UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයේ කථාවයි කඨිනානිසංස දේශනාවයි

වස්සානයේ කථාවයි කඨිනානිසංස දේශනාවයි

දිනක් වස් පවාරණය කර දෙතුන් දිනකින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා හිමාල පර්වතයට වැඩම කළ සේක. එහිදී අනවතප්ත විලෙහි නෙළුම් මල් පන්සියයක කෙමි මත බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් රහතන් වහන්සේලා රශ්මි දහරාවන්ගේ අසිරියෙන් බැබළෙමින් දෙව් බඹුන්ගේ සාධුකාර මධ්‍යයේ වැඩසිටි සේක.

මෙම ලිපියෙහි දෙවන කොටස වප් අව අටවක පෝදා (ඔක්තෝබර් 22) පත්‍රයේ පළ විය.

ඒ මහඟු අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අනාගත ලෝකයේ පින්වතුන් ද පුණ්‍ය විපාකයන් ගැන දැනුවත් වී පින් දහම්වල නිරත කිරීමට කැමැත්තෙන් මහත්ඵල මහානිසංස පුණ්‍ය ක්‍රියාවක් සිදුකරගත් භික්ෂූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිනවානම් ඒ උතුම් පින්කම වදාරන්නට මෙය අවස්ථාවක් බව වදාළ සේක.

එහිදී නාගිත මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කර දොහොත් මුදුන් දී එකත් පසෙක වැඩ හිඳිමින් මෙම කඨිනාශංස දේශනාව වදාළ සේක.

බුදුරජාණන් වහන්ස, මා කළ කඨින මහා පුණ්‍ය ක්‍රියාවේ බලයෙන් ඉකුත් තිස් කල්පයක් තුළ කවරදාකවත් සතර අපායකට නොවැටුණෙමි. කල්ප දහඅටක් දිව්‍ය ලෝකවල ද තිස් හතර වාරයක් දෙව්ලොව ශක්‍ර දිව්‍ය රාජ්‍ය සම්පත් ද වින්දෙමි. මනුෂ්‍ය ලෝකයේ උපත ලැබූ සෑම අවස්ථාවකදීම උසට ගැළපෙන මහතද, මහතට ගැළපෙන උස ද, ඒ දෙකටම ගැළපෙන පාට, පෙනුම සහ වතුපිටි කුඹුරු ආදියෙන් අනූන මහා සම්පත් ඇති කාලවල පිළිගත් උසස් වංශවත් පරම්පරාවල උපත ලදිමි.

මා කළ කඨින මහා පින්කමේ බලයෙන් මනුෂ්‍ය. දිව්‍ය ලෝකවල උපත ලැබූ හැම විටම කාගෙත් ආදර ගෞරවය ජනප්‍රියත්වයට පත් වී මාගේ අවසාන ආත්ම භාවයේදී නිවන් සම්පත් ලැබුවෙමි.

මෙසේ වදාළ නාගිත මහ රහතන් වහන්සේ තමන් වහන්සේ තිස් කල්පයකට පෙර විපස්සී බුදුරදුන් දවස සිදුකළ කඨින පින්කමේ ආනිශංස මෙසේ එකිනෙක වදාළ සේක.

ඡත්‍ර කුඩ පිදීම

මෙයින් ලැබූ ආනිශංස අටකි.

කිසිම ආත්මයක දී සීතලෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නොලැබීම, දැඩි සීතල – දැඩි උෂ්ණ ඇති රටක උපත නොලැබීම, සිරුරෙහි කුණු ඇලෙන ගතියක් නොමැති බැවින් දහදිය වැගිරීමක් නොමැතිවීම , උවදුරකට මුහුණ දීමට සිදුනොවීම, සැමදා සැමතැනම සැමගේම ගරු බුහුමන් ලබන කෙනෙක් වීම, ඉකුත් කල්ප ලක්ෂය පුරාම උපනූපන් ආත්ම භවයන්හිදී සිනිඳු , පිරිසුදු , වර්ණවත් සිරුරක් ලැබීම, අලංකාර ඡත්‍ර, අලංකාර නිවාස ලැබීම, ප්‍රධානත්වය මූලිකත්වය සෑම තැනකදීම ලැබීම.

සිවුරු වස්ත්‍ර පිදීම

බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේ දී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්‍ර පූජා කළෙමි. ඒ පිනෙන් සෑම භවයකදීම ආනිශංස අටක් ලැබුවෙමි.

