Print this Article


පැවිදි දිවියේ 46 වසර සපුරන සීදුවේ සුමනවංශ නා හිමි

පැවිදි දිවියේ 46 වසර සපුරන සීදුවේ සුමනවංශ නා හිමි

උදාර ආගමික, ජාතික හා අධ්‍යාපනික මෙහෙවරක පුරෝගාමීව නිරතවන යතීන්ද්‍රයන් වහන්සේ නමකි සීදුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ, සමාජ හා අධ්‍යාපනික මෙහෙය තම සුවය සැපත ලෙස සලකන සුමනවංශ හාමුදුරුවෝ ආදර්ශවත්ය. උන්වහන්සේ ක්‍රියාශීලී යතිවරයන් වහන්සේ නමකි. තමන් වහන්සේ වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් වුවද එය ඉතා විධිමත්ව හා සැලසුම් සහගතව කාලෝචිතව ඉටු කිරීමේ අපූර්ව වාසනා ගුණයකින් ද යුක්තය. සීදුව මූකලංගොමුවේ විසූ විශ්‍රාමික පොලිස් නිලධාරී පරලොව සැපත් කේ.එන්. ජේ. රොවෙල් මහතා සහ එම්.එස්. පෙරේරා උපාසිකා මාතාවගේ දරුවන් නවදෙනෙකි. ඒ අතර, සහෝදරයන් 06 දෙනෙකුගෙන් හා සහෝදරියන් තිදෙනෙකුගේ සොහොයුරු පෙමින් මව්පිය සෙනෙහසින් හැදුනු පුත්රුවන කුඩා කල පටන්ම සම්බුදු දහම කෙරේ දැක්වූයේ මහත් ඇල්මකි. සීදුවේ දවිසමර මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කටුනායක උසස් මහ විදුහලින් අධ්‍යාපනය ලැබූ කුමරුවා මව්පිය දෙපළගේ ආශිර්වාදයෙන් රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩවිසූ අපවත්වී වදාළ රද්දොළුවේ ආරියවංශ මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා වත්මන් උභය විහාරාධිපති අමරපුර මහානිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝසභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංශ නා හිමියන්ගේ පැවිදි ශිෂ්‍යයෙකු ලෙස 1970 ඔක්තෝබර් මස 31 වෙනි දින සීදුවේ සුමනවංශ නමින් රද්දොළුව සුබෝධාරාම මහා විහාරස්ථානයේදී සසුන් කෙතට ඇතුළත් විය. පිරිවෙන් අධ්‍යාපනය ලැබීමට පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලය මූලික පිරිවෙනට ඇතුළත් වුණි. වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වුණි. කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ශ්‍රී ජිනරතන උසස් අධ්‍යාපන ආයතනයෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබූ අතර, ජපන් හා ජර්මන් භාෂා පිළිබඳ දැනුම එම තානාපති කාර්යාල මඟින් මෙහෙයවන ලද පාඨමාලා මඟින් හැදෑරූහ. ප්‍රාචීන පණ්ඩිත උපාධිය හිමිකරගත් උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් බුද්ධ ධර්ම හා පාලි ඩිප්ලෝමා ද එම විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයෙන් ගුරු පුහුණු විභාගය ද සමත් වූහ. කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහපිරිවෙන මගින් මෙහෙයවන පාලි හා අභිධම්ම සමාර්ථ හා දෙමළ භාෂා පාඨමාලා හැදෑරූ සීදුවේ සුමනවංශ හිමියෝ ආගමික හා සාමාජික මෙහෙවරට අවතීර්ණ විය.

1978 ජූලි 25 වෙනි දින අම්බලංගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුඛේප සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ.1986 දී මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියට පත්වූ අතර, 1982 දී රද්දොළුව දකුණ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති පදවියටත්, 1990 දී කටාන සමථමුල මණ්ඩලයේ ආරම්භක සාමාජික වශයෙන් පත්ව සේවය කළහ. 1990 වසරේ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස නිතරගයෙන් පත්ව මේ දක්වා එම කටයුතු කරගෙන යනු ඇත. 1996, 2002 සහ 2008 ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් නිතරගයෙන් පත්ව සියසේවා කටයුතු ඉටු කරනු ලැබීය. 2004 වසරේදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා විධායක මණ්ඩලයේ සභික වශයෙන් 2013 වසර දක්වා කටයුතු කර ඇත.

1985 දී රද්දොළුව ප්‍රාථමික විදුහලේ සේවයට එක්වූ සීදුවේ සුමනවංශ හාමුදුරුවෝ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කර 2014 ඔක්තෝබර් සිය පාසල් අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම දිවියට පත් වූහ. රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය පදවියට 1980 සිට පත්ව මේ දක්වා සේවය කරනු ලැබේ.

රද්දොළුගම නිවාස සංකීර්ණය ආරම්භවීමත් සමඟ 1982 සැප්තැම්බර් 26 වන දින එම නිවාස සංකීර්ණයේ බෞද්ධ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ වර්ධනය සඳහා රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල නමින් දහම් පාසල ආරම්භ කර මේ දක්වාම එහි ප්‍රධානාචාර්ය වශයෙන් කටයුතු කරන අතර, රද්දොළුගම බෞද්ධ මහ සංගමය, රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය සමාරම්භ කර එහි ප්‍රධාන පැවිදි අනුශාසක වශයෙන් කටයුතු කරති. සිය සේවා ඇගයීමට ලක්කර ස්වඅමරපුර මහනිකාය මගින් ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසනසෝබන විනය කීර්ති ගෞරව නාම සහිත සංඝ නායක පදවිය 2011 වසරේදී පිරිනමන්නට යෙදුණි.

සිය විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව වෛද්‍ය සායන නොමිලයේ පවත්වා රෝදපුටු, අත්වාරු, කිහිලිකරු, ඇස් කණ්ණාඩි මේ වන විට පුරා වසර 33 ක් තිස්සේ විසිදහසක් පමණ නොමිලේ ප්‍රදානය කර ඇත. එසේම වාර්ෂිකව කොළඹ ජාතික රෝහලේ රෝගීන් සඳහා ගිලානෝපස්ථාන පින්කම් හා වාර්ෂිකව ශ්‍රී දළදා පූජා ආදී පින්කම් මාලාවක් වසර 33 ක් පුරා පවත්වාගෙන එම සුවිශේෂී කරුණකි.

සීදුවේ සුමනවංශ නාහිමියන්ගේ පැවිදි දිවියට වසර 46ක් සපිරිම අරමුණු කරගෙන රද්දොළුව ශ්‍රී ධම්මානන්ද, රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසලේ ආචාර්යය මණ්ඩල හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මෙහෙයවීමෙන් කෘතවේදී සැමට ආශිර්වාදාත්මක පහන් පූජාව බෝධි පූජා හා අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක් රද්දොළුව අභිනවාරාමයේ දී ඔක්තෝබර් මස 31 වන සඳුදා දින පස්වරු 05.30 ට පැවැත්වේ.