Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරය

මහනුවර අස්ගිරිය මහාවිහාරයීය ඓතිහාසික ගෙඩිගේ රජමහ විහාරයේ කඨින පින්කම ඔක්තෝබර් 23,24 දිනයන්හි ,අස්ගිරිය පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව ,සොළොස්මස්ථානාධිපති ගෙඩිගේ රජමහ විහාරාධිකාරි ශාස්ත්‍රපති වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඔක්තෝබර් 23 සවස ආගමික වැඩසටහන් මාලාවකි. පසුදින (24) අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන කඨිනචීවර සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි.(කේ.බණ්ඩාරනායක)


මරදාන මහින්දාරාමය

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින මහා පින්කම ඔක්තෝබර් 21 -22 යන දිනයන්හි සිදුකිරීමට විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක පින්වතුන් කටයුතු යොදා ඇත.

21 වෙනි දින රාත්‍රී 8 ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව රාත්‍රී 8.30 සිට පසුදා පහන්වනතුරු පැවැත්වෙන පිරිත් දේශණයද

22 අලුයම 4 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර කොළඹ 10 ටිඩ්බොන්ලේන්හි කුමුදුනී සොයිසා මහත්මියගේ නිවසින් පිටත්වී බොරැල්ල පාර, පුංචි බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවත, සිරිධම්ම මාවත, පන්සල පාර, කරුණාරත්න අබේසේකර මාවත, මහින්දාරාම මාවතින් විහාරස්ථානයට පිවිස කල්ප වෘක්ෂය සහිත කඨින වස්ත්‍රය පූජා කිරීමත් දවල් මහාසංඝරත්නය විෂයෙහි දානමය පින්කමත්.

සවස 5 සිට 6 දක්වා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කරපුටුගල රේවත ස්වාමීන්වහන්සේ පවත්වන කඨිනානිසංස ධර්මදේශනයන් පැවැත්වේ.

මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය කමල්ද සිල්වා මහතා සහ සුජාතාද සිල්වා මහත්මිය ඇතුළු දූ දරු පිරිස විසිනි.


වනවාසල සුධර්මාරාමය

කැලණියේ වනවාසල, ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය, ඔක්තෝබර් 29 – 30 දිනවල දී පැවැත්වේ. ශාස්ත්‍රවේදී කන්දේගම ධම්මානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම පැවැත්වෙන අතර, 22 දින සිට සෑම දිනකම රාත්‍රී 7.00 ට විශේෂ ධර්ම දේශනාවකි. 29 දින රාත්‍රී කඨින චීවරය වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවකි. 30 දා අළුයම 30 නමක් විෂයෙහි මහා සාංඝික දානයකි. මෙදින රාත්‍රී කඨිනානිසංස ධර්ම දේශනාවක් ද පැවැත්වේ. මෙවර කඨින පූජාවේ දායකත්වය උසුලනු ලබන්නේ ජම්බුවත්ත ඩී. ඩී. ආනන්ද ජයතුංග මහත්මා සහ මල්ලිකා කුමාරගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි.


තණබද්දේගම

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාමයේ කඨින පින්කම මෙම 21 හා 22 දිනවල පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රපති, පිණිකහනේ අනෝම නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක මහා සභාව ශ්‍රී සුභද්‍රා කුළඟන සමිතිය හා ශී‍්‍ර ධර්මානන්ද දහම් පාසල කටයුතු යොදා ඇත.

21 දින පස්වරු 4.00 ඇල්ල තණබද්දේගම පදිංචි ආචාරිණී මිහිරි වික්‍රමරත්න මහත්මියගේ නිවසේ සිට කඨින චීවරය රැගත් පෙරහර පසුදා පහන්වන තුරු සතර ගම්වර දායක සීමාවේ පදවීථිහාරි චාරිකාව සිදුකොට ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.

22 දින දවල් කඨින චීවර පූජාව සහිත අර්ධ ශතාධික සඟසතු මහා දානයක් පිරි නැමීමටත් 23 දින රාතී‍්‍ර 7.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව ද පැවැත්වේ.