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුතු ශරීර ඇත්තෙක් වීමි. ප්‍රතාපවත් වූ ද සිත පිනවන ප්‍රියශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීම, ඒ නිසා සෑම තැනකම නිබඳවම ජනාදරයට පත්වීම, සෑම ආත්මභාවයකදීම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්‍ර ලක්ෂ ගණනින් ලැබීම . එයින් ප්‍රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹු, දරු , ඥාති මිත්‍රාදීන්ට ද අගහිඟකම් ඇති අයට ද පරිත්‍යාග කළෙමි. එයින් ඉමහත් මානසික සහනයක් ලැබුවෙමි.

පාත්‍ර – භාජන පිදීම

බුදුරදුන් ඇතුළු මහ සඟරුවනට පාත්‍ර සහ ආහාර ගැනීමේදී වුවමනා කරන භාජන පිදීමේ බලයෙන් ආනිශංස දහයක් ලැබීමි.

රන්, රිදී , භාජන සහ අගනා පිඟන් කෝප්ප ආදී භාජන ලැබීම, ආහාර පාන ගැනීමේදී කැස්ස, හිරවීම, දිව තොල හැපීම බඳු උපද්‍රව ඇති නොවීම, ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම, සැමදා කාගේත් ගෞරවයට පාත්‍රවීම , දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන්ගෙන්, සතුන්ගෙන් විනාශ නොවීම, චංචල බවින් තොර ස්ථීර අදහස් ඇත්තකු වීම, සැමදා ධර්මයට කැමැත්තකු වීම, කෙලෙස් අඩු ගතිය , කාගේත් සිත් දිනාගැනීමට හැකි වීම, දෙවි මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම,

හිස රැවුල් බෑමට දැලිපිහි – උපකරණ පිදීම

පහසුවෙන් කල්තියා ගත හැකි විසිතුරු මිට සහිත හිස රැවුල් බාන දැලිපිහියා පූජා කිරීමෙන් ආනිශංස අටක් ලදිමි.

සෑම ආත්මභවයකදීම ක්‍රියාශීලී පුද්ගලයකු බවට පත්වීම, දර්ශනීය හිසකෙස් ඇත්තකු වීම හා අකාලයේ කෙස් නොහැලීම, ධර්ම ශාස්ත්‍රයන්හි විශාරද බවට පත්වීම, ධෛර්යවන්ත කෙනෙකු වීම, බාධක ජයගන්නකු වීම, සිතට එකඟව කටයුතු කරන්නෙකු වීම, තර්ක විතර්ක කිරීමේ දී අන් අයගේ වාද බිඳ හෙළිමේ සහජ කථිකත්වයක් ලැබීමි. කෙලෙස් සිඳලීමේ විදර්ශනා ප්‍රඥාව ලැබීම

ප්‍රයෝජනවත් වන කැති පිහි පිදීම

බාල නොවූ යහපත් පණ පොවන ලද යමක් කපා කියා ගැනීමට වුවමනා කරන පිහියා පූජා කිරීමෙන් අනුසස් ද ලැබූවෙමි.

කුඩුකේඩු කම්වලින් තොර යහපත් සිතක් ඇති බව, උත්සාහවන්ත ගතිය , ඉවසිලිවන්ත ගතිය , කාගේත් සැපතට කැමැත්ත නම් වූ මෛත්‍රී සහගත බව, කෙලෙස් නැසීමට හැකි ප්‍රඥාව

ඉදිකටු නූල් පිදීම

ඉදිකටු , නූල් , කතුරු ආදිය පූජා කිරීමෙන් අනුසස් හතක් ලදිමි. සැක සිත් නැත්තකු වීම, අන් අයගේ සැක දුරු කිරීමේ ශක්තිය ඇති බව, රූප ශෝභාව, දේපළ ඇති බව, උපනුපන් ආත්මභාවයන්හිදි තියුණු නුවණක් ඇති බව, සැමවිටම තැනට ඔබින නුවණ පහළ වීම, වජ්‍රමය බඳු (වජිරමිව සමං ඤාණං) කෙලෙස් නසන නුවණ ලැබීම

තම ශ්‍රමය යොදා දන් පිළියෙළ කිරීම –

බුදුරදුන් ඇතුළු මහා සංඝයා වහන්සේට ද සියතින් දන්දීමේ පිනෙන් ආනිශංස අටක් ලදිමි.

යහපත් කීකරු සේවක කාරකාදීන් ලැබීම, ගව මහිසාදී සතුන් සහ නිවාස සම්පත් ලැබීම, තමනට ලැදි ආරක්ෂක මෙහෙකරුවන් ලැබීම, ප්‍රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබීම, තමන්ට ද ප්‍රණීත ලෙස ආහාර පාන පිසිය හැකි වීම, පිරිසුදු දර්ශනීය ආහාර පිසින මුළුතැන්ගෙවල් ලැබීම, කිසිදු කලෙක රසවත් ප්‍රණීතවත් ආහාර පානවලින් අගහිඟයක් නොවීම, නිරෝගී සම්පත් ලැබීම, සෑම භවයකදීම සතුටු සිතින්ම ප්‍රාණය නිරුද්ධ වීම,

විජිනිපත් පූජා කිරීම,

බුදුරදුන් ඇතුළු මහ සඟරුවනට දහදිය වළක්වා ගැනීමට පවන් අතු හෙවත් තල් අතු පූජාකිරීමේ බලයෙන් ආනිශංස අටක් ලදිමි.

