්‍යයට දායාද කොට ඇත.

මුල්ලේරියාව පඤ්ඤාවාස අනු නා හිමියන්ගේ අපවත් වීමෙන් පසු, විහාරාධිපති ධූරයට පත් උන්වහන්සේ විහාරස්ථානයේ කාලීන සංවර්ධන කටයුතු කරගෙන යන අතර, ස්වකීය සංඝ සභාවෙන් ලැබුණු අනුනායක ධූරය හොබවමින් ජාතික ආගමික සාමාජික වූ කාර්යභාරයන් ඉටු කරමින් වැඩ සිටීම මහත් අස්වැසිල්ලකි.

විහාරස්ථානයේ පවත්වාගෙන යන දහම් පාසල ප්‍රදේශයේ දහම් පාසල් ඉතා පැරණිය.යටියන ඤාණාවාස අනුනාහිමියන්ගේ 65 වන ජන්ම දිනය වෙනුවෙන් පසුගිය, බිනර මස 15 වන දින සංඝයා වහන්සේලා 65 නමක් උදෙසා මහා සාංඝික දානයක් පූජා කරනු ලැබූ අතර බිනර මස 16 වන පුන් පොහෝ දින උන්වහන්සේ විසින් ධර්ම දේශනාවක් සිදු කොට වදාළ සේක.

මෙම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ මුල්ලේරියාවේ සිරි පඤ්ඤාවාස අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාර ගණයේ සියලු ස්වාමීන් වහන්සේලාට සහ මිය ගිය දායක පින්වතුන්ට පින්දීම සඳහා යටියන ඤාණාවාස අනුනාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් වාර්ෂිකව සිදු කරනු ලබන මහා දානමය පින්කම රජරට ප්‍රදේශයේ ගල්ගමුව කංකානියාගම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් 23 වරට පැවැත්විණි.

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]