Print this Article


කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 23 වනදා සවස 2 ට පැවැත්වෙන ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 23 වනදා සවස 2 ට පැවැත්වෙන

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය


ජපානයේ අගොන්ශු විහාර සමූහයේ නිර්මාතෘ අගොන්ශු නිකායේ
සමාරම්භක මහානායක, ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ නිර්මාතෘ
කීර්ති ශ්‍රී සාමදූත සෙයියු කිරියමා මහ නා හිමි

 

ජපානයේ අගොන්ශු විහාර සමූහයේ නිර්මාතෘ අගොන්ශු නිකායේ සමාරම්භක මහානායක, ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ නිර්මාතෘ, කීර්ති ශ්‍රී සාමදූත අතිගරු සෙයියු කිරියමා මහ නාහිමි ජන්මලාභය ලැබුවේ 1921 ජනවාරි 05 වැනිදාය. 1955 දී මහායාන භික්ෂුවක ලෙසින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යභාවයට පත් උන්වහන්සේ වසර 96 කටත් ආසන්න කාලයක් අපමණ ආගමික, සංස්කෘතික, සමාජ හා අධ්‍යාපනික සේවාවන් රැසක් සිදුකොට 2016 අගෝස්තු 29 වැනි දින මනා සිහි නුවණින් යුක්තව අපවත් වී වදාළහ

ජපානයේ කියොතෝ නුවර අගොන්ශු ප්‍රධාන විහාරස්ථානය
එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් 1986 කීර්ති ශ්‍රී සාමදූත සෙයියු කිරියමා මහ නා හිමියන් වෙත ශි‍්‍ර සර්වඥ ධාතුන් වහන්සේලා පූජා කළ අවස්ථාව

මහායාන භික්ෂුවක් බවට පත්වීමෙන් පසු අතිගරු සෙයියු කිරියමා මහනාහිමි බුදුරජාණන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම් පිළිබඳ රටවල් ගණනාවකට ගොස් පුළුල් පර්යේෂණවල නිරත වූහ. මහායාන බුදු සමයට අමතරව ථෙරවාද බුදු සමය ද තිබ්බතීය (ටිබෙට්) ගුප්ත බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳව ද ප්‍රාමාණික පර්යේෂණවල නිර්තව සිට එකී සම්ප්‍රදාය ත්‍රිත්වයේ සංකලනයක් ලෙස ‘අගොන්ශු බෞද්ධ සම්ප්‍රදාය’ ජපානයේ ස්ථාපිත කොට එය ලොවපුරා ප්‍රචලිත කරවීමේ කාර්යභාරයෙහි නිරත විය.

අතිගරු සෙයියු කිරියමා මහානාහිමියන්ගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය සිදුවූයේ 1986 අප්‍රේල් මාසයේ දී ය. එහි දී උන්වහන්සේ හා එවකට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිවරයාව සිටි ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා අතර විශේෂ සුහද හමුවක් කොළඹ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි. එහිදී ජනාධිපතිවරයා විසින් කිරියමා මහනාහිමි වෙත පරම පූජනීය වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා පූජා කරන ලදී. 1992 නොවැම්බර් මාසයේ දී මහනුවර මල්වතු මහා විහාරයේ දී එවකට මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ධුරන්දරව වැඩ සිටි අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් අතිගරු සෙයියු කිරියමා මහානාහිමි වෙත ‘කීර්ති ශ්‍රී සාමදූත’ යන ගෞරව නාම සම්මුතිය ප්‍රදානය කරන ලදී.

සෙයියු කිරියමා මහානාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් 1993 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම ජපන් ශ්‍රී ලංකා සබැඳියාවේ උච්චතම අවස්ථාවක් පිළිබිඹු කරවයි. මෙම පදනම කිරියමා මහානාහිමියන් විසින් භාර කරන ලද්දේ ජපන් භාෂාව හා සංස්කෘතිය පිළිබඳ හසළ දැනුම් සම්භාරයකින් හෙබි සෝමසිරි අද්දර පතිරණගේ මහතා වෙතය.

ආර්ථික අපහසුතා සහිත සිංහල බෞද්ධ දරු දැරියන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම, දුෂ්කර බෞද්ධ සිද්ධස්ථාන, නගා සිටුවීම, අසරණ රෝගී පුද්ගලයන්ට ද්‍රව්‍යමය හා ඖෂධමය ආධාර ලබා දීම යනාදී කාලීන අවශ්‍යතා රැසක් මෙම පදනම හරහා ක්‍රියාත්මක කෙරේ. මෙම 2016 වසර වනවිට ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම මඟින් ලබාදුන් මුළු අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය 13650 ක් දක්වා වර්ධනය වී ඇත.

මෙසේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ රටවල් ගණනාවකම උදාර ධර්ම දූත මෙහෙවර සිදුකොට ඉකුත් අගෝස්තු 29 වැනි දින අපවත් වී වදාළ අතිගරු සෙයියු කිරියමා මහනාහිමි පිළිබඳ ආදාහන පූජෝත්සවය ජපන් සම්ප්‍රදායානුකූලව ඔක්තෝබර් 16 වැනිදා ජපානයේ කියොතෝහි අගොන්ශු විහාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙවර ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 23 වැනි දින පස්වරු 2.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නා හිමියන් මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ අභිනව මහානායක අතිගරු ෆුකද සෙයිඅ මහනාහිමි ප්‍රමුඛ විශේෂ ජපන් දූත පිරිසක්ද සහභාගි වෙති.

විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මැතිණිය ප්‍රමුඛ ප්‍රභූහු රැසක් ද මීට සහභාගි වෙති. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් අගොන්ශු නිකායේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ උපදේශක සෝමසිරි අද්දර පතිරණයේ මහතාගේ අධීක්ෂණය පරිදි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙය වීමෙන් උත්සවය සංවිධානය කෙරේ.


තෝරාගත් දරුවන්ට අනුග්‍රහය දැක්වීම පදනම බිහිකිරීමේ ප්‍රධාන පරමාර්ථය විය

ජපානයේ කියොතෝහි අගොන්ශු විහාරයේ සිට ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වෙනුවෙන් ආශිර්වාද කරන මම ගතින් දුරස්ව සිටිය ද හදවතින් ඔබ සමඟ සිටින බව පළමුව ප්‍රකාශ කරමි. මම 1994 වසරේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ අගොන්ශු මිත්‍රත්ව පදනම මෙතරම් දීර්ඝ කාලයක් පුරාවට පියවරෙන් පියවර ඉදිරියට යමින් පවත්වාගෙන යාමට කැපකිරීම් කළ හිතමිත්‍ර සෝමසිරි අද්දර පතිරණගේ මහතා ඇතුලු ශ්‍රී ලංකාවේ හිතවතුන් වෙත ස්තුතිය පළකර සිටිමි.

මෙහි සමාරම්භක අවස්ථාවේ ම මා වෙත යෝජනා වූයේ ශ්‍රී ලංකාවේ පවත්වන 5 වසර ප්‍රමාණයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා සුලු ලකුණු ප්‍රමාණයක් අඩුවීමෙන් අසමත් වන බෞද්ධ දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඉතා කාලෝචිත වන බවයි. එය අදටත් ඒ රාමුව තුළ සිටිමින් ම ක්‍රියාත්මක කිරීම සතුටට හේතුවකි.

මම කවදත් ප්‍රකාශ කළේ දුප්පත්කම අධ්‍යාපනයට බාධාවක් වේ නම් එය දරුණු ඛේදවාචකයක් බවයි. ශ්‍රී ලංකාවෙන් තෝරාගත් දරුදැරියන්ට අනුග්‍රහය දැක්වීම මෙම ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම බිහි කිරීමේ ප්‍රධාන පරමාර්ථයයි. ශ්‍රී ලංකාවේ දුෂ්කර විහාරස්ථාන සංවර්ධනයටත්, තරුණ තරුණියන් ගේ වෘත්තීය අධ්‍යාපනයටත්, අසරණ රෝගීන්ගේ සුබ සාධනයටත්, ගව සම්පත සුරැකීම වැනි සත් කාර්යයන්ටත් අපි එදා පටන්ම අනුග්‍රාහකත්වය දැක්වීමු.

අප වෙතින් ශිෂ්‍යත්ව ලබාගත් දරු දැරියන් ඉතා විශාල පිරිසක් අධ්‍යාපනය තුළින් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ යහපත් පුරවැසියන් ලෙස සේවය කරනු දැකීම ගැන අපි බෙහෙවින් සන්තෝෂ වන්නෙමු. මෙම 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට මාගේ කායික දුබලතා නිසා පෙර වසරවල සේම මෙවරද පැමිණීමට අපහසු බව ඔබ සැමට කාරුණිකව දන්වා සිටිමි. මා වෙනුවෙන් පැමිණෙන අගොන්ශු දුත පිරිස මෙහි දී මාත්, සමස්ත අගොන්ශු විහාරයත් නියෝජනය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ඔබ සැමට කායික හා මානසික පීඩාවන්ගෙන් තොර යහපත සැපත පිරි වාසනාවන්ත හෙට දිනක් උදා වේවා.....! සැමට බුදුරදුන්ගේ පිහිට ලැබේවා.....!


අධ්‍යාපනයට උපකාර කිරීම උතුම් ක්‍රියාවක් බව ප්‍රායෝගිකව තේරුම් ගත්තා

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ සියලු කටයුතු සාර්ථක වේවායි. පතමින් පළමුව මම ආශිර්වාදය පිරිනමමි.

අප කීර්තිමත් ආචාර්යවරයා වන අතිගරු සෙයියු කිරියමා මහනාහිමියන්ගේ අභාවය අප සැමට දරාගත නොහැකි දුකක් වේදනාවක් ගෙන දෙන්නකි. උන්වහන්සේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ක්‍රියාකාරකම් වෙනුවෙන් මා ශ්‍රී ලංකාවට පැමිණි වාර අනන්තය. එම ගමන්වල දී ශ්‍රී ලංකාවේ අගනුවරින් බැහැර බොහෝ දුරබැහැර දුෂ්කර ප්‍රදේශවලට ගියෙමි. එම ප්‍රදේශවල දුක සේ දිවිගෙවන ජනතාව සේම පාසල් දරු දැරියන් හමුවීමු. වෙසෙසින් ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගන්නා දරු පරපුරේ අධ්‍යාපනයට උදව් උපකාර කිරීම ඉතා උතුම් ක්‍රියාවක් බව මම ප්‍රායෝගිකවම තේරුම් ගතිමි. ගත වූ මේ සා විශාල කාලය තුළ ඔවුනගේ සැබෑ ප්‍රගතිය දැක සතුටු වීමි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගොන්ශු විහාරය සිදු කරන පරිත්‍යාගයන් කෙරෙහි දිවංගත අතිගරු සෙයියු කිරියමා මහනාහිමියන්ටත් පොදුවේ අපටත් ඔබසැම දක්වනුයේ අසීමිත භක්තියකි. ගෞරවයකි. මහනාහිමි උපන් දිනයට සේම රෝගීව සිටි සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව තුළ ස්ථාන රාශියක දී ආශිර්වාද පූජාවන් පැවැත්වීමට එයට හොඳම උදාහරණයයි. වසර ගණනාවක සිට දින තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා ජපානයේ දී පිරිත් දේශනා පවත්වමින් මහනාහිමි ප්‍රමුඛ අප සැමට වර්ෂාවසානයේ සිදුකරන සෙත් පැතීමත්, කියොතෝ හි බෝධීන් වහන්සේ අබියස මහානාහිමි උපන් වේලාවට බෝධි පූජා පැවැත්වීමත්, අප වෙත කරන ප්‍රතිඋපකාරයන් අතර ප්‍රධාන තැනක් ගනියි. සියලු අගොන්ශු සමාජ සත්කාර්යයන් දිනෙන් දින සාර්ථකවීමටත්, අප ආචාර්යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිට උපරිම ආයුෂ විඳ අපවත්වීමටත්, එම උතුම් ආශිර්වාදයන් හේතු වී ඇති බව අපි තරයේ විශ්වාස කරමු.

එම උතුම් සත් කාර්යයන් ආරම්භ වූයේ ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් හිතාදර සෝමසිරි අද්දර පතිරණගේ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවාසී කෙළෙහිගුණ දත් අප මිතුරන්ගේ කාරුණික උපදෙස් පරිදි බව ද මම ඉතා ඕනෑකමින් මතක් කර සිටිමි. අද දින ශිෂ්‍යත්ව ලබා ගන්නා සැමගෙන් මා ඉල්ලා සිටිනුයේ හොඳින් ඉගෙනුම ලබා ඔබ උපන් උතුම් ශ්‍රී ලංකාවටත්, පොදුවේ සමස්ත ලෝකයටත් වැඩදායී පුරවැසියන් ලෙස අනාගතය ගොඩනගා ගැනීමට වීර්යයෙන් හා දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන ලෙසයි.


ගුණ නුවණ නොමඳව ලැබේවා වදා නඔකො

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබපැතුම් ගෙනෙන මම ජපානයේ අගොන්ශු විහාර සමූහයේ සභාපතිනිය වන වදා නඔකො වෙමි.

මෑතක දී අභාවයට පත් අපගේ කීර්තිමත් ආචාර්යවරයා වන අතිගරු සෙයියු කිරියමා මහනාහිමි වෙනුවෙන් ශ්‍රී ලාංකික ඔබ සැම දැක්වූ කෘතවේදීභාවය ගැන පළමුකොට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. සෑම වසරකම ජනවාරි මස 05 වැනිදාට යෙදෙන අප මහනාහිමි ගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා ඒ ඒ ප්‍රදේශවල විහාරස්ථානවල දී විවිධාකාර පින්කම් සිදු කරමින් ඔබ දැක්වූ උපකාරය ගෞරවයෙන් සිහි කළ යුතුම ය. ශ්‍රී ලංකාවේ ස්වාමීන් වහන්සේලා වැඩමවා අගොන්ශු විහාරයේ සිදුකරන චිත්තාකර්ෂණීය පින්කම් මාලාව ද ඉතා අගනේ ය. අප ආචාර්යවරයා ආරම්භ කළ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ අපි ප්‍රසාදයට පත්වන්නේ කිසියම් විභාගයක් අසමත් වූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන් අධ්‍යාපනය තුළින් ඉහළට ඔසවා තැබීමේ සාර්ථක ක්‍රමවේදය සම්බන්ධයෙනි. එසේ කිසියම් විභාගයක් අසමත් වූ පිරිසකට ශිෂ්‍යත්වයක් ලබාදෙන එකම සංවිධානය ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම බව හිතමිත්‍ර සෝමසිරි අද්දර පතිරණගේ මහතාගෙන් අපි දැන ගතිමු. මෙතරම් සාර්ථක අන්දමින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හා අනෙකුත් ව්‍යාපෘතීන් වසර 24 ක් තිස්සේ සිදු කිරීමට ශක්තිමත් අඩිතාලම වූයේ අප ආචාර්යවරයාත්, සෝමසිරි මහතාත් අතර ඇති වූ විශ්වසනීය මිත්‍රත්වයයි. උතුම් සමාජ සුබ සාධන මෙහෙවරක් තුළින් අප ආචාර්යවරයාටත්, අපටත් කුසල් රැස්කර ගැනීමට අවස්ථාව සලසා දුන් ඔහුත්, ශ්‍රී ලංකාවේ සෙසු හිතවතුනුත් ගෞරවයෙන් සිහිපත් කරමු. අප හදවත් තුළ ශ්‍රී ලංකාවාසී හිතවතුන් පිළිබඳ ඇත්තේ මනා ප්‍රසාදයකි. අගොන්ශු ශිෂ්‍යත්වලාභී දරු දැරියන් අපගේ ප්‍රතිපාදන ලබා ගනිමින් තම අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරගෙන යන බව ඇසීම අපට සොම්නස ගෙන දෙන්නකි. මෙතෙක් ආ ගමන් මග තුළ ශ්‍රී ලංකාවේ ඉහළ තනතුරුවලට පත් වූ ශිෂ්‍යත්වලාභී දරුදැරියන්ට අපි සුබ පතමු. මෙම 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ශිෂ්‍යත්ව ලබන සැමට ඔබ අපේක්ෂා කරන ජීවන මාර්ගයේ ඉදිරියට ම යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යයන් ගුණ නුවණත් නොමඳව ලැබේවා.....! ස්තුතියි.


ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය සේම ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ උන්නතියට මහෝපකාරී විය

සූවිසි වැනි අගොන්ශු ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වෙනුවෙන් මෙම පණිවුඩය නිකුත් කරනුයේ, අප පදනමේ නිර්මාතෘවරයා වූ ජපානයේ කියොතෝ නුවර අගොන්ශු විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අගොන්ශු විහාර සමූහයේ හා අගොන්ශු නිකායේ නිර්මාතෘ කීර්ති ශ්‍රී සාමදූත අතිගරු සෙයියු කිරියමා මහනාහිමියන්ගේ අපවත්වීමෙන් ඇති වූ දැඩි සංවේගයෙන් යුක්තවයි. උන්වහන්සේට සසරගමන කෙළවර උතුම් වූ නිවන් සුව අත්වේවා.....!

අතිගරු සෙයියු කිරියමා මහනාහිමි 1986 දී හමු වූ දා පටන් මාගේ දෛනික දිවිපෙවෙත වෙන්වූයේ සමාජ සුබසාධන ක්‍රියාකාරකම්වලටය. 1994 ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම අතිගරු සෙයියු කිරියමා මහනාහිමි ආරම්භ කළේ ශ්‍රී ලාංකික අප වෙත දැක් වූ අපරිමිත හිතෛෂීභාවය හා කෘතවේදිත්වය පෙරදැරි කරගෙනය. අප හිතවත් විශාල පිරිසක් ද පදනමේ ක්‍රියාකාරකම් කෙරෙහි යොමු කරවා ගැනීමට මට හැකියාව ලැබුණි. මෙය හුදෙක් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය සේම ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ උන්නතිය සඳහා ද බෙහෙවින් ම මහෝපකාරී විය.

අතිගරු සෙයියු කිරියමා මහනාහිමි බුදුරජාණන් වහන්සේ ගේ මග ගිය කීර්තිමත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස ස්වකීය දිවිපෙවෙතෙහි වැඩිම කාලයක් ගතකොට ඇත්තේ පොදු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන්ය. කෘතගුණ සැළකීම, පරෝපකාරය හා කාරුණිරත්වය මහනාහිමි චරිතය පුරා අප දුටු උතුම් ගුණාංගයන්ය. ලෝක සාමය හා මනුෂ්‍ය වර්ගයා ගේ යහපත මුල්කර ගත් උන්වහන්සේගේ එකී චර්යා ධර්ම පද්ධතිය සැබෑ බෞද්ධ නායකයෙකු ගේ ලක්ෂණ මනාව අවධාරණය කර පෙන්වාදීමක් සේ අපි දකිමු.

ගත වූ සූවිසි වසරක කාල පරිච්ඡේදය තුළ කිරියමා මහනාහිමියන්ගේ කාරුණික අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම ලබා දුන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය 13650 කි. වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 33 දෙනෙකු සඳහා ද ශිෂ්‍යත්ව ලබා දී තිබෙන අතර තරුණ තරුණියන් 1240 දෙනෙකුට වෘත්තීය පුහුණුව ලබා දී තිබේ. මෙවර අප පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රමාණය 735 කි. එවිට මෙම 2016 වසරේ මුළු ශිෂ්‍යත්ව ප්‍රමාණය 13650 ක් දක්වා ඉහළ යයි.

මෙවර පවත්වන ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ සුවිසි වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට වැඩමවන ගෞරවණීය මහා සංඝරත්නයටත්, පූජ්‍ය ෆුකද සෙයිඅ නාහිමි ප්‍රමුඛ ජපන් අගොන්ශු දූත පිරිසටත්, සම්භාවනීය ආරාධිත අමුත්තන්ටත්, අතහිත දුන් සැමටත්, ශිෂ්‍යත්වලාභී දයාබර දරුදැරියන්ටත්, සහභාගි වන සැමටත් යහපතක් ම වේවා.