සීතලෙන් හිරිහැරයක් නොවීම, උෂ්ණයෙන් පීඩාවක් නොවීම, ශරීර දාහය නැතිවීම, අධික රාගයෙන් තොර කෙනෙක් වීම, දැඩි ද්වේශයෙන් තොර කෙනෙක් විම, මෝඩයෙක්ව උපත නොලැබීම, මානය නැති කෙනෙක් වීම, වැරැදි විශ්වාස ඔස්සේ නුදුවන්නෙක් වීම

කළ සහ පෙරහන්කඩ පිදීම

බුදුරදුන් ඇතුළු මහ සඟරුවන ජලය පිරිසුදු කරගැනීමට පෙරහන්කඩ හා ජල පවිත්‍ර කාරක උපකරණ පිදීමෙන් කර්මයට අනුරූප වු අනුසස් පහක් ලදිමි.

දීර්ඝායු සම්පත් ලැබීම, සොර සතුරු බියක් ඇති නොවීම, ආයුධවලින් හිරිහැර නොවීම, වස විස ආදියෙන් හිංසාවක් නොවීම, සසර වාසය කළ සැමදා පිරිසුදු ජලය නෑමට හා බීමට ලැබීම

තෙල් බෙහෙත් තැබීමට භාජන පිදීම

බුදුරදුන් ඇතුළු මහ සඟ රුවනට තෙල්, බෙහෙත් තබා ගැනීමට බඳුන් පිදීමේ අනුසස් වශයෙන් සසර උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස පහක් ලදිමි .

නිරෝගී සැප ලැබීම, රූප සම්පත්තිය ලැබීම, ප්‍රිය වචන ඇත්තකු වීම, කැළඹුණු සිතින් තොර කෙනෙකු වීම, ආරක්ෂා ඇත්තකු වීම,

භික්ෂූන්ට අංශකඩ පිදීම

බුදුරදුන් ඇතුළු මහ සඟ රුවනට අංශකඩ පිදීමෙන් චේතොපරිය ඤාණය ලදිමි. එයින් දෙවන භවයේ උපත ගැන සිහිකළ හැකිවීම, මුළු ශරීරයම සියුම් සමින් යුක්ත වීම

අන් අයගේ සිත් දැනගන්නා නුවණ ඇතිවීම, පෙර ආත්ම සිහිකිරීමේ නුවණ, පැහැපත් ශරීර වර්ණයක් ඇතිවීම,

ඉන බඳින පටි පිදීම

බුදුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට ඉන බඳින පටි පූජා කිරීමෙන් ආනිශංස සයක් ලැබූවෙමි.

සිත සමාධි කරගැනීමට හැකිවීම, කරදර කම්කටොළුවලදී කම්පා නොවන සිත් ඇතිවීම, තමා වෙත බැඳුණු පිරිස් ඇති බව , අන් අය පිළිගන්නා සත්‍ය වචන ඇති බව, පැහැදිලි මතක ශක්තියක් ඇති බව, නිර්භය බව,

නිරෝගී භාවය පිණිස බෙහෙත් පිදීම බුදුරදුන් ඇතුළු මහා සංඝයාට අවශ්‍ය බෙහෙත් වර්ග පිදීමෙන් අනුසස් දහයක් ලැබීමි.

දීර්ඝායු සම්පත් ලැබීම , ශරීර ශක්තිය ලැබීම, ධෛර්යය සම්පන්න පුද්ගලයෙක් වීම, පැහැපත් වර්ණයෙන් යුක්ත වීම, යහපත් කීර්ති රාවයක් ඇත්තකු වීම , ශරීර සැපය ලැබීම , කවර උපද්‍රවයකටවත් හසු නොවන්නෙකු වීම, අන් අයගේ දෝෂාරෝපණයෙන් වැළකුණු අයෙක් වීම, කාගේත් ගෞරවයට ලක්වුණුු කෙනෙක් වීම, තම දරුවන්, බිරිඳ, සහෝදර සහෝදරියන්, මවුපියන් අකාලයේ මරණයට පත් නොවීම ආනිශංස අතර වේ.

මෙම ලිපියෙහි අවසාන කොටස ඉල් පුර අටවක (නොවැම්බර් 07) පත්‍රයේ පළ වේ.

